Greenhopes-Amlapowder
Greenhopes-
myherbals


Herbal Voice

සාඩම්බර දේශීයත්වය

සොබාදහම හා එක්ව ලොවට කියාපාමු!

ලෝකය දියුණුවත්ම, මිනිසුන්ගේ ජීවන රටාවන් ද ඒ හා සබැඳිව කාර්යබහුලත්වයෙන් පිරී යයි. එවන් සමාජයක් තුළින් නිරෝගි බව මෙන්ම සතුට ගිලිහී යාමට නොදී, සාර්ථක ජීවිතයකට මංපෙත් විවර කිරීමට ඔබට අවකාශය සැපයීමට Herbal Voice අප නිරන්තරයෙන්ම උත්සාහ කර සිටින්නෙමු. ඔබේ ශරීරය සුන්දර කිරීමට මෙන්ම ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමටත් වර්තමාන ලෝකය තුල බොහෝමයක් නිෂ්පාදන දැකිය හැකිය. නමුත්, මෙවැනි නිෂ්පාදන කොතෙකුත් දුරකට සොබාදහමට හෝ මිනිස් ශරීරයට යෝග්‍ය වන්නේ ද යන්න විශාල ගැටලුවකි. වත්මන් ලෝකය තුළ දකින්නට සහ අත්විදින්නට ලැබෙන විවිධ ලෙඩ රෝග පිලිබදව සැලකීමේදී මේ පිලිබඳව ඔබට අනිවාර්යයෙන්ම වැටහෙනු ඇත.

සියල්ලකට ප්‍රථමයෙන් මිනිසා, සොබාදහමට අවනත විය යුතුය. ඔවුනට උද්ගත වන සෑම ගැටලුවකටම පාහේ පිලිතුරු සෙවිය යුත්තේ ද සොබාදහම තුළිනි. ඒ බව වටහාගනිමින් සිටින Herbal Voice වෙබ් අඩවිය මේ වන විටත් ශ්‍රී ලංකාවේ දැනට සැගවී පවතින වටිනා ශාකසාර බොහෝමයක අගය පිලිබඳව ඔබව දැනුවත් කිරීමට කටයුතු කොට තිබේ. එවැනි ශාකසාර වලින් සාදන ලද නිෂ්පාදන ස්වාභාවික ආකාරයෙන් පවතින අතර ලෙඩ රෝග ගණනාවකට වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කරන ඖෂධීය ශාක සාරයන් රාශියක් ඒවායේ අඩංගු වේ. එමෙන්ම කාන්තා, පිරිමි දෙපාර්ෂවයම වසර ගණනාවක සිට තම රුව අලංකාර කරගැනීමට යොදාගත් වටිනා ඖෂධීය සත්කාරයන් පහසුවෙන් වෙළදපොලෙන් මිලදීගැනීමේ අවකාශය මේ වන විට ඔබට තිබේ.

එවන් සොබාවික නිෂ්පාදන වල අගය දන්නා බොහෝමයක් ව්‍යවසායකයින් මෙරට තුළ ද සිටීම සතුටට කරුණකි. ඔවුන්ගේ දේශීය නිෂ්පාදන වලට අගයක් සහ අවස්ථාවක් නොලැබුණු විට, රටක දියුණුවට උර දෙන පුරුක් අකාලයේ රටට අහිමි වීම සිදුවේ. Herbal Voice වෙබ් අඩවිය තුලින් මෙරට තුළ සිටින ශාකසාර ආශ්‍රිතව දේශීය නිපැයුම් සිදු කරන ව්‍යවසායකයින් ගණනාවකට තම වටිනා නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා ද අවකාශය සැපයීමට අප සූදානම් බව සතුටින් දන්වා සිටිමු. මෙම ක්‍රියාව තුළින් දේශීය ආර්ථිකය නගා සිටුවීමට දායකත්වයක් සැපයීමට හැකි බැව් අපගේ විශ්වාසයයි.

