Greenhopes-Amlapowder
Greenhopes-
myherbals
Myherbals-Capsules

සමට සත්කාරයක් වන ඔසුගුණ සපිරි වදමල

You are currently viewing සමට සත්කාරයක් වන ඔසුගුණ සපිරි වදමල

ඔබේ ගෙවත්තේ, තවත් විටක වැට මායිමක, එසේත් නැත්නම් ඔබ එදිනෙදා ගමන් කරන මාවත දෙපස ඕනෑතරම් මල් පිපී ඇති පිපී වැනෙන සුන්දර මල් අතර අලංකාරය  වඩාත් ඔප්නංවන නේක වර්ණයන්ගෙන් යුත්  වද මල් ද ඕනෑතරම් ඔබේ නෙත ගැටෙන්නට ඇති. එහෙත් බාහිර සුන්දරත්වය මෙන්ම, ඔබේ එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු බොහෝමයකට ස්ථිරසාර විසඳුම් ලබාදීමට හැකියාව ඇති විශ්වකර්ම ගුණයක් මේ සුන්දර මලෙහි සහ ශාකයෙහි ඇති බව ඔබ මොහොතකටවත් සිතුවාද?

වදමල-Hibiscus Flower-www.herbalvoice.lk

වද මලෙහි වතගොත

වද ශාකය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ හඳුන්වන්නේ Hibiscus යන නාමයෙනි. විවිධ විශේෂතා අනුව  Rose mallow, Hardy hibiscus, Rose of sharon සහ  Tropical hibiscus ලෙස ඊට ව්‍යවහාර නාම භාවිත කරයි. වද මල හයිටි රාජ්‍යයේ ජාතික සංකේතය වන අතර මැලේසියාවේ සහ සොලමන් දූපත්වල ජාතික පුෂ්පය ලෙසද සැලකේ. ඉන්දියාවේ දෙවියන් අදහන ජනතාව එය දුර්ගා දෙවියන්ට පුද පූජා කිරීමේදී සුවිශේෂී පූජනීය පුෂ්පයක් ලෙස සලකයි.

ලොවපුරා මිලියන ගණන් ජනතාව, තම එදිනෙදා ජීවිතයේදී වද මල් වලින් ලබන ප්‍රයෝජන ඉමහත් බව සමහරවිට ඔබ නොදන්නවා විය හැකි ය. ඇතැම්  රටවල් වල ජනතාව වදමල් යොදා සකස්කරගන්නා  ජෑම්, සෝස් සහ වද පැණි තමන්ගේ දෛනික ආහාර වේලෙහි අත්‍යවශ්‍ය අංගයක් බවට පත්කරගෙන ඇත. විශේෂයෙන්ම  වදමල් භාවිතයෙන් සකසා ගන්නා බීම වර්ග ලොව පුරා ඉතා ප්‍රසිද්ධව ඇත්තේ එහි පවතින සුවිශේෂී ඖෂධීය ගුණයන්  නිසාය.

එය ශාක ලෝකයේ වර්ගීකරණයට අනුව Hibisceae නම් ගෝත්‍රයට සහ Hibiscus නමැති කුලයට අයත් වේ. උද්භිද විද්‍යාඥයන් පවසන අන්දමට ලොවපුරා එකිනෙකට වෙනස් වද විශේෂයන් හයසියයකට අධික ප්‍රමාණයක් පවතී. වද