වසර ගණනාවකට පසු ඈත පිහිටි ස්ථාන පියවි ඇසින් පැහැදිලිව දර්ශනය කිරීමට හැකිවූ බව මෑත කාලයේ සමාජ ජාල මාධ්‍යයන් ඔස්සේ කාගේත් කතාබහට ලක්වූ මාතෘකාවකි. විදෙස් රටවල පමණක් නොව ශ්‍රී ලංකාවේ ද ඇතැම් ස්ථානවලට වෙනදාට දර්ශනය නොවන ශ්‍රී පාදස්ථානය, කොළඹ නගරය ආදී ස්ථාන පවා දර්ශනය වීම් හා ඒවා ඡායාරූපයට නැගූ පුද්ගලයන් එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැර තිබිණි. ඇමසන් වනාන්තර කලාපය හා අප්‍රිකානු වනගත පෙදෙස් වැනි අවම කාර්මීකරණයක් පවතින ප්‍රදේශවලට එතරම් අරුමයක් නොවන මෙම තත්ත්වය, යන්ත්‍ර සූත්‍ර බහුල පෙදෙස්වල ජනයාට ඉතා විමතිය දැනවූ පුවතක් විය. පරිසරවේදීන් ප්‍රකාශ කරන අන්දමට මෙකී අසාමාන්‍ය පැහැදිලි තත්ත්වයන්ට හේතුව වනුයේ පසුගිය කාලසීමාව මුළුල්ලේ ලොවපුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් කර්මාන්තශාලා, යන්ත්‍ර සූත්‍ර සහ රථ වාහන භාවිතය ඉතා අවම අගයක් ගැනීම ය. සරලව කිවහොත් ගතවූ මාස කිහිපය තුල ලෝකයේ වායු දූෂණය බොහෝ දුරට අඩුවීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බව ඔවුන්ගේ මතය වේ.

වායුදූෂණය යනු
ස්වාභාවික සංසිද්ධීන් නිසාවෙන් හෝ මිනිසාගේ සෘජු හෝ වක්‍රාකාර ක්‍රියාකාරකම් නිසා රසායනික ද්‍රව්‍ය සහ අහිතකර වායු වර්ග පරිසරයට නිකුත්වීම හේතුවෙන් වායුගෝලයේ ගුණාත්මකභාවය අඩු වීමත් ඊට හානි පැමිණවීමත් වායු දුෂණය ලෙස සරලව හැඳින්විය හැකිය.
පෘථිවි වායුගෝලය ප්‍රධාන වශයෙන් වායු වර්ග කිහිපයකින් සමන්විත වේ. නයිට්‍රජන්(78%) සහ ඔක්සිජන්(21%)ප්‍රධාන වශයෙනුත්, කාබන්ඩයොක්සයිඩ්, ආගන්, නියෝන්, හීලියම් හා ඕසෝන් 1% පමණ සුළු ප්‍රමාණයකිනුත් අඩංගු වේ. මිනිස් සහ ස්වභාවික ක්‍රියාකාරකම් නිසා වෙනත් අහිතකර වායු වර්ග වන කාබන්මොනොක්සයිඩ්, සල්ෆර්වල සහ නයිට්‍රජන්වල ඔක්සයිඩ, හයිඩ්‍රොකාබන් වර්ග, කාබන්ඩයොක්සයිඩ්, ඕසෝන්, ජල වාෂ්ප, මීතේන් සහ ඇතැම් අංශුමය ද්‍රව්‍යද වායුගෝලයට එකතු වේ. එකී අහිතකර වායුන් වල සාන්ද්‍රණය වායුගෝලයේ ගුණාත්මක භාවයට හානියක් වන ලෙස ඉහල යාම නිසා වායු දූෂණය ඇතිවේ. මූලික අවධානයට ලක්වන වායුමය දූෂකයන් අතර සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ප්‍රධාන වේ. මේවා බලාගාර, මෝටර් රථ සහ වෙනත් දහන ප්‍රභවයන්හි දහනය කරනු ලබන ඉන්ධන, තෙල්, ගෑස්ලීන් සහ ස්වාභාවික වායු වැනි පොසිල ඉන්ධන වලින් කෙලින්ම වාතයට විමෝචනය වේ. පහල වායු ස්ථරයේ ඇති ඕසෝන්ද වායුමය දූෂකයකි.