“A Nation with Nature” හෙවත් සොබාදහම සමගින් ගොඩනැගෙන්නාවූ ජාතියක් බිහිකිරීමට උර දීම Herbal Voice අපගේ ප්‍රධාන දැක්මයි. සොබාදහමට ආදරය කරන, සොබාදහම සමග පියවර තබන මිනිසුන් ගොඩනැගෙන විට රටක් නිරායාසයෙන්ම දියුණුවට පත්වේ. එහෙයින් සොබාදහමේ සැගවී පවතින ශාකසාර වල ගුණයන් පිලිබදව නිවැරදි අවබෝධයක් ඔබට ලබාදී, එතුලින් ලබාගත හැකි සුවය සහ නිරෝගි බව සමස්ථ මානව වර්ගයාටම ලබාදීම හරහා ශක්තිමත් ජාතියක් ගොඩනැගීමට අපි අපේක්ෂා කරන්නෙමු.

රුව  – ඔබ තුළ සැගව පවතින ස්වාභාවික ලස්සන ඉස්මතු කරගන්න

කාන්තා, පිරිමි ඕනෑම අයෙක් තම රුව අලංකාර කරගැනීමට උනන්දුවක් දක්වයි. සිහින්, ආකර්ශනීය ශරීරයක් ලබාගැනීම සඳහා සතියට පැය ගණනාවක් ව්‍යායාම කරමින් ඔබ වෙහෙසනවා වන්නට ඇත. මේ සඳහා නොයෙක් දුෂ්කර ආහාර පාලන ක්‍රමවේදයන් අනුගමනය කරනවා වන්නට ද ඇත. මීට අමතරව සම පැහැපත් කරගැනීමට වෙලදපොලේ ඇති නොයෙකුත් කෘතිම ආලේපන සහ බෙහෙත් වර්ග ද අතහදා බැලීමට බොහෝ දෙනෙකු පෙළඹී සිටියි. මෙවන් නිෂ්පාදන භාවිතය තුළින් ඉක්මන් ප්‍රථිපල ලබාදුන් නමුත් ඒවා තාවකාලික වන අතර ඇතැම් විට පිළිකා වැනි භයානක ලෙඩ රෝග ද මේ නිසා ඇති වේ.

හුදෙක් ලාභය පිණිස පමණක් වෙළදපොළේ ඇති මෙවැනි හානිකර නිශ්පාදන වෙනුවට ඔබේ රුව තුළ ඇති සැබෑ අලංකාරය ස්වභාවිකවම ඉස්මතු කරන නිෂ්පාදන ඔබ වෙත තිලිණ කිරීම අපගේ මූලික ප්‍රයතනයයි. ඔබ තවමත් හරි හැටි වටිනාකම නොදන්නා නමුත් ශ්‍රී ලාංකීය පොළොව තුළ වැඩෙන, රුව වඩවන ස්වාභාවික ශාක සහ පැළෑටි ගණනාවක්ම පවතියි. අපේ මුතුන් මිත්තන් ඒවායෙන් නිසි ප්‍රයෝජනයක් ලබාගත් නමුත් වත්මන් සමාජය තුලින් ඒවායේ වටිනාකම් ගිලිහෙමින් පවතියි. එවන් පසුබිමක ඔබේ රුවට ආකර්ශනීය පෙනුමක් ලබාගැනීමට අවශ්‍ය ස්වාභාවික නිෂ්පාදන පහසුවෙන් ලබාගැනීමට ඔබට මේ වන විට හැකියාව තිබේ.

