සුගන්ධ තෙල් යනු ශාක වලින් නිස්සාරණය කරගන්නා සංයෝග වේ. මෙම සංයෝග වලින් එය නිස්සාරණය කරගනු ලබන ශාකයට අදාල සුවිශේෂී වූ සුගන්ධයක් හා රසයක් ලබා දෙයි. සගන්ධ තෙල් තුළ අන්තර්ගතව ඇති එම ශාක වලට ආවේණික වූ සුවඳවත් සංයෝග එක් එක් සගන්ධ තෙල් වර්ගයට ආවේණික වූ විශේෂත්වයක් එක් කරයි. සගන්ධ තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ හුමාල ආසවනය, භාගික ආසවනය හෝ යාන්ත්‍රික ක්‍රම භාවිතා කරමිනි. එම සුවඳවත් සංයෝග නිස්සාරණය කරගත් පසු වාහක තෙල් වර්ගයක් සමඟ මිශ්‍ර කරමින් භාවිතය සඳහා සුදුසු සුගන්ධ තෙල් නිෂ්පාදනය කරනු ලබයි. සුගන්ධ තෙල් නිස්සාරණය කරනු ලබන ක්‍රමවේදය මෙහිදී ඉතාමත්ම වැදගත් වේ. එසේ පවසනු ලබන්නේ යාන්ත්‍රික ක්‍රමවේද භාවිතය වෙනුවට රසායනික ක්‍රමවේද භාවිත කරනු ලබමින් නිෂ්පාදනය කරනු ලබන තෙල් සුගන්ධ තෙල් ලෙස නොසැළකීමයි. එබැවින් අදාළ යාන්ත්‍රික ක්‍රමවේද පමණක් මේ සඳහා භාවිත කිරීමට නිෂ්පාදනය කරන්නන් වග බලාගත යුතුය.
සුගන්ධ තෙල් වැඩි වශයෙන් භාවිත කරනු ලබන්නේ සුවඳ චිකිත්සක ප්‍රතිකාර සඳහා වන අතර මේ සඳහා විවිධ ක්‍රම භාවිතා කරයි. මිනිස් ශරීරය තුළ එකිනෙකට වෙනස් මාර්ග ඔස්සේ ප්‍රතික්‍රියා කිරීමට මෙම සුගන්ධ තෙල් තුළ ඇති රසායනික සංයෝග වලට හැකියාවක් ඇත. සම මත ගැල්වූ පසු යම් ශාකසාර රසායනික ද්‍රව්‍යයන් සමට අවශෝෂණය කරගනු ලබයි. මෙම සුගන්ධ තෙල් සතුව ඇති සමට අවශෝෂණය වීමේ හැකියාව විවිධ ක්‍රම ඔස්සේ වර්ධනය කළ හැකිය.
මෙමඟින් නිකුත් වන සුවඳ ආග්‍රහණය කිරීම තුළින් මොළයේ පාලනයට නතුවී ඇති මිනිසාගේ හැඟීම්, හැසිරීම්, සුවඳ දැනීම් සහ දිගු කාලීන මතකය ආදිය වර්ධනය කිරීමට හැකියාව ලැබේ. මෙය වෛද්‍ය ප්‍රතිකර්මයක් ලෙසින්ද භාවිත කරනු ලබයි.
එකිනෙකට ආවේණික වූ සුවඳක් හා සෞඛ්‍යමය වටිනාකම් සහිත සුගන්ධ තෙල් වර්ග 90 කට වඩා ලෝකයේ පවතී. පොදුවේ ගත් කල මානසික පීඩනය අවම කිරීම, හිසරදය හා ඉරුවාරදය වැනි රෝගී තත්වයන් පාලනය කිරීම, ක්‍රමවත් නින්දක් ලබා දීම, ආසාත්මිකතා අවම කිරීම, ප්‍රති බැක්ටීරියා හා ප්‍රති ක්ෂුද්‍රජීවී ලෙස ක්‍රියාකිරීම ආදිය සුගන්ධ තෙල් තුළින් ලැබෙන සෞඛ්‍යයට හිතකර ප්‍රයෝජන වලින් කිහිපයකි.
ඇතැම් නිවෙස් වල රෙදිපිළි නැවුම් සුවඳකින් තබාගැනීමට මෙන්ම ස්වභාවික ගුණයෙන් ඉහළ රූපලාවණ්‍ය නිෂ්පාදන සකසා ගැනීමටත් මෙම සුගන්ධ තෙල් බෙහෙවින්ම උපකාරී වේ. සගන්ධ තෙල් පරිසර හිතකාමි සහ සෞඛ්‍යාරක්ෂිත වන අතර මදුරුවන් පලවා හැරීම සඳහා නිවසේදීම නිෂ්පාදිත තෙල් ලෙස යොදාගැනීමට හැකිවීම විශේෂත්වයකි.
නිවැරදි සුගන්ධ තෙල් තෝරා ගැනීම
වෙලඳපලේ බොහෝ සුගන්ධ තෙල් නිෂ්පාදන පවතී. නමුත් ඒවා නිවැරදි ප්‍රමිතියකින් හා සෞඛ්‍යාරක්ෂිත බවකින් යුතුව නිෂ්පාදනය කර ඇත්දැයි යන්න පිළිබඳ පාරිභෝගිකයින් සැළකිලිමත් විය යුතුය.
මෙහිදී එහි පිරිසිදු බව අනිවාරයෙන්ම මැන බැලිය යුතු සාධකයකි. එම නිෂ්පාදනය කෘතිම රසායන ද්‍රව්‍ය වලින් තොරව ශාකසාර සුවඳවත් සංයෝග අඩංගු වන ලෙස නිෂ්පාදනය කර ඇත්දැයි යන්න අනිවාර්‍යයෙන්ම සෙවිය යුතුය. පිරිසිදු හා සංශුද්ධ බවෙන් යුතු නිෂ්පාදන වල නිෂ්පාදනයේ නමට අමතරව එම සුගන්ධ තෙල් නිෂ්පාදනය කරන්නට යොදාගත් ශාකයේ විද්‍යාත්මක නාමයද සඳහන් කර ඇත.
නිෂ්පාදනයේ ගුණාත්මක බව සැලකිලිමත් විය යුතු අනෙක් කරුණයි. රසායනික ක්‍රමවේද භාවිත නොකොට හුමාල ආසවනය, භාගික ආසවනය හෝ යාන්ත්‍රික ක්‍රමවේදයක් භාවිත කර සිදු කරන නිෂ්පාදන පමණක් මිලදී ගැනීමට තරම් පාරිභෝගිකයා උපක්‍රමශීලී විය යුතුය. මීට අමතරව වෙළඳපලේ හොඳ නිෂ්පාදනයක් යැයි පිලිගෙන ඇති වෙලඳ නාමයක් සහිත නිෂ්පාදන පමණක් මිලදී ගැනීම පාරිභෝගිකයා සතු වගකීමකි.
ජොජෝබා තෙල්
ජොජෝබා තෙල් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන්නේ ජොජෝබා ශාකයේ ගෙඩියයි. ජොජෝබා අනෙක් සගන්ධ තෙල් සමඟ මිශ්‍ර කිරීම සඳහා වාහක තෙල් වර්ගයක් ලෙසද භාවිත කරයි.