“අංශු” ලෙස හැඳින්වෙන අතිශය කුඩා ඝන හෝ ද්‍රව කොටස් වලින් වාතයේ ඇත. මේවායින් විශේෂයෙන් මයික්‍රොමීටර 10 ට වඩා අඩු ප්‍රමාණයෙන් යුතු අංශුමය කොටස් සැලකිය තරමේ යුතු වායු දූෂක වේ. ඒවා මිනිස් සෞඛ්‍යයට ඉතා අහිතකර බලපෑම් ඇති කරයි. විවිධ කාර්මික ක්‍රියාවලීන්, ගල් අඟුරු හෝ තෙල් දහනය කරන බලාගාර, නේවාසික තාපන පද්ධති සහ මෝටර් රථ මගින් මෙවන් අංශු විමෝචනය වේ. ලෝහ සැකසුම් කිරීමේදී නිදහස් වන ඊයම් දුම විශේෂයෙන්ම ජීවීන් හට විෂ සහිත වන අතර එය බොහෝ ඩීසල් ඉන්ධනවල මූලිකවම අඩංගුවන දූෂකයකි.
වායු දූෂණය කියූ සැනින් සිහියට නැගෙන්නේ සාමාන්‍යයෙන් විශාල කර්මාන්තශාලා වලින් හෝ වාහන වලින් පිටවන අහිතකර වායු වර්ගයි. නමුත් නිරායාසයෙන්ම සිදුවන ගෘහස්ථ වායු දූෂණයටද බොහෝ බලපෑම් සිදුකළ හැකි ය. භූමිතෙල්, දැව සහ ගල් අඟුරු වැනි ද්‍රව්‍ය දහනය කර නිවසක් උණුසුම් කිරීමෙන් හෝ ආහාර පිසින උඳුන් දැල්වීමෙන් නිවස තුළ වාතය දූෂණය විය හැකිය. අළු සහ දුම නිසා හුස්ම ගැනීම අපහසු වන අතර ඒවායේ රෝගකාරක අංශුවලට බිත්ති, ආහාර සහ ඇඳුම් පැළඳුම් වල ඇලී සිටිය හැකිය.
මිනිස් ක්‍රියාකාරකම් වලට අමතරව ස්වභාවික සංසිද්ධි නිසාද වායුගෝලයට දුෂක ද්‍රව්‍ය එකතු වේ. ගිනිකඳු, වනාන්තර ප්‍රදේශවල වියළි කාළගුණික තත්ත්ව නිසා ඇතිවන ලැව්ගිනි, දිරා යන ශාක සහ සත්ත්ව කොටස්, පස, වෛරස්, බැක්ටීරියා සහ සාගරය හරහා ද විවිධ අවස්ථාවලදී වායුගෝලයට අහිතකර වායු වර්ග විමෝචනය වේ.
කාබන්ඩයොක්සයිඩ් යනු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි විශාලතම බලපෑමක් ඇති කළ හරිතාගාර වායුවකි. ස්වාභාවික හා කෘතිම ප්‍රභවයන්ගෙන් විමෝචනය වන අනෙකුත් හරිතාගාර වායූන් අතර මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ ෆ්ලෝරිනීකෘත වායූන් ද ඇතුළත් වේ. මීතේන් යනු ගල් අඟුරු බලාගාර හා කෘෂිකාර්මික ක්‍රියාවලීන්ගෙන් නිකුත් වන ප්‍රධාන විමෝචකයකි. හයිඩ්‍රොෆ්ලෝරෝ කාබන් වැනි ෆ්ලෝරිනීකෘත වායූන් මූලිකවම කර්මාන්ත ආශ්‍රිතව විමෝචනය වේ. ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් (CFC) වැනි වායූන් වෙනුවට ෆ්ලෝරිනීකෘත වායූන් බොහෝ විට භාවිතා වේ. CFC ශීතකරණවල අඩංගුකර තිබෙන ශීතකාරක වායුවක් වන අතර වර්තමානයේ බොහෝ ස්ථානවල එය නීතියෙන් තහනම් කර ඇත්තේ ඕසෝන් ස්ථරය ක්ෂය වීමට බලපාන නිසා ය.

වායු දූෂණයේ අහිතකර ප්‍රතිවිපාක
මානව සෞඛ්‍යයට සිදුවන බලපෑම්
වායු දූෂණයට නිරාවරණය වීමෙන් ජනතාවට සෞඛ්‍යමය බලපෑම් රාශියක් අත්විඳීමට සිදුවන බව නොරහසකි. එම බලපෑම් කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ප්‍රතිඵල ගෙනදිය හැකිය.