ගුණ  –  නිවැරදි, පෝෂ්‍යදායක ආහාර රටාවකට හුරුවෙමු

අතීතයේ ජීවත් වූ අපේ මුතුන්මිත්තන් ශක්ති සම්පන්න ශරීරයකට උරුමකම් කීමට හේතුවක් ලෙස ඔවුන්ගේ ජීවන රටාව තුළ තිබූ ආහාර පාන ගෙනහැර දැක්විය හැකිය. ශක්තිය මෙන්ම නිරෝගි බව ද එක් කළ කැඳ වැනි පානයන් භාවිතය මගින් ඔවුන් අපමණ ගුණයන් රාශියක් තම ජීවිත වලට ලබාගත්තේය. මීට අමතරව පළා වර්ග, කොස්, දෙල් ආදී ආහාර වර්ග බත මෙන්ම ඔවුනට සමීප විය. මෙවැනි ආහාර වර්ග සඳහා ලෝකය පුරා සිටින බොහෝමයක් දෙනාගේ ඉල්ලුමක් මේ වන විට පවතින නමුත්, ඒවා පහසුවෙන් ලබාගැනීමට ඔවුනට අවකාශයක් නොමැති තරම්‍ය. එවන් වූ බොහෝමයක් පිරිස් වෙනුවෙන්ම පෝෂණ ගුණය සුරැකෙන පරිදි කල් පවතින අයුරින් සකසන ලද දේශීය ආහාර වර්ග පහසුවෙන් ඇණවුම් කිරීමට සහ මිලදී ගැනීමට වත්මන් වෙළදපොල තුළ යම් තාක් හෝ අවකාශය තිබීම සතුටට කරුණකි. 

බත් යනු ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම ආසියාතික රටවල් බොහෝමයක ජනයාගේ ප්‍රධානතම අහාරය වේ. වර්තමානයේ ගුණයෙන් අඩු සහල් වර්ග වෙළදපොලේ තිබෙන නමුත් අතීතයේ ශ්‍රී ලංකාව තුළ දේශීය සහල් විශේෂ 1500කට අධික සංඛ්‍යාවක් තිබී ඇත. ඒවායේ ඉහළ ගුණාත්මක බව ක්‍රමයෙන් අප අතරෙන් ඈත්ව යන මොහොතක එම සහල් විශේෂ සැලකිය යුතු ප්‍රමාණයක රසය සහ ගුණය ඔබ අතට පත් කිරීමට ද අප සූදානම්ව සිටියි. අනාගත පරම්පරාව මෙන්ම වත්මන් පරම්පාව ද අතීත ශ්‍රී ලාංකීය රසය හදුනන, නිරෝගි පරපුරක් වනු දැකීම අපගේ අභිප්‍රායයි.

ආයුෂ –   නිරෝගිකම වෙනුවෙන් ස්වාභාවික නිෂ්පාදන රාශියක්

 නිරෝගිකම උතුම්ම සැපතයි. කෙතරම් මිල මුදල් තිබුන ද ලෙඩ රෝග වලින් පිරි ජීවිතයක් ගත කිරීමට ඔබට සිදු වන්නේ නම් එයින් කිසිදු පලක් නොවේ.  බෝවන රෝග වලට වඩා බෝ නොවන රෝග මේ වන විට වයස් භේදයකින් තොරව මිනිසුන්ව වෙලා ගනිමින් පවතියි. කාර්‍යබහුල ජීවන රටාව සහ විවෘත ආර්ථිකයත් සමග මේ වන විට වෙළදපොලේ ඇති කෘතීම රසකාරක සහ ශරීරයට අහිතකර සංයෝග අඩංගු ආහාර වර්ගත් මෙම ලෙඩ රෝග බොහෝමයකට හේතු වී තිබේ. පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටෙරෝල් වැනි රෝග මේ වන විටත් බොහෝ දෙනෙක් අතර පවතින සුලබ රෝග වේ. බෝවන රෝග වලට වඩා මෙවැනි බෝ නොවන රෝග මගින් සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ අගයක් ගනියි.