ජොජෝබා තෙල් සමේ තෙතමනය රඳවා ගැනීම සඳහා උපකාරී වන අතර සමෙහි තෙතමනය ඉවත් වීමේදී එය බාධකයක් ලෙස ක්‍රියා කරයි. මීට අමතරව ශරීරයෙහි ඇතිවන බැක්ටීරියා ආසාදන, මුහුණෙහි ඇතිවන කුරුලෑ සහ හිසෙහි ඇති වන හිස්හොරි තත්වයන් පාලනය කිරීමට දායක වෙයි. ජොජෝබා තෙල් සතුව ඇති විශේෂී ගුණයක් වන්නේ ප්‍රතිබැක්ටීරියා හා ප්‍රතිදිලීර ලෙස ක්‍රියා කිරීමේ හැකියාවයි. මෙය සියළුම බැක්ටීරියා හා දිලීර වර්ග විනාශ නොකරන අතර සැල්මොනෙල්ලා, ඊකොලයි, කැන්ඩිඩා යන බැක්ටීරියා හා දිලීර පමණක් විනාශ කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගු ජොජෝබා තෙල් තුළ ස්වභාවික විටමින් E අන්තර්ගත වේ. විටමින් E සම සමඟ ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකරයි. අපේ සම සෑමදිනකම දූෂිත ද්‍රව්‍ය හා අනෙකුත් විෂ ද්‍රව්‍ය වලට නිරාවරණය වූ විට ඇතිවන සමෙහි ඔක්සිකාරක ද්‍රව්‍ය නිසා ඇතිවන පීඩනය සමඟ සටන් කරමින් සම නිරෝගීව තබා ගැනීමෙහිලා ජොජෝබා තෙල් විශේෂ දායකත්වයක් ලබා දෙයි. ජොජෝබා තෙල්, ශාකසාර ද්‍රව්‍යක් වුවද එහි රසායනික සංයෝග සම මඟින් ස්වභාවිකව නිපදවෙන සීබම් නැමැති තෙල් වල සංයුතියට සමාන බැවින් ජොජෝබා තෙල් මිනිස් සමට හිතකර වේ. මුහුණේ ඇති සිදුරු වැසීම සඳහාත්, කුරුලෑ පාලනය කිරීම සඳහාත් විශිෂ්ට ප්‍රතිකාරයක් ලෙස ජොජෝබා තෙල් භාවිතා කරනු ලබයි.
අණුක මට්ටමෙන් සැලකීමේදී ජොජෝබා තෙල් ඉටි විශේෂයක් ලෙසද ක්‍රියා කරන බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත. එය සමට අවශෝෂණය කරගනු ලැබුවත් එහි අන්තර්ගත ඉටි වැනි ස්වභාවය සම ආරක්ෂා කරන ස්ථරයක් සේ ක්‍රියා කරයි. අනෙක් විශේෂ ලක්ෂණය වන්නේ ජුජුබා තෙල් මඟින් ආසාත්මිකතා ඇතිවීම දුර්ලභ වීමයි. පෙර සඳහන් කල පරිදි අපේ ශරීරයෙන් ස්වභාවිකව නිපදවෙන සීබම් ස්‍රාවයට සමානකමක් දක්වන ජොජෝබා තෙල් සමෙහි ආලේප කල පසු සමෙහි තෙතමනය පවත්වා ගැනීම සඳහා අමතර සීබම් අවශ්‍ය නොවන බවට, කේශ මූල වලට හා දහදිය නිපදවෙන මූල වලට පණිවිඩයක් නිකුත් කරයි. එමඟින් සමේ තෙල් ගතිය තබා ගනිමින් කුරුලෑ ඇති වීම වලක්වයි. ජොජෝබා තෙල් තුල අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීරයෙහි කොලැජන් නිපදවීමට දායක වෙයි. කොලැජන් යනු සමෙහි, සන්ධිවල හා කාටිලේජ තුල අන්තර්ගතව ඇති ප්‍රෝටීනයකි. දිනෙන් දින වයස්ගත වීමත් සමඟ ශරීරයෙහි කොලැජන් ප්‍රමාණය අඩු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණේ හැඩය පවා වෙනස් වේ. එම නිසා ජොජෝබා ආලේපනය මඟින් සමෙහි තරුණ පෙනුම රැකගත හැකිය. සමෙහි තුවාලයක් ඇති වූ විට එය වේගයෙන් සුවපත් කිරීමේ විශේෂ හැකියාවක් ජොජෝබා තෙල් සතුව පවතී. එසේ වන්නේ සමෙහි කැපීමක් ඇතිවී සෛල වෙන් වූ පසු නැවත සෛල එකිනෙක බැඳීමේ වේගය වර්ධනය කිරීමේ හැකියාවක් ජොජෝබා තෙල් සතුව ඇති බැවිනි. මෙම හැකියාව කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දායක වෙයි. ජොජෝබා තෙල් මඟින් ආසාත්මිකතා ඇතිවීම අවම නිසා සමෙහි වියළීම, කැසීම ආදී රෝග ලක්ෂණ ඇති වූ විට ප්‍රතිකාර වශයෙන් යොදා ගනී.
හිරු කිරණින් ආරක්ෂා වීම සඳහා නිපදවන අලේපන වර්ග තුළ අඩංගු ජනප්‍රියතම මූලද්‍රව්‍ය ලෙස ජොජෝබා තෙල් දැක්විය හැකිය. ජොජෝබා තෙල් තුළ ඇති විටමින් E සහ ප්‍රතිඔක්සිකාරක නිසා හිරු කිරණින් සමට වන හානිය වලක්වයි. එමෙන්ම එහි අන්තර්ගතය නිසා සමෙහි ඇතිවන කුරුලෑ, ලප කැලැල් ආදියද මැකී යයි.
ආමන්ඩ් තෙල්
ආමන්ඩ් තෙල් නිපදවනු ලබන්නේ ආමන්ඩ් ඇට වලිනි. මෙමඟින් ලැබෙන්නා වූ සෞඛ්‍යමය වටිනාකම් පිලිබඳ බොහෝ දෙනා නොදැනුවත් වීම ඉතා ප්‍රබල ගැටළුවකි.