දූෂිත වාතය ශරීරගත වීම නිසා ඇතිවන බලපෑම් වශයෙන් නියුමෝනියාව හෝ බ්රොන්කයිටිස් වැනි රෝග වැළඳීමට ඉඩ ඇත. නාසය, උගුර, ඇස් හෝ සමට ඇති වන කැක්කුම වැනි අපහසුතා ද ඒවාට ඇතුළත් ය. එසේම හිසරදය, කරකැවිල්ල සහ ඔක්කාරය වැනි ශාරීරික අපහසුතා ද ඇති විය හැකිය. කර්මාන්තශාලා, කසළ හෝ අපවහන පද්ධති මගින් ඇති කරන දුර්ගන්ධයද වායු දූෂණයේ වැඩිදුර කතාබහට ලක්නොවන කොටසකි. මෙම ගන්ධයන් වලට බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කිරීමේ හැකියාවක් නොමැති නමුත් ඒවා අප්‍රසන්න දුර්ගන්ධයන් ඇතිවීමට හේතුවක් වේ.
වායු දූෂණයෙහි දිගුකාලීන බලපෑම් වසර ගණනාවක් හෝ මුළු ජීවිත කාලය පුරාම පැවතිය හැකිය. එසේම මෙම ආකාරයේ බලපෑම් ඇතිවන්නේ දීර්ඝ කාලයක් තිස්සේ දූෂිත වායුව ශරීරයට එකතුවීම නිසා ය. පුද්ගලයෙකුගේ මරණයට පවා ඒවා හේතු විය හැකිය. වායු දූෂණයෙන් ඇති වන දිගු කාලීන සෞඛ්‍ය බලපෑම් අතරට හෘද රෝග, පෙනහළු පිළිකා සහ එම්පිසීමාව වැනි ශ්වසන රෝග මූලික තැනක් ගනී. වායු දූෂණය මගින් මිනිසුන්ගේ ස්නායු, මොළය, වකුගඩු, අක්මාව සහ අනෙකුත් අවයව වලට දිගුකාලීන හානියක් සිදුවිය හැකිය. සමහර විද්‍යාඥයින් සැක කරන්නේ වායු දූෂක වලට අධිකව නිරාවරණය වීම නිසා උපත් ආබාධ ද ඇති කරන බවයි. සෑම වසරකම ලොව පුරා මිලියන 7 ක ජනතාවක් වායු දූෂණයෙන් මිය යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් නවදෙනෙකුම ඉහල දූෂක අඩංගු වාතය ආශ්වාස කරයි. ලෝක පරිසර සංවිධානය සිය සාමාජික රටවල් සමඟ එක්ව වායු දූෂණය නිරීක්ෂණය කිරීමට සහ වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට කටයුතු කරන්නේ මෙම මරණ ප්‍රමාණය අවම කිරීමේ අරමුණෙනි.
නිරත්තරයෙන් වායු දූෂණය අධීක්ෂණය කෙරෙන නාගරික ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් අහිතකර වායු මට්ටම්වලට නිරාවරණය වී ඇති අතර අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල් ගෘහස්ථව හා එළිමහනේ හැසිරෙන ජනතාවද මෙම තත්ත්වයට නිරාවරණය වී පීඩා විඳිති.
මිනිසුන් වායු දූෂණයට ප්‍රතික්‍රියා දක්වන අන්දම එකිනෙකාගේ වයස් සීමාවන්, ප්‍රතිශක්තීකරණය ආදී සාධක මත වෙනස් වේ. කුඩා දරුවන් සහ වැඩිහිටියන් සැසඳීමේදී කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන අතර, බොහෝ විට වායු දූෂණයට ඔවුන් වඩා සංවේදී වේ. දරුවන් මෙන්ම මහළු පුද්ගලයින්ද බලපෑමට ලක්වීමට වැඩි ඉඩක් පවතින අතර ඔවුන් පීඩාවිඳින ඇදුම, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි තත්වයන් වායු දූෂණයට නිරාවරණය වීමෙන් වඩාත් නරක අතට හැරිය හැකිය. නිරාවරණයේ ප්‍රමාණය හා දූෂක වර්ගයේ ප්‍රබලතාවයද මෙහිදී බලපාන සාධක වේ.

පාරිසරික බලපෑම්
මිනිසුන්හට මෙන්ම සතුන්, ශාක නියෝජනය කරන සමස්ත පරිසර පද්ධතියට වායු දූෂණයෙන් දැඩි බලපෑම් ඇති විය හැකිය. දුමාරය වැනි තත්ත්ව නිසා හැඩයන් සහ වර්ණ අපැහැදිලි කරන ලෙස දෘශ්‍ය වාතය අපැහැදිලි විය හැකිය. අධික වායු දූෂණය නිසා ශබ්ද වල නිවැරදි සංඛ්‍යාත වෙනස්වීම නිසා ඇතැම් සත්ව විශේෂවලට සන්නිවේදනය කිරීමේ අපහසුතා ඇතිව තිබේ. මිනිසුන් මෙන්ම සතුන්ටද වායු දූෂණයට නිරාවරණය වීමෙන් සෞඛ්‍යමය බලපෑම් ඇතිවිය හැකිය. එය ඔවුන්ගේ ස්වභාවික පැවැත්මට තර්ජනයකි.