මෙවැනි එක් රෝගයක් සඳහා ප්‍රතිකාර ගත් විට එම කෘතිම ඖෂධ වල අතුරුඵලයක් ලෙස වෙනත් රෝගී තත්වයන් ද ඇතිවීම සිදුවේ. එබැවින් ස්වාභාවික ඖෂධීය ආහාර පාන භාවිතය කෙරේ මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පවතියි. අපටත් නොදැනුවත්ම ගෙවත්තේ සරුවට වැඩෙන පැළෑටි වර්ග වල බොහෝ ගුණයන් රැසක් පවතියි. මෙවැනි පැළෑටි සහ ශාක සාර වලින් නිපදවන ලද තේ, බීම් වර්ග, ආහාර වර්ග මෙන්ම බෙහෙත් කරල් සහ වෙනත් අගය එකතු කරන ලද නිෂ්පාදන පිලිබදව දැනුම ලබාදීමට Herbal Voice අප සැදී පැහැදී සිටියි. මෙම දේශීය නිෂ්පාදන භාවිතය තුළින් ඔබට නිධන්ගත රෝග ගණනාවකින් ආරක්ෂා වීමට පුලුවන. මේ නිෂ්පාදන හරහා පිළිකා වැනි මාරාන්තික තත්වයන් ද සමනය කරගැනීමට හැකි බව විද්‍යාත්මකව සනාථ වී ඇත.

 එපමණක් නොව, ගෝලීය වශයෙන් ඇතිවන මාරාන්තික වසංගත රෝග තත්වයන් වලින් ආරක්ෂා වී ස්වාභාවික ප්‍රතිශක්තිකරණය ඉහළ නංවාගැනීමට ද දේශීය ශාකසාර නිෂ්පාදන ඉවහල් වනු ඇත. බොහෝ රෝගී තත්වයන් රැසකින් ඔබේ ශරීරය ආරක්ෂා වීම මෙන්ම දීර්ඝායුෂ ලබාගැනීමටත් මෙම නිෂ්පාදනයන් උපකාරි වනු නිසැකය.

සොබාදහම –  සොබාදහමට අවනත වෙමු

අවසානයේදී සියල්ලෝම අවනත විය යුතු එකම දෙය නම් සොබාදහමයි. ස්වාභාවධර්මයට එරෙහි වී දියුණුවක් ලැබීමට සිතූ බොහෝමයක් දෙනාට අත් වූ ඉරණම ඉතාම ඛේදනීය වේ. පරිසරය සුරැකීමට ප්‍රමාද වීම හේතුවෙන් පීඩා විදීමට සිදු වන්නේ එක් පුද්ගලයෙකුට පමණක් නොව, මුලු මහත් මිනිස් ප්‍රජාවටමය. එය සැබෑවක් බැව් අප දැනටමත් හොදින් අත් දකිනා කාරණයකි. මිනිසා හට මෙන්ම සියලුම ජීවින් හට සුවසේ විසීමට සියලු සම්පත් වලින් පිරි පරිසරයක් සොබාදහම අපට තිලිණ කොට ඇත. නමුත් මිනිසා විසින් එහි ජීවය වන ගොඩබිම, ජලය සහ වා තලය දිනෙන් දින දූෂණයට ලක් කරමින් සිටියි. පොලිතින්, ප්ලාස්ටික් සහ වෙනත් විෂ අපද්‍රව්‍ය පරිසරය ගිල ගනිමින් සිටියි. මේ සඳහා පිළියම් යෙදිය යුතු බව අප සියලුම දෙනා වටහාගත යුතු කාරණයකි. ඇතැම් රටවල් මෙවැනි ගැටලුකාරී තත්වයන් සඳහා පිළියම් යොදමින් සිටින අතර මුලු මහත් ලෝකයම ඊට අවධානය දිය යුතු බව අපගේ අදහසයි.