ආමන්ඩ් තෙල් සතුව 70% පමණ ප්‍රමාණයක් අසංතෘප්ත මේද අම්ල අන්තර්ගත වී ඇති බැවින් හදවතේ නිරෝගී බව පවත්වා ගැනීම සඳහා ඉවහල් වෙයි. මෙම මේද අම්ල මගින් සෞඛ්‍යයට හිතකර මේද කොලෙස්ටෙරොල් මට්ටම ඉහල නංවයි. ආමන්ඩ් තෙල් තුළ ශරීරයට අහිතකර හා සංතෘප්ත කොලෙස්ටෙරොල් ප්‍රමාණය ඉතා අවම මට්ටමක පවතී. ප්‍රතිඔක්සිකාරක, විටමින් E අධික ලෙස අඩංගු ප්‍රභවයක් ලෙස ආමන්ඩ් තෙල් දැක්විය හැකිය. මෙම ප්‍රතිඔක්සිකාරක හැකියාව ශරීරය නිදහස් අණු වලින් ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙයි. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා ආමන්ඩ් තෙල් භාවිත කල හැකිය. මේ තුළ අඩංගු ඒකඅසංතෘප්ත හා බහුඅසංතෘප්ත මේද අම්ල මඟින් දියවැඩියාවෙන් පෙලෙන රෝගීන්ගේ රුධිර සීනි මට්ටම පහළ දැමිය හැකිය. මෙම ආමන්ඩ් තෙල් දිනපතා තමාගේ ආහාරයට එක් කර ගැනීමෙන් ශරීරයේ බර අඩු කර ගැනීම පහසුවෙන් සිදුකරගත හැකිය. මේ තුළ අඩංගු ඒකඅසංතෘප්ත හා බහුඅසංතෘප්ත මේද අම්ල ශරීරයේ මේද දහනය කර ශරීරයේ බර අඩු කරයි.
විවිධ රූපලවණ්‍ය කටයුතු සඳහාද ආමන්ඩ් තෙල් යොදා ගනියි. රූපලාවණ්‍ය නිෂ්පාදන වල අඩංගු ප්‍රධානතම ද්‍රව්‍යයක් ලෙස ආමන්ඩ් තෙල් හැඳින්විය හැකි අතර සම සහ හිසකෙස් වල නිරෝගී පැවැත්ම සඳහා බොහෝ සෙයින් උපකාරී වේ. අධික වියළි හා සංවේදී සමක් ඇති අයෙකුට, තම සමේ තෙතමනය රඳවා ගැනීමට ආමන්ඩ් තෙල් භාවිත කල හැකිය. එමෙන්ම මේවා විටමින් E වලින් පොහොසත් බැවින් අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙයි. කාන්තාවන් දරුවන් ලැබීමෙන් පසු ඔවුන්ගේ උදරයේ සම ඇදීමෙන් ඇති වූ කැලලි මකා දැමීමටත්, සම රතු වීම හා කැසීම ආදිය සඳහා ප්‍රතිකාර වශයෙනුත් ආමන්ඩ් තෙල් භාවිත කල හැකිය. ස්වභාවික නිෂ්පාදන භාවිත කරන අයෙකුට නම් ආමන්ඩ් තෙල් යනු සෑම අතින්ම ප්‍රයෝජන ලබාදෙන නිෂ්පාදනයකි. මුහුණේ ගැල්වූ මේකප් ඉවත් කරන්නක් ලෙසත් සම සහ හිස කෙස් සම්බාහනය කරන්නක් ලෙසත් ආමන්ඩ් තෙල් යොදා ගත හැකිය.
ලැවෙන්ඩර් තෙල්
ලැවෙන්ඩර් තෙල් මගින් අහිතකර බැක්ටීරියා විනාශ කරන අතර එමඟින් මුහුණේ ඇති ඇසට නොපෙනෙන කුඩා සිදුරු වසා කුරුලෑ ඇති වීමෙන් සම ආරක්ෂා කරයි. එමෙන්ම සමේ ආසාත්මිකතා ඇතිවීමද පාලනය කරයි. ලැවෙන්ඩර් තෙල් සතුව පවතින ප්‍රති දිලීර කාරක නිසා සම වියළීම, කැසීම මෙන්ම ඇතිවන අනෙකුත් ආසාත්මිකතාද අවම කරයි. සම පිරිසිදු කිරීමේ හැකියාව මෙයට ඇති අතර ආසාත්මිකතා නිසා ඇතිවන සම රතු වීම ආදිය අවම කරයි. මුහුණ අවපැහැ වීම්, අඳුරු ලප කැලැල් ඇතිවීම් නිසා පීඩා විඳින කාන්තාවන්ට ලැවෙන්ඩර් තෙල් භාවිතය මඟින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිය. අහිතකර සංයෝග නිසා මුහුණපාන්නට සිදුවන මුහුණේ සම රැලි වැටීම් ආදී ගැටළු වලට විසඳුමකක් ලෙස ලැවෙන්ඩ්ර් තෙල් තුල අන්තර්ගතව ඇති ප්‍රතිඔක්සිකාරක හැකියාව දැක්විය හැකි අතර එමගින් මුහුණට තරුණ පෙනුමක් ලබා දෙයි.
ලැවෙන්ඩර් තෙල් තුල අඩංගු බීටා-කැර්යොෆයිලීන් සංයෝගය ප්‍රති ආසාත්මිකතා හැකියාවක් දක්වයි. සමෙහි ආසාත්මිකතා නිසා ඇතිවන වේදනාකාරී ඉදිමීම්, රත් පැහැ ගැන්වීම්, පිලිස්සීම් නිසා ඇතිවන තුවාල ආදිය සඳහා ස්වභාවික ප්‍රතිකාරයක් ලෙස ලැවෙන්ඩර් තෙල් යොදා ගනී. මෙමඟින් අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කිරීම ද සිදු කරයි. සමේ තුවාලයක් ඇති වූ විට ලැවෙන්ඩර් තෙල් ගැල්වූ පසු එම ස්ථානයේ සෛල වර්ධනය වේගවත් කරමින් එම තුවාලය ඉතා ඉක්මනින් සුවපත් කිරීමේ විශේෂ හැකියාවක් මෙම තෙල් වර්ගය සතුව පවතී. එමෙන්ම සමෙහි පවතින තුවාල කැළලි අඩු කිරීමේ හැකියාවද ලැවෙන්ඩර් තෙල් සතුව පවතී.
කෘමීන් පලවා හැරීමේ සුවිශේෂී හැකියාවක් සහිත ලැවෙන්ඩර් තෙල්, කෘමියෙක් සපා කෑ ස්ථානයක ගැල්වීමෙන් පසු එහි පැවතිය හැකි අධික ලෙස කසන ස්වභාවය, රතු වීම සහ වේදනාව අවම කරගත හැකිය. එමෙන්ම එම තුවාලය සහිත ස්ථානයේ බැක්ටීරියා ආසාත්මිකතා ඇතිවීමද වලක්වයි. වෙළඳපලේ පවතින මදුරුවන් පලවා හැරීමේ නිෂ්පාදන තුළ ද ලැවෙන්ඩර් තෙල් අඩංගු වේ.
කළුදුරු තෙල්
කළුදුරු තෙල් යනු සෞඛ්‍ය වටිනාකම් රැසක් ඇති තෙල් වර්ගයකි. ඈත අතීතයේ සිට අපේ මුතුන් මිත්තන් කළුදුරු යොදගනිමින් විවිධ ඖෂධ වර්ග නිපදවූ බවට සාක්ෂි බොහෝ ඇත.
නිදන්ගත රෝගයක් වන අධි රුධිර පීඩනය සඳහා මෙය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන ඖෂධයකි. එමෙන්ම හතිය වැනි රෝගයන්ටද ප්‍රතිකාර කිරීම සඳහා මෙම කළුදුරු තෙල් භාවිත කළ හැකිය. මේ සතුව අධික දිලීර විනාශ කිරිමේ හැකියාවක් පවතී. කැන්ඩිඩා නමින් හඳුන්වන දිලීර වර්ගය ශරීරයේ වර්ධනය වී කැන්ඩිඩියාසිස් නැමැති දිලීර රෝගය හට ගනී. මේ සඳහා භාවිත කල හැකි ඉතා විශිෂ්ට ඖෂධයක් ලෙස කළුදුරු තෙල් හැඳින්විය හැකිය. එමෙන්ම අධික කොලෙස්ටෙරෝල් තත්වයන් පාලනය කිරීම සඳහා කළුදුරු තෙල් සුදුසු වේ. ඒ තුළ අඩංගු සෞඛ්‍යාරක්ෂිත මේද අම්ල ශරීරයේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය පාලනය සඳහා දායකත්වයක් ලබා දෙයි. ආතරයිටීස් රෝග ලක්ෂණ ඇති වීමේදී ද කළුදුරු තෙල් නියමිත මාත්‍රාවෙන් භාවිතා කිරීම එම තත්වය මග හරවා හැනීමට උපකාරී වෙයි.
මේ තෙල් මගින් උදරයේ යම් යම් අපහසුතා වලින් පෙලෙන රෝගීන්ගේ උදර වේදනා, මස් පිඬු පෙරලීම් ආදිය සමනය කර සහනයක් ගෙනදෙයි. එලෙසම උදරයේ වාතය පිරීම, බඩ පිපීම වැනි වයස් බේදයකින් තොරව පීඩා විඳින සුලබ රෝග සඳහා ද ප්‍රතිකාර කිරීමට කළුදුරු අතිශයින්ම වැදගත් වෙයි. කළුදුරු සතුව ඇති අනෙක් සුවිශේෂී වූ වටිනාකම නම් ඒ සතුව පිලිකා වැලැක්වීමේ සංයෝග අඩංගු වීමයි. එය සමෙහි ආලේප කර ගැනීමෙන් සමෙහි පිලිකා ඇතිවීම වලක්වා සම ආරක්ෂා කරගත හැකිය.
මීට අමතරව රූපලාවණ්‍ය කටයුතු සඳහාද කළුදුරු තෙල් යොදා ගනු ලබයි. සමෙහි ඇතිවන්නාවූ විවිධ ගැටළුකාරී තත්වයන්හිදී මෙය විවිධ ආකාරයෙන් සකසා භාවිත කරයි. එමෙන්ම ඒ තුලින් ප්‍රයෝජන රැසක්ද අත් කරගත හැකිය. කුරුලෑ ඇතිවීමෙන් පීඩා විඳින්නන්ට මෙය ආලේප කිරීමෙන් සහනයක් ලබා ගත හැකිය. හිසකෙස් වියළි ස්වභාවයක් ගන්නේ නම් තෙතමනයක් පවත්වා ගැනීම සඳහාද කළුදුරු තෙල් සුදුසු වේ. සම වියළීමෙන් ආරක්ෂා කරමින් සමේ තෙතමනය රැක ගැනීම හා සම සුමුදු කිරීම සදහාද කළුදුරු තෙල් භාවිත කරනු ලබයි. සමෙහි තුවාලයක් ඇති වූ විට එහි කළුදුරු තෙල් ගැල්වීමෙන් එම ප්‍රදේශයේ රතු වීම හා බැක්ටීරියා ආසාදනය වීම වලකා එය සුවවීම වේගවත් කරගත හැකිය.
කුරුඳු පත්‍ර තෙල්
මෙම තෙල් වල සුගන්ධය චිකිත්සක කටයුතු සඳහා බහුල වශයෙන් භාවිතා කරන්නේ ඒ තුළින් හමන සෞම්‍ය වූ සුවඳ නිසාය. එමඟින් දවසේ විඩාව සංසිඳුවා පීඩනය අවම කරගනිමින් සිත සැහැල්ලු කරගැනීමට කදිම අවස්ථාවක් හිමිවේ. එමෙන්ම බාධා නොවන සුවබර නින්දක් ලබා දීමට තරම් හැකියාවක් මෙයට තිබීම විශේෂත්වයකි. මිනිස් ශරීරයේ හෝමෝන සහ හැඟීම් සමබරව පවත්වා ගැනීමට මෙම කුරුඳු පත්‍ර තෙල් උපකාරී වේ. මෙය වැනිලා, දොඩම්, මැංඩරීන් හෝ රෝස සමඟ මිශ්‍ර කර නිවස තුළ ඉසීමෙන් නැවුම් සුවඳක් පවත්වා ගැනීමට හැකිය. එමෙන්ම සුවඳ විලවුන් නිෂ්පාදනයටද මෙම තෙල් යොදා ගනු ලබයි.
සමට ප්‍රතිකාර කිරීම සඳහාද කුරුඳු පත්‍ර තෙල් යොදා ගනු ලබයි. අනෙකුත් සගන්ධ තෙල් තුළ මෙන්ම මෙහිද ප්‍රතිඔක්සිකාරක බහුල වශයෙන් අඩංගු වේ. මෙම ප්‍රතිඔක්සිකාරක මඟින් අහිතකර හිරු කිරණයන්ට නිරාවරණය වීම, මේද අධික ආහාර ගැනීම හා රසායනික සංයෝග බහුලව අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම නිසා සමෙහි ඇතිවෙන්නාවූ නිදහස් අණු ඉවත් කරයි. එමඟින් පිළිකා තත්වයන් ඇතිවීමද අවම කරයි. එමෙන්ම කුරුඳු පත්‍ර තෙල් සමෙහි තෙතමනය රැක ගැනීමෙහිලා මහඟු කාර්‍යභාරයක් ඉටු කරයි. මේවා සමට පෝෂණයක් ලබාදෙයි. මෙය දිලීර නාශකයක්, බැක්ටීරියා නාශකයක් මෙන්ම විෂබීජ නාශකයක් ලෙසද ක්‍රියා කරනු ලබයි.
කෘතිම රසායනික සංයෝග අඩංගු ෂැම්පූ වර්ග නිසා හිසකෙස් වලට වන හානිය සුළුපටු නැත. යම් විටෙක ඒවා විෂ වීමෙන් හිසකෙස් වලට මෙන්ම සෞඛ්‍යයට පවා අහිතකර විය හැකිය. මෙම කුරුඳු පත්‍ර තෙල් හිස ගැල්වීමෙන් හිසෙහි ඇති නිදහස් අණු ඉවත් කරමින් හිසකෙස් වලට වන හානිය අවම කරන අතර කිසිඳු ආසාත්මිකතාවයක් ඇති නොවේ. එමෙන්ම දවස පුරා හිසෙහි රැදෙන විෂබීජ, වායු දූෂක ආදියෙන් හිසකෙස් ආරක්ෂා වෙයි. තවද හිස්හොරි නිසා ඇතිවන පීඩාකාරී තත්වයන් අවම කර ගැනීමටත් මෙම තෙල් උපයෝගී කර ගනී. මෙම තෙල් මගින් හිස් කබලේ රුධිර සංසරණය වැඩි වීම, හිසකෙස් වර්ධනය වීම, හිසට අවශ්‍ය පෝෂණය ලැබීම, හිසකෙස් ගැලවී යාම අවම වීම, හිසකෙස් ශක්තිමත් වීම වැනි වාසි රැසක් ලබා ගැනීමට හැකිය.