බොහෝමයක් වායු දූෂක අංශු අවසානයේදී නැවත පෘථිවි පෘෂ්ඨයටම වැටේ. එවැනි අංශුවලට ජලය හා පසෙහි මතුපිට ස්ථර කෙලින්ම දූෂණය කිරීමේ හැකියාව පවතී. මෙමඟින් වගාබිම් ආශ්‍රිතව මෙන්ම ස්වභාවිකව පරිසරයේ වැවෙන බෝග වර්ග විනාශ කිරීමට හෝ ඒවායේ අස්වැන්න අඩු කිරීමට හැකිය.
සල්ෆර් ඩයොක්සයිඩ් සහ වාතයේ ඇති නයිට්‍රජන් ඔක්සයිඩ් අංශු, වායුගෝලයේ ජලය හා ඔක්සිජන් සමඟ මිශ්‍ර වූ විට අම්ල වැසි ඇති කළ හැකිය. මෙම වායු දූෂක බොහෝ දුරට පැමිණෙන්නේ ගල් අඟුරු බලාගාර සහ මෝටර් වාහන මගිනි. අම්ල වැසි පෘථිවි පෘෂ්ඨය සමග ගැටෙන විට පාංශු සංයුතිය වෙනස් කිරීමෙන් ශාකවලට හානි කරයි. ගංගා, විල් සහ ඇළ දොළවල ජලයේ ගුණාත්මකභාවය පිරිහීමට ලක් කරයි. එසේම බෝග වලට හානි කිරීම, සිමෙන්ති, හුණුගල් සහ ලෝහ වර්ග භාවිතයෙන් සකසා ඇති ගොඩනැගිලි සහ ස්මාරක ඛාදනය වීමටද අම්ල වැසි හේතු විය හැකිය.

ගෝලීය උෂ්ණත්වය ඉහලයාම
ගෝලීය උණුසුම ඉහල යාමට ප්‍රධානත හේතුව වන්නේ වායු දූෂණයයි. මෙම සංසිද්ධියෙන් පැහැදිලි කෙරෙන්නේ ලොව පුරා වාතය සහ සාගරවල උෂ්ණත්වයේ සිදුවන අසාමාන්‍ය ඉහල යාමයි. මෙම උෂ්ණත්වය ඉහළ යාම සිදුවන්නේ වායුගෝලයේ ඇති හරිතාගාර වායු ප්‍රමාණය වැඩිවීම නිසාවෙනි. හරිතාගාර වායූන් විසින් පෘථිවි වායුගෝලයේ තාප ශක්තිය ඉහල අභ්‍යවකාශයට යාමට ඉඩනොදී රඳවා තබාගැනීම නිසා පෘථිවියේ උෂ්ණත්වය ඉහලයාම සිදුවේ. එවිට ග්ලැසියර් දියවීම නිසා මුහුදු මට්ටම ඉහළ යාමත් තවත් බොහෝමයක් අහිතකර විපාකත් ඇති වේ.

වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ලෝක මට්ටමේ ක්‍රියාමාර්ග
වායු දූෂණය නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැළැක්වීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට හෝ සීමා කිරීමට ලොව පුරා බොහෝ රටවල් පියවර ගෙන තිබේ. චිකාගෝ ගිවිසුම, වියානා සම්මුතිය හා මොන්ට්‍රියල් සම්මුතිය යනු අසූව දශකයේ ලෝක මට්ටමින් වායු දූෂණය මැඩලීමට ගන්නා ලද ක්‍රියාමාර්ග වලින් කිහිපයකි. ජපානයේ කියෝතෝ හිදී ප්‍රථම වරට සම්මත කරගන්නා ලද කියෝතෝ සම්මුතිය අනුව රටවල් 183ක සිදුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති සහ අණපනත් සම්පාදනය කිරීමටත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් බැඳී සිටී. කෙසේ වෙතත් ලෝකයේ ඉහලම කාර්මීකරණයක් පෙන්වන රටවල් අතර තෙවන තැන ගන්නා එක්සත් ජනපදය එම ගිවිසුමට අත්සන් තබා නොමැත.
ජාත්‍යන්තර කියෝතෝ ගිවිසුමට අමතරව බොහෝ සංවර්ධිත රටවල් වායු විමෝචනය නියාමනය කිරීමට සහ වායු දූෂණය අවම කිරීමට නීති දේශීය වශයෙන් සම්මත කර ඇත. එක්සත් ජනපදයේ, විමෝචනය සීමා කිරීම සඳහා “Cap and trade” යනුවෙන් හැඳින්වෙන පද්ධතියක් භාවිතය පිළිබඳ විවාදයක් පවතී. සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී ඔවුන්ගේ පාරිසරික ගුණාත්මක මට්ටම්වල සීමාව ඉක්මවා ගිය සමාගම්වලට ඒ වෙනුවෙන් යම් වන්දියක් ගෙවීමට සිදුවනු ඇත. තම cap අගයට වඩා අඩුවෙන් අහිතකර වායු විමෝචනය කළ සමාගම්වලට ඔවුන්ගේ උපරිම සීමාව දක්වා ඉතිරි දූෂණ මට්ටම වෙනත් සමාගම්වලට විකිණීමට හැකියාව පවතී. මෙම ක්‍රමවේදය අනුව පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන සමාගම්වලට යම් ලාබයක් ලැබීමට හැකි වටපිටාවක් නිර්මාණය වී ඇත. ඒ හරහා කර්මාන්තශාලා වලට අහිතකර වායු විමෝචනය අවම කිරීමට යම් බලපෑමක් එල්ල කෙරේ.
වායු දූෂණය අවම කිරීමට ඕනෑම කෙනෙකුට පියවර ගත හැකිය. මන්දයත්, ඉහත අණපනත් කෙතරම් සම්මත වුවත් එය ක්‍රියාත්මක කිරීමට මහජන සහභාගීත්වය අත්‍යවශ්‍ය වන හෙයිනි. මෙය ප්‍රායෝගිකව සිදු කිරීම සඳහා දිනපතා මිලියන සංඛ්‍යාත ජනතාවක් ස්ව කැමැත්තෙන්ම ඔවුන්ගේ ජීවිතයේ සරල වෙනස්කම් සිදුකරනු ලැබේ. එදිනෙදා ජීවිතයේ ගමන් බිමන් සඳහා පොසිල ඉන්ධන භාවිතවන වාහනයක් පැදවීම වෙනුවට පොදු ප්‍රවාහනය කිරීම හෝ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කරන වාහනවල ගමන් කිරීම වෙනුවට බයිසිකලයක් පැදීම, එසේත් නැතහොත් පරිසර හිතකාමී ඉන්ධන ප්‍රභවයකින් ධාවනය වන වාහනයක් භාවිත කිරීම වායු දූෂණය අවම කිරීම සඳහා ජනතාවට පෞද්ගලිකව කළ හැකි ය. එසේම සමහර විලවුන් වර්ග සහ aerosol can භාවිතය අවම කිරීම, දුම්පානය අවම කිරීම වැනි දෛනික ජීවිතයේ පුරුදු ද මේ සඳහා ඉවහල් වේ.
ශ්‍රී ලංකාවේ වායු දූෂණය
වත්මන් ලෝකයේ වැඩිම වායුදූෂණයක් සිදුවන බවට සැලකෙන්නේ චීනය, කොරියානු අර්ධද්වීපය සහ දකුණු ආසියානු කලාපය ආශ්‍රිතව ය. ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවේද වායු දූෂණය ඉතාම ඉහල මට්ටමක පවතින බවට පාරිසරික සංවිධාන අනතුරු අඟවා තිබේ. මෑතකාලිනව ඉන්දියාවේ මුම්බායි වැනි කාර්මික නගරවල වාතයේ පාරදෘශ්‍යබාවය ඉතාම අවදානම් සහගත ලෙස පහල ගොස් ඇතැයි වාර්තා පලවිය. එහි බලපෑම අසල්වැසි ශ්‍රී ලංකාවටද යම්තාක් දුරකට එල්ලවූ බව මෙරට පරිසරවේදීන් තහවුරු කළේ ය.
ශ්‍රී ලංකාවේ නගර ආශ්‍රිතව වායු දුෂණය සිදුවන ආකාර විමසීමකට ලක්කළ විට පෙනී ගොස් තිබෙන්නේ, ඊට බලපා ඇති ප්‍රධානතම සාධකය වනුයේ රථ වාහන මඟින් පිටවන අහිතකර දුමාරය බවයි. මීට මූලිකම හේතුව වන්නේ නාගරික රථ වාහන ප්‍රමණය සීග්‍රයෙන් වැඩිවීමයි. එය අවශ්‍යතාවකට වඩා සමාජ තත්ත්වය පෙන්නුම් කෙරෙන සාධකයක් ලෙස බොහෝ දෙනා සිතා සිටීම නිසා පෞද්ගලික වාහන ප්‍රමාණය කිහිප ගුණයකින් ඉහලයාම සිදුවී ඇත. රථ වාහන නඩත්තු කිරීම නිසියාකාරව සිදු නොවීම නිසාද, විශේෂයෙන්ම ඩීසල් වාහන මඟින් අහිතකර වායු අංශු පිටවීමත්, පෙට්‍රල් ඉන්ධන යොදාගන්නා වාහන මඟින් කාබන් මොනොක්සයිඩ් හා වාෂ්ප වන සුළු කාබනික සංයෝග පිට වීමත් සිදුවේ. පොදු ප්‍රවාහන සේවා අකාර්යක්ෂම වීමද පෞද්ගලික වාහන ප්‍රමාණය වැඩිවීමට හේතුවක් වී ඇත. ඊට අමතරව මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය හේතුවෙන්ද පසුගිය දශක කිහිපය පුරාවට ශ්‍රී ලංකාවේ වායු දුෂණයේ වැඩි වීමක් සිදු වී ඇත. කාර්මික ක්ෂේත්‍රයේ වර්ධනය නිසා කර්මාන්තශාලාවන් වැඩිවන විට එමඟින් පිටවන අහිතකර වායුන් පාලනය කීරීමට නිසි පිළිගත් ක්‍රමවේද නොතිබීම, කර්මාන්තශාලා සැළසුම් කිරීමේදී පාරිසරික ගුණාත්මකභාවය ආරක්ෂා කෙරෙන කාර්ය පටිපාටි නොසළකා හැරීම සහ පණවා ඇති නීතිරීති අණපණත් කඩකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල අංශ විසින් උනන්දුවක් නොදැක්වීම එකී තත්වයන්ට හේතු වී තිබේ.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය, නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම නිවෙස්වල ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කරනු ලබන්නේ ගෑස් උඳුන් ය. එය ගෘහස්ථව සිදුවන වායු දුෂණය කෙරෙහිද සෘජුව බලපානු ලැබේ. රටේ විදුලි බල අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයක් ලබාගැනීම සඳහා තාප විදුලිය ජනනය කිරීමේදී, එනම් ඩීසල් බලාගාර තුලින් සිදුවන වායු විමෝචනයනද ශ්‍රී ලංකාවේ වායු දුෂණය සඳහා සැළකිය යුතු ප්‍රමාණයකින් දායක වෙයි. සුළු වශයෙන් හේන් ගොවිතැන හා අනවසර කැලෑ ගිනිතැබීම්, ලැව් ගිනි නිසාවෙන්ද වායු දුෂණය සිදු වේ.
කෙසේ වෙතත් මේ අයුරින් අනෙකුත් ආසියාතික රටවල් වලට මුහුණපෑමට සිදුවී තිබෙන උග්‍ර වායු දුෂණ ගැටළු වලට ශ්‍රී ලංකාව තවමත් ලක් නොවීම යම්කිසි සුභදායී පෙර නිමිත්තකි.

වායු දූෂණය වැලැක්වීම සඳහා දේශීයව ගෙන ඇති ක්‍රියාමාර්ග
1997 කියෝතෝ සම්මුතියට අත්සන් තැබූ රටක් වශයෙන් අප මේ වන විටත් වායු දූෂණය අවම කිරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇත. ශ්‍රී ලංකාව තුල වායු දූෂණය අවම කිරීමේ සහ කාර්මික කටයුතු වලදී නිපදවෙන අහිතකර වායු කළමණාකරණය කිරීමේ අරමුණින් ,ජාතික පාරිසරික රෙගුලාසි යටතේ වායු දුෂණ විමෝචන වායු, වායුගෝලයට මුදා හැරීම තහනම් කර ඇත. ඒ සඳහා ගන්නා ලද මූලික පියවරක් ලෙස වායුගෝලයට හානිකරන වායූන් විමෝචනය වලක්වන ලෙස නිවේදනය කරමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය විශේෂයෙන්ම පෙන්වාදිය හැකිය. එසේම රථ වාහන හරහා සිදුවන වායු දූෂණය අවම කිරීමේ විශේෂ අරමුණ සහිතව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වී ඇති වැඩසටහන් ද පසුගිය කාලය පුරාවටම දියත් කරන ලදී. වාහන වලින් පරිසරයට විමෝචනය වන දුම් ප්‍රමාණය පරීක්ෂණය කිරීමේ වැඩසටහන ඊට නිදසුනකි. නමුත් මෙම ක්‍රියාවලිය නිවැරදි ආකාරයෙන් සිදුවීම පිලිබදව යම් යම් ගැටලු පවතියි.
එයට අමතරව මෙරට වායු දුෂණය අවම මට්ටමකට ගෙන ඒමේ අරමුණ ඇතිව විශ්වවිද්‍යාල ආශ්‍රිතව විවිධ පර්යේෂණ සිදු කිරීම, ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතුන් ලවා නව රථ වාහන හැසිරවීමේ සැකසුම් සකස් කිරීම, අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, ගැසොලින් බල ශක්තියෙන් ධාවනය කරන වාහන වලින් බාහිර පරිසරයට මුදා හරින අහිතකර වායු විමෝචන අවම කිරීම සඳහා ඊයම් රහිත ගැසොලින් හඳුන්වාදීම, ඩීසල් වාහන, ඩීසල් ආශ්‍රිත බලාගාර හා කර්මාන්තශාලා ආශ්‍රිතව යොදාගන්නා ඩීසල් භාවිත වන යන්ත්‍ර සූත්‍ර සඳහා අඩු සල්ෆර් ප්‍රමාණයක් ඇති ඩීසල් වර්ග හඳුන්වා දීම , වායුගෝලයට අහිතකර වායු නිකුත් කරන එන්ජිම් සහිත ත්‍රිරෝද රථ ආනයනය තහනම් කිරීම සහ සිව්පහර ත්‍රිරෝදරථ ප්‍රවර්ධනය කිරීම, පොසිල ඉන්ධන භාවිත කෙරෙන වාහන සඳහා බදු වැඩි කිරීම වැනි ක්‍රියාමාර්ග රාජ්‍ය යාන්ත්‍රණය විසින් ක්‍රියාත්මක කර ඇත.
පාලකයින්ගේ වගකීම
එසේම පාලන තන්ත්‍රය විසින් කළ යුතුව තිබෙන දෑ ද බොහෝ ය. අත්‍යවශ්‍ය මෙන්ම කඩිනම් ක්‍රියමාර්ගයක් වශයෙන් පණවා ඇති නීති රෙගුලාසි නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරවීම, නීතිය කඩකරන්නන්ට දඬුවම් පැමිණවීම ඉතා වැදගත් ය. මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ වායු දූෂණයට මූලිකවම හේතුවක් වන්නේ පොසිල ඉන්ධන දහනය යි. එය අවම කරවීම සඳහා තදබදය වැඩි මාර්ග වෙනුවට හැකිතාක් විකල්ප මාර්ග හා මාර්ග සංඥා පද්ධති වැඩි දියුණු කරවීම, අධිවේගී මාර්ගවලට යොමුවීම තුලින් ජනතාවගේ පෞද්ගලික වාහනවල ඉන්ධන දහනය වන ප්‍රමාණය සැලකිය යුතු වශයෙන් අවම කළ හැකිය. එය ජනතාවට ආර්ථිකමය වශයෙන්ද වාසිදායක ය. බස් රථ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා වඩා කාර්යක්ෂම සහ ක්‍රමවත් අයුරින් ස්ථාපනය කිරීම තුළින් පෞද්ගලික වාහන භාවිතය වෙනුවට පොදු ප්‍රවාහන සේවා කරා යොමුවීමට ජනතාව උනන්දු කළ හැකි ය. ඇතැම් දියුණු රටවල විශේෂ උත්සව අවස්ථා හා සැණකෙලි පැවැත්වෙන දිනයන්හීදී පෞද්ගලික ගමනාගමනය තහනම් කරන අතර ඒ සඳහා සහභාගි වීමට පොදු ප්‍රවාහන සේවා පමණක් භාවිත කිරීමට නියම කරයි. මෙමගින් වාතයට පිටවෙන විශාල අහිතකර වායු ප්‍රමාණයක් විමෝචනය වීම වළකයි.

වායු දූෂණය අවම කිරීමට ඔබට කළහැකි දෑ
වස විසෙන් තොර පිරිසිදු හුස්මක් ගැනීමට නම් ප්‍රථම රාජකාරිය ඇත්තේ ඔබ සතුව ය. මුළුතැන්ගෙයි සිදුවන වායු දුෂක මුලාශ්‍රයන් වලින් වායු විමෝචනය අවම කිරීම සඳහා සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ලිප් සහ දුම් කවුළු භාවිතා කිරිම ඉතා සුළු වියදමකින් සපුරාගත හැකි අවශ්‍යතාවයකි. කුණු කසල වායු විමෝචනය වන ආකාරයට අනාරක්ෂිතව දහනය කිරිමෙන් වැළකි සිටීම, CFC රහිත ශීතකරණ භාවිතය මෙන්ම මඳුරු දඟර, ගෘහාශ්‍රිත කෘමිනාශක දියර ඉසින සහ සුවඳ කාරක වැනි දෑ භාවිතය අවම කිරීම ද ඔබේ නිරන්තර වගකීමක් වේ. නිවෙස් අවට පොලිතීන් හා ප්ලාස්ටික් දහනය සම්පූර්ණයෙන්ම නැවත්විය යුතුය. නිවෙස් අවට එකතු වන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කිරීම තුලින් ඒවා පරිසරයට එකතු වීම වලක්වාගත හැකිය. එමෙන්ම යාන්ත්‍රික වායු පිරිසිදු කාරක (Air Cleaners) නැතහොත් වායු සමිකරණ යන්ත්‍ර භාවිත කිරිමේදි නිසි ප්‍රමිතියෙන් යුතු පරිසර හිතකාමී බව නිසිලෙස තහවුරු කරන ලද ඒවා භාවිතා කිරිම වඩාත් සුදුසු ය. ඔබ කර්මාන්තශාලා හිමියෙක් හෝ එවැනි වායු විමෝචනය වන කර්මාන්තයක් ආශ්‍රිතව වගකීම් දරන්නෙක් නම් මේ පිළිබඳව අනුකූල ක්‍රියාමාර්ග ගැනීම ඔබේ වගකීමකි. නූපන් පරම්පරාවේ නිරෝගී බව පිළිබඳව සහතිකයක් දීමේ හැකියාව ඇත්තේ ඔබේ අතෙහි ය.
එසේම ඔබේ කර්මාන්තශාලාවේ, නිවසේ භාවිත වන විදුලිය ඉතිරි කරගැනීම සඳහා අනවශ්‍ය විදුලි බල්බ, විදුලි උපකරණ විසන්ධි කොට තැබීම, හැකිතාක් සූත්‍රිකා බල්බ වලින් වෙනත් විකල්ප වලට යොමුවීම, අනවශ්‍ය ලෙස විදුලිය වැයවීම් නතර කිරීම තුලින්ද ඔබට වායු දූෂණය බිදුවකින් හෝ අවම කිරීමට දායකත්ත්වය සැපයිය හැක. මන්දයත් එමගින් පවා රටේ තාප බලාගාරවල ක්‍රියාකාරීත්වය අඩු කරවීමෙන් වායුගෝලය දූෂණය වීමට එරෙහිව ඔබට යම් බලපෑමක් කළහැකි නිසාවෙනි.
තවත් වැදගත් කරුණක් ලෙස මතු පරම්පරාවට වායුගෝලයේ ඇති වැදගත්කම පෙන්වාදීමත්, එය රැකගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිලිබදව ඔවුනට කුඩා කාලයේ සිටම කියාදීමත් අත්‍යවශ්‍යවේ. වත්මන් පරපුර, වායුගෝලය රැකගැනීමටත්, වායු දූෂණය වැලැක්වීමටත් සිදු කරන විවිධ නව නිපැයුම් සඳහා පූර්ණ අනුග්‍රහය සැපයීමත් සිදු කල යුතුය.
වාතයේ ඇති අහිතකර වායූන් අවශෝෂණය කර හිතකර ඔක්සිජන් සැපයීමට මුලීකවම ක්‍රියා කරන්නේ පරිසරයේ තිබෙන ශාක වර්ගයි. මේ නිසා වනාන්තර රැකගැනීම තුලින් වායු දූෂණය විශාල මට්ටමකින් අවම කරගැනීමට පුලුවන. වර්තමානය වන විට වනානතර ගහණය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින්නේ වනාන්තර එළි කිරීම, ඒවා ගිනිතැබීම වැනි අත්තනෝමතික ක්‍රියා හේතුවෙනි. ඒ හේතුවෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වී ජීවීන්ට අහිතකර වායු සාන්ද්‍රණය වැඩි වෙමින් පවතියි. මෙනිසා වනාන්තර ආරාක්ෂා කරගැනීමට සියලුම දෙනා වග බලා ගත යුතුය. එසේම හැකිතාක් ගස් සිටුවීම වායු දූෂණය අවම කිරීමට කෙලින්ම බලපායි. අනාගත පරපුර වෙනුවෙන් පිරිසිදු වාතය සහිත පෘථිවියක් නිර්මාණය කිරීමට නම් තිබෙන ශාක ගහණය දිවි හිමියෙන් රැකගෙන බොහෝ ගස් වැවීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුමය.