සොබාදහම සුරැකීම පිණිස සියලුම දෙනාව දැනුවත් කිරීමටත්, ඒ සඳහා අපට ගත හැකි විවිධ ආකාරයේ පුලුල් පරාසයකින් යුතු විසදුම් කෙරෙහිත් ඔබේ අවධානය ලබාදීමට Herbal Voice හඩ නගනු ඇත. එදිනෙදා අප පරිහරණය කරන සෑම දෙයක්ම නිසි පරිදි, නිසි කළමනාකරණයෙන් යුතුව පරිසරයට මුදා හැරීම සම්බන්ධයෙන් අප සැවොම දැනුවත් විය යුතුය. එවිට සොබාදහම අපව නිරන්තරයෙන් රකිනු නොඅනුමානය.

වෙනත්  –  දැනුම් පිපාසයට

මිය යන තෙක්ම මිනිසා නොයෙක් දේවල් නොනවත්වාම ඉගෙන ගනියි. ඒ නිසාම දැනුම් පිපාසයෙන් පෙළෙන අයවලුන් සමාජය තුළ දැකගත හැකිය. තාක්ෂණය අතින් ලොව දියුණුවත්ම මිනිසා තුලින් ඈත්ව යන කියවීම සහ දැනුම ලබාගැනීම නැවුම් දිශාවකට යොමු කරවීම ද Herbal Voice අපගේ තවත් බලාපොරොත්තුවකි. අපට එදිනෙදා ඇස ගැටෙන සතා-සිවුපාවා, ගහ-කොළ, ඇළ-දොල මෙන්ම දියුණු වන ලෝකය තුළ ද අන්තර්ගත වන අප නොදත් කරුණු බොහෝමයි. එවැනි කරුණු තුලින් ඔබගේ ජීවිතයට දැනුම මෙන්ම නොයෙකුත් පාඩම් ද උකහාගත හැකිය. සාර්ථක ජීවිතයක් සඳහා ඉවහල් වන එවන් කරුණු රැසක් ද අපගේ වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ලබාදීමට කටයුතු කරන්නෙමු.

ව්‍යවසායක ඔබට අත්වැළක්!

ලක් දෙරණ තුළ වැඩෙන ශාකසාර ගුණය හදුනාගත්, පුලුල් මනසක් සහ අසීමිත කැපවීමකින් යුතු ව්‍යවසායක ඔබගේ දේශීය නිෂ්පාදන ලාංකීය මෙන්ම විදේශීය ජනයාගේත් හිත සුව පිණිස යෙදවීමට අව්ශ්‍ය අවකාශය සැපයීමට Herbal Voice සූදානම්ව සිටින බව සතුටෙන් දන්වා සිටිමු. දේශීයත්වය විදහා පාන ඔබගේ නිෂ්පාදන විශ්වාසවන්ත ලෙසින් පාරිභෝගිකයන් අතට පත් කොට නිරොගි සහ ඉසුරුමත් ජීවිතයකට මග සැලසීමට අප හා අත්වැල් බැදගන්න.

ඔබේ දැනුම ඔපවත් කරගන්න, රටෙහි අගය ලොවට කියන්න Herbal Voice සමග එකතු වන්න

අන්තර්ජාලයේ සැරිසරන ඔබට හරවත් යමක් ලබාදීමට සෑම විටම සූදානම් වී සිටින අප සමග එකතු වී ඔබේත් ඔබගේ දරුවන්ගේත් දැනුම වර්ධනය කරගැනීමට කටයුතු කළ හැකිය. උගත් සමාජයක් ගොඩනැගීමට මෙන්ම බුද්ධිමත් ජාතියක සාඩම්බර හිමිකරුවන් වීමට මෙම දැනුම ඔබට ඉවහල් වනු ඇත. බටහිර සංකල්ප වලින් දේශීයත්වය මැකී යාමට නොදී, සරු පසෙහි වැවෙන අපේ දේ අගයන්නටත්, සොබාදහම හා සබැඳිව වැඩෙන ජාතියක් සකසන්නටත් Herbal Voice, ඔබට සතුටින් යුතුව ඇරයුම් කර සිටිමු.