කුරුඳු පොතු තෙල්
මෙයද කුරුඳු පත්‍ර තෙල් වලින් ලැබෙන වාසි වලට සමාන වූ වාසි රැසක් අත් කර දෙයි. නිවසේදීම මෙයින් නිකුත් වන සුවඳ භාවිතයෙන් කරන්නාවූ චිකිත්සක ප්‍රතිකාර මඟින් මානසික ආතතිය අඩු කර ගැනීමට, හිසරදය වැනි තත්වයන් සමනය කිරීමට හා සුවබර නින්දක් ලබාගැනීමට හැකියාව ඇත. එම වෂ්පශීලී සුගන්ධය වාතයත් සමඟ එක්වීමෙන් සම තුළට අවශෝෂණය වීම හා ආශ්වාස කිරීමෙදී ශරීරය තුලට ඇතුළු වීම සිදුවේ. මෙම චිකිත්සක ක්‍රමය සිත සැහැල්ලු කරගැනීම සඳහා ඉතා විශාල වශයෙන් ලොව පුරාම භාවිත කරයි.
මෙය බැක්ටීරියා නාශකයක් ලෙසද ක්‍රියා කරනු ලබයි. එසේ ක්‍රියා කරන්නේ කුරුඳු පොතු වලින් නිස්සාරණය කරගන්නා සගන්ධ තෙල් තුල අන්තර්ගත විශේෂ වූත් ස්වභාවික වූත් රසායනික සංයෝග නිසාවෙනි. මුඛ සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහාත් කුරුඳු තෙල් යොදා ගනියි. මේ සතුව ඇති බැක්ටීරියා නාශක හා දිලීර නාශක ගුණයන් නිසා විවිධ බැක්ටීරියා මඟින් මුඛය තුළ ඇති කරන ආසාත්මිකතා හා දන්ත කුහර ඇතිවීම වළක්වමින් මුඛ සෞඛ්‍ය රැක දෙයි.
මේ තුළ ඇති විෂබීජ නාශක හැකියාව මඟින් වඩාත් ආරක්ෂිත, ප්‍රත්ඵලදායී නිෂ්පාදනයන් සිදු කරනු ලබන අතර ඒ තුළ අඩංගු කෘතිම නොවන රසායනික සංයෝග නිසා එම නිෂ්පාදන වල ආයු කාලය ඉහල නංවයි. නිරෝගී, ඝණ කෙස් කලඹක් උරුම කරදෙන අතර හිසකෙස් වර්ධනය වේගවත් කිරීමේ හැකියාවද මේ සතුව ඇත.
ආහාර රසගැන්වීමේ ප්‍රධාන කුළුබඩු වර්ගයක් ලෙස කුරුඳු තෙල් යොදා ගනී. එමෙන්ම කුරුඳු තේ, කුරුඳු ආශ්‍රිත බේකරි නිෂ්පාදන ද මෙන්ම කුරුඳු තෙල් භාවිත කරමින් සැකසූ විවිධ සුවද විලවුන් නිෂ්පාදන ලොව පුරා පවතී. එමෙන්ම සබන්, බොඩි ලෝෂන් වැනි රූපලවණ්‍ය නිෂ්පාදන තුළ මෙන්ම දන්තාලේප, මුව සෝදන දියරයන්, ඉටිපන්දම් ආදී බොහෝ නිෂ්පාදනයන් සඳහා කුරුඳු පොතු තෙල් ප්‍රධාන මූලද්‍රව්‍යයක් ලෙස යොදා ගනු ලබයි.
අලිගැටපේර තෙල්
අලිගැටපේර තුළ ඇති මදයෙන් තෙල් නිස්සාරණය කරගනු ලබයි. අලිගැටපේර තුළ ප්‍රධාන වශයෙන්ම අඩංගු වන්නේ ඔලෙයික් අම්ලයයි. එය මේද අම්ලයක් වන් අතර හෘදයේ නිරෝගී බව පවත්වා ගැනීම සඳහා වැඩි වශයෙන් දායක වෙයි. මෙමඟින් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ නංවයි. එමෙන්ම ශරීරයට අහිතකර කොලෙස්ටෙරොල් ප්‍රමාණය පහළ දමමින් ශරීරයේ රුධිර කොලෙස්ටෙරෝල් මට්ටම හා අධි රුධිර පීඩනය පහළ මට්ටමක් දක්වා ගෙනයයි.
අලිගැටපේර තෙල් තුළ ලුටෙයින් නමින් හඳුන්වන කැරොටිනොයිඩ් විශේෂයක් අන්තර්ගතව ඇත. එමඟින් ඇසේ නිරෝගී බව පවත්වා ගැනීම සහ වයස්ගත වීමත් සමඟ ඇතිවන ඇස් ආශ්‍රිත රෝග වැළඳීමට පවතින අවදානම අඩු කරයි. එළවළු ආහාරයට ගැනීමේදී අලිගැටපේර තෙල් ස්වල්පයක් ආහාරයට එක් කිරීමෙන් කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරක අවශෝෂණය කිරීම ඉහළ නංවයි. එමෙන්ම අලිගැටපේර තෙල්, වෙනත් නිර්දේශිත තෙල් සමඟ මිශ්‍ර කර ලබා ගන්නා තෙල් අහාරයට ගැනීම තුළින් ආතරයිටීස් තත්වයන් මග හරවා ගැනීමට හැකිය. මෙම මිශ්‍රණය මගින් පටක හා අස්ථි බිඳී යාමට හේතු වන ප්‍රෝටීනය අවහිර කරමින් ඉදිමීම් ඇතිවීම වලක්වයි. මෙම අලිගැටපේර තෙල් තුලද තුවාල සුව වීමේ වේගය වර්ධනය කිරීමේ හැකියාව පවතී. අලිගැටපේර තෙල් වලට සෛල වල කොටස් තුළට ඇතුළු වෙමින් ඒ තුල හානිදායක නිදහස් අණු නිපදවීම අවම කළ හැකිය. එමගින් හදවත් රෝග, දියවැඩියාව, පිළිකා වැනි රෝගී තත්වයන් වැළඳීම අවම කළ හැකිය. මීට අමතරව ආහාර රසවත් කිරීම, විවිධ බේකරි නිෂ්පාදන කිරීම මෙන්ම රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ද අලිගැටපේර තෙල් පහසුවෙන් භාවිත කළ හැකිය.
ආගන් තෙල්
ආගන් තෙල් නිපදවනු ලබන්නේ ආගන් ශාකයේ හටගන්නා ගෙඩිය තුළ වූ මදය අනුසාරයෙනි. ආගන් තෙල් ලිනොලෙයික් හා ඔලෙයික් යන මේද අම්ල වල ඉතා හොඳ ප්‍රභවයක් වේ. මෙම ඔලෙයික් අම්ලය හෘදය නිරෝගීව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන මේද අම්ලයක් වන අතර ශරීර සෞඛ්‍යයට හිතකර මේද අම්ලයක් වේ. මීට අමතරව ආගන් තෙල් තුල විටමින් E බහුල වශයෙන් අන්තර්ගත වේ. නිරෝගී සමක්, පිරිපුන් කෙස් කලඹක් හා නිරෝගී දෑස් ලබා ගැනීම සඳහා උපකාරී වීමට විටමින් E සතුව ඇත්තේ විශාල හැකියාවකි. එමෙන්ම ඒ තුළ අඩංගු ප්‍රතිඔක්සිකාරක හැකියාව ශරීරයේ නිදහස් අණු නිපදවීම වළක්වමින් හා ශරීරය තුළ ඔක්සිකාරක පීඩනය අවම කරමින් පිළිකා වැනි රෝගී තත්වයන්ගෙන් ඔබව ආරක්ෂා කරගනු ලබයි. ආගන් තෙල් තුළ පවතින බොහෝ සංයෝග ශරීරයේ ඉදිමීම් වැනි රෝගී තත්වයන්ට එරෙහිව සටන් කරයි. ආගන් තෙල් සතුව ඇති ඔලෙයික් අම්ලය ඒක අසංතෘප්ත මේද අම්ලයක් වන අතර එය ඔමේගා 9 මේද අම්ලය ලෙස හඳුන්වයි. ආගන් තෙල් තුළ අඩංගු ශරීරයට හිතකර කොලෙස්ටෙරෝල් ලබාදෙන ඔලෙයික් අම්ලය හා ප්‍රති ඔක්සිකාරක මඟින් හෘදය ආශ්‍රිත රෝග ඇතිවීම පාලනය කරයි. එමෙන්ම බොහෝදෙනා පීඩා විදින රුධිර සීනි මට්ටම වැඩිවීම පාලනය කිරීම සඳහාද ආගන් තෙල් යොදා ගත හැකිය.
ආගන් තෙල් සම මත ගැල්වීම මඟින් හානි වූ සම නැවත සකසමින් නඩත්තු කිරීමත්, එමෙන්ම ආර්තවහරණය සිදු වූ කාන්තාවන්ගේ සම ඇදෙන සුළු බවින් වැඩි කිරීමත්, සමේ තෙතමනය පවත්වා ගැනීමත් යන කෘත්‍යයන් මඟින් තරුණ පෙනුමක් ලබා දීමත් සිදු කරයි. එමෙන්ම බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ද ආගන් තෙල් භාවිත කරයි. සමෙහි ඇතිවන අසාත්මිකතාවන්ට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව මේ තුළ පවතී. එමෙන්ම අනෙක් සගන්ධ තෙල් මෙන්ම ආගන් තෙල් මගින් ද, සමේ සෛල හානි වූ විට නැවත සකස් කරමින් තුවාල සුවවීමේ වේගය වර්ධනය කරයි. තවද සම විළීමෙන් තොරව තබා ගැනීමටත්, හිසකෙස් වලට වන හානිය අවම කරගැනීමටත් ආගන් තෙල් ඉතම වැදගත් වේ. ප්‍රධාන වශයෙන් උදරයේ හා අනෙක් ප්‍රදේශවල සම ඇදීමෙන් ඇතිවන කැලලි මකා දැමීමට ආගන් තෙල් ඒ මත ගැල්විය හැකිය. මුහුණේ ඇතිවන කුරුලෑ, ඒ නිසා ඇතිවන තුවාල හා රතුවීම් අවම කිරීම ආගන් තෙල් මඟින් සිදු කරයි. ආහාර වර්ග සකසා ගැනීමේදී ද ආගන් තෙල් භාවිත කරනු ලබයි.
ඉඟුරු තෙල්
ඉඟුරු තෙල් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ යොදාගන්නා ඉතා විශේෂ ඖෂධයක් වේ. ආහාර රසවත් කිරීම සඳහා තරමක් සැර වැඩි බවින් යුතු කුළුබඩු වර්ගයක් ලෙස මෙන්ම මෙන්ම විවිධ ආහාර නිෂ්පාදනය කිරීම සඳහාත් ඉඟුරු තෙල් යොදාගනු ලබයි.
උණ රෝගයෙන් පෙළෙන විට දැනෙන සීතල අවම කිරීම සඳහා මෙන්ම ඉරුවාරදය වැනි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා විවිධ ක්‍රම උප්යෝගී කරගනිමින් ඉඟුරු තෙල් භාවිත කරයි. මෙයින් නිකුත්වන සුවඳ චිකිත්සක ප්‍රතිකාර කිරීමටත් යොදා ගනියි. වකුගඩු වල ඇතිවන ඉදිමීම් හා ආසාත්මිකතා වැනි තත්වයින් අවම කරමින් වකුගඩු ආරක්ෂා කිරීම මෙමඟින් සිදු කරයි. ශරීරයේ බර අඩු කරගැනීමට අවශ්‍ය නම් ඉගුරු තෙල් ආහාරයට එක් කර ගැනීමෙන් වඩාත් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය. යම් විටෙක ඔක්කාරය හා වමනය වැනි පීඩාකාරී තත්වයන්ගෙන් පෙලෙන විට ඉඟුරු තෙල් වලින් හමන සුවඳ ආග්‍රහණය කිරීම තුළින් එම තත්වයන් සමනය කර ගත හැකිය. මෙය ඈත අතීතයේ සිට පැවතගෙන එන ක්‍රමවේදයකි. ඉඟුරු තෙල් යොදා ගනිමින් නිෂ්පාදනය කරන්නාවූ ෂැම්පූ හා හිස ගල්වන තෙල් වර්ග මඟින් හිසකෙස් නිරෝගී කිරීම මෙන්ම වර්ධනය කිරීමද සිදු කරන බව පරික්ෂණ මගින් පවා සොයාගෙන ඇත. මෙයට හේතු වන්නේ ඉඟුරු තෙල් තුළ අන්තර්ගත ජින්ජරෝල් නැමැති ක්‍රියාකාරී සංයෝගයයි. සම රැලි වැටීම අවම කිරීම සඳහා ඉඟුරු තෙල් අඩංගු නිෂ්පාදන බහුලව නිපදවයි. ඒ තුළ අධික ප්‍රතිඔක්සිකරණ හැකියාවක්ද පවතී. තවද ආතරයිටීස් වැනි රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහාද ඉඟුරු තෙල් සුදුසු බව පරීක්ෂණ මඟින් සනාථ වී ඇත.
කරාබු නැටි තෙල්
අතීතයේ සිට ආහාර රසවත් කිරීම සහ සුවඳ ගැන්වීම සඳහා බහුලව භාවිත කරන කුළුබඩු වර්ගයක් ලෙස කරාබු නැටි හැඳින්විය හැකිය. මෙමඟින් නිස්සාරණය කරගන්නා තෙල්, කැස්ස හා හතිය වැනි ශ්වසන ආබාධ ඇති වූ විට ඒවා සුවපත් කිරීම සඳහා භාවිත කරයි. ආහාර දිරවීමේ අපහසුතා මහ හැරවීමද මෙමඟින් සිදු කරනු ලබයි. කරාබු නැටි තෙල් තුළ අන්තර්ගත ඉයිජිනෝල් නැමැති සංයෝගය වැඩි වශයෙන් ක්‍රියාකාරී වේ. වර්තමානයේ පවතින ප්‍රතිජීවක ඖෂධ සමඟ සසදන විට බැක්ටීරියා හා දිලීර විනාශ කිරීම සඳහා වැඩි හැකියාවක් ඇත්තේ කරාබු නැටි තෙල් වලටය. මුඛයේ සිටින බැක්ටීරියා හා දිලීර විනාශ කිරීමත්, දත් කුහර ඇතිවීම වැලැක්වීමත් එමඟින් දත් කැක්කුම් ඇති වීම අවම කිරීමත් යන මුඛ සෞඛ්‍ය පිළිවෙත් රැකගැනීම සඳහා අවශ්‍ය උපකාරයන් මෙම තෙල් මග්න් ලබාදෙයි. දන්තාලේප නිපදවීමේදී කරාබු නැටි තෙල් භාවිත කරන්නේ එබැවිනි. මෙමඟින් සමෙහි ආසාත්මිකතා නිසා ඇති වන කැසීම් අවම කිරීමත්, වේගයෙන් තුවාල සුව කිරීමත් සිදු කරයි. පිළිකා සෛල වර්ධනය වීම වළකා පිළිකා ඇතිවීම අවම කිරීමේ හැකියාවද මේ තුළ පවතී.
සේර තෙල්
සේර තෙල් තුල ප්‍රතිඔක්සිකාරක ගුණ පවතින බැවින් එමඟින් නිදහස් අණු විනාශ කරමින් පිළිකා තත්ව, සම රැලි වැටීම ආදී ගැටලු ඇතිවීම අවම කරයි. මුඛ සෞඛ්‍යට අහිතකර බලපෑම් එල්ල කරන බැක්ටීරියා හා දිලීර විනාශ කරමින් දත් කුහර ඇති වීමත්, ආසාත්මිකතා ඇතිවීමත් අවම කරයි. සේර තෙල් තුල අඩංගු සිට්‍රල් හා ජෙරනියල් යන සංයෝග නිසා හෘත් ආඝාතය, හෘදයාබාධ වැනි රෝග ඇතිවීම සීමා කරයි. සේර තෙල් ආහාරයට එක් කරගැනීම තුළින් ඉතා ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියකට හිමිකම් කිව හැකිය. පිලිකා සෛල නිපදවන විට ඒ සමඟ සටන් කිරීමේ ප්‍රබල හැකියාවක් සේර තෙල් සතුව ඇත. උදරයේ වේදනාවන්, මස්පිඬු පෙරළීම් හා අජීරණ තත්වයන් නිසා ඇතිවන අපහසුතා මගහරවා ගැනීමට සේර තෙල් උපකාරී වේ. එමෙන්ම ඇස්ප්‍රීන් හා මධ්‍යසාර නිසා ආමාශයට ඇතිවන හානි වැලැක්වීමද මෙමගින් සිදුකරයි.
තවත් විශේෂ වූ ලක්ෂණයක් වන්නේ මෙමඟින් මුත්‍රාශ පද්ධතිය කාර්‍යක්ෂම කිරීමෙන් අමතර සෝඩියම් හා අනෙකුත් විෂ තරලයන් ශරීරයෙන් බැහැර කරමින් හදවතේ, අක්මාවේ ඇති අකාර්‍යක්ෂම බව අඩු කිරීමයි. හද ගැස්මේ වේගය ක්‍රමවත්ව පවත්වා ගනිමින් රුධිර පීඩනය පාලනය කිරීමද මෙමඟින් සිදුකරයි. හෘදයාබාධ හා හෘත් ආඝාතය සඳහා හේතුවන ශරීරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පහල මට්ටමක් දක්වා ගෙනයමින් හෘදය නිරෝගීව තබා ගැනීමට සේර තෙල් උපකාරී වෙයි. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය කාර්‍යක්ෂම කරමින් ශරීර බර අඩු කිරීමද මෙමඟින් සිදු කරයි. කාන්තාවන්ගේ මාසික ඔපස් වීමේදී ඇතිවන වේදනාවන් සමනය කරගැනීමටද මෙය උපකාරී වේ.
කලු ගම්මිරිස් ඇට තෙල්
ගම්මිරිස් “කුලුබඩු ලොවේ රජු” ලෙස හැදින්වෙන වන අතර මෙයින් බොහෝමයක් ප්‍රයෝජනයන් ලැබේ. කලු ගම්මිරිස් ඇට වලින් නිපදවන තෙල් වල පවතින උණුසුම් බව ආත්‍රයිටීස් තත්වයන්ට, මස්පිඬු වල ඇතිවන වේදනාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනියි. මෙමඟින් ආහාර දිරවීම පහසු කරන අතර මලබද්ධය, පාචනය හා ගැස්ට්‍රයිටීස් වැනී රෝගයන් අවම කිරීමට ද උපකාරී වේ. ශරීරයට හිතකර කොලෙස්ටරෝල් ප්‍රමානය ඉහළ දැමීමත්, ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කිරීමත් සිදු කරමින් ශරීරය තුළ පවතින මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය පහත දමයි.
මේ තුල වෛරසයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාවද පවතී. මෙම තෙල් කුරුඳු වැනි තෙල් තෙල් වර්ගයක් සමඟ එක් කළ විට ශරීරයේ රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරමින් අධි රුධිර පීඩන තත්වයන් සාමන්‍ය තත්වයන්ට ගෙන ඒමට දායක වේ. එමඟින් හෘදය ආශ්‍රිත රෝගී තත්වයන්ද පාලනය කරනු ලබයි. පෙර සඳහන් කරන ලද සගන්ධ තෙල් තුළ මෙන්ම මේ තුළද ප්‍රතිඔක්සිකාරක ගුණ පවතින බැවින් පිලිකා රෝගවලට එරෙහිව ක්‍රියා කරයි. දුම් පානයට ඇබ්බැහි වූවන් එම පුරුද්ද අතහැර දැමූ පසුව මතුවන ලක්ෂණ වලට ප්‍රතිකාර ලෙස මෙම තෙල් ආග්‍රහණය කරවීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. එබැවින් අහිතකර දුම් පානය වෙනුවට මෙය ආදේශකයක් ලෙස යොදා ගනී. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට බාධා පමුණුවන විෂ ද්‍රව්‍යයන් ශරීරයෙන් ඉවත් කිරීම ද මෙමගින් සිදු කරනු ලබයි. විවිධ ස්නායු රෝග හේතුවෙන් ආහාර ගිලීමේ අපහසුතා වලින් පෙලෙන රෝගීන්ට මෙම තෙල් ආශ්වාස කිරීමට හා අධිග්‍රහණය කිරීමට දීමෙන් ගිලීමේ අපහසුතාවය ක්‍රමයෙන් අවම කළ හැකිය. මීට අමතරව ගම්මිරිස් තෙල්, ආහාර කල් තබාගැනීම සඳහාද භාවිත කරයි.
සාදික්කා තෙල්
සාදික්කා තෙල් ඕනෑම ආකාරයකින් භාවිතයට ගැනීම තුළින් රුධිර සංසරණය ක්‍රමවත් කර සෛල වලට අවශ්‍ය ඔක්සිජන් නොඅඩුව සපයයි. මානසික පීඩනයක් ඇති වූ විට ඒ සමඟ සටන් කරමින් සහනය ගෙන දෙන අතර රුධිර පීඩනයද නියමිත ප්‍රමාණයක පවත්වා ගැනීමට උපකාරී වේ. සාදික්කා තෙල් තුළ මාසික ඔපස් වීමේ ක්‍රියාවලියට සහය දැක්වීමට අවශ්‍ය සියළුම පෝෂණ ගුණයන් පවතින අතර එහිදී ඇතිවන වේදනාව හා හෝමෝන අසමතුලිතතාවය පාලනය කරයි. තවද, ස්නායු තුළ පවතින පීඩනය අවම කරමින් සුවදායී හා ගුණාත්මක බවෙන් ඉහල නින්දක් උරුම කර දෙයි.
ආහාර දිරවීමේ අපහසුතා ඇතිවීම නිසා ඇතිවන අජීරණයන් හා පාචනය වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමටද මෙය යොදා ගනියි. මොලයේ ක්‍රියාකාරීත්වය වැඩි කරමින් මතක ශක්තිය වර්ධනය කිරීමත් මනසෙහි ඒකාග්‍රතාවය වැඩි දියුණු කිරීමත් සාදික්කා තෙල් මගින් ලබාගත හැකි විශේෂ වාසි වේ. මෙය ස්වභාවික සුවඳ විලවුන් වර්ගයක් ලෙස භාවිත කළ හැකි අතර ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ අපහසුතා මග හරවා ගැනීමට ද දායක වේ. එමෙන්ම මුඛය ආශ්‍රිත ආසාත්මිකතා සඳහාද ප්‍රතිකාර වශයෙන් යොදා ගනියි. එමෙන්ම සාදික්කා තෙල් වල අන්තර්ගත සංයෝග වලට හතිය වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ මනා හැකියාවක් පවතී. මිනිස් දේහයේ ඉන්සියුලීන් ක්‍රියාකරීත්වය වැඩි කරමින් රුධිර සීනි මට්ටම පහල දැමීම සඳහාද සාදික්කා තෙල් භාවිත කරයි. වකුගඩු හා අක්මාව නිරෝගීව පවත්වා ගැනීමට මෙන්ම සමේ නිරෝගී බව පවත්වා ගැනීම සඳහාද මෙය මහඟු දායකත්වයක් දක්වයි.
පැඟිරි තෙල්
පැඟිරි තෙල්, තෙහෙට්ටුව සංසිඳුවා නැවුම් බවක් ලබා දීමට උපකාරී වෙයි. එමෙන්ම සුවඳ විලවුන් නිෂ්පාදනයට මෙන්ම ස්වභාවික ආහාර රසකාරකයක් ලෙසද යොදා ගනු ලබයි. විශේෂයෙන්ම මදුරුවන් පලවා හැරීම සඳහා බහුල වශයෙන් භාවිත කරනුයේ මෙම පැඟිරි තෙල් ය. ඒ සතුව පැය කිහිපයක් පමණ මදුරුවන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාව පවතී. වෙළදපොලේ දැනට ඇති මදුරු නාශක දියර හා ක්‍රීම් සෑදීමට ද පැගිරි තෙල් අනිවාර්‍යයෙන් පාහේ භාවිත කරයි.
දිලීර වල සෛල බිත්ති බිඳ දමමින් දිලීර විනාශ කිරීමටත් එමඟින් දිලීර මඟින් දේහයේ විවිධ අවයව වල ඇති කරනු ලබන දිලීර ආසාදනයන් වැලැක්වීමටත් පැඟිරි තෙල් සතුව විශේෂ හැකියාවක් ඇත. මේ සතුව පවතින දිලීර හා බැක්ටීරියා නාශක ගුණය නිසා තුවාලයක් ඇති වූ විට එහි ආසාත්මිකතා ඇතිවීම වලක්වා එය වේගයෙන් සුවපත් කිරීමට ද පැගිරි තෙල් වලට පුලුවන. පැඟිරි තෙල් ආශ්වාස කිරීම තුළින් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය හා බර අඩු කරගැනීමේ හැකියාවක් පවතින බව සොයාගෙන ඇත.
කස්තුරිකහ තෙල්
මිලෙන් අධික නමුත් මිනිස් ශරීරයට අගනා වාසි රැසක් මෙමගින් ලබා දේ. කස්තුරිකහ තෙල් ශරීරයේ ස්නායු පද්ධතිය හා සෛල වල කෘත්‍යයන් ඉහළ නැංවීම සඳහා දායක වෙයි. මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක හැකියාව තුළින් නිදහස් අණු නිසා ඇතිවන හානියන් වලක්වා පිළිකා තත්වයන්ගෙන් ශරීරය ආරක්ෂා කරයි. එමෙන්ම ශරීරයේ හොඳ ප්‍රතිශක්තියක් ගොඩනගා ගැනීමට ද උපකාරී වෙයි. මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගනිමින් හැඟීම් පාලනය කිරීම සඳහාද කස්තුරිකහ තෙල් යොදා ගනු ලබයි. ශරීරයේ ග්ලූකෝස් හා ලිපිඩ පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම මෙහි වැදගත් ප්‍රයෝජනයක් වේ. සමට ඉතා හොඳ එමෙන්ම විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙන තෙල් වර්ගයක් වන මෙය සම පැහැපත් කරමින් තෙතමනය පවත්වා ගැනීමටත්, කුරුලෑ ලප කැලැල් අඩු කිරීම සඳහා විශ්මිත ප්‍රතිකර්මයක් ලෙසත් භාවිත කරයි. ඒ අතරම රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා බහුල වශයෙන් අදටත් කස්තුරි කහ තෙල් භාවිත කරයි.
වර්තමානයේ ද සගන්ධ තෙල් නිෂ්පාදන රැසක් වෙලදපොලෙන් පහසු මිලට ලබාගැනීමට ඔබට හැකියාව පවතින අතර මේවා බොහෝමයක් ශ්‍රී ලංකාවේදීම ස්වාභාවිකවම නිපදවූ ශාක සාර සංයෝග වීම සුවිශේෂී වේ. එනිසාම මෙම තෙල් වර්ග මගින් ඔබේ ශරීරයට අසීමිත ස්වාභාවික රැකවරණයක් ලබා දේ. වෙලදපොලේ ඇති කෘතීම පෙති හා ආලේපන වෙනුවට මෙවැනි තෙල් වර්ග භාවිතයෙන් ඔබට නීරෝගි දිවියක් මෙන්ම සුන්දර වතකට ද හිමිකම් කිව හැකිය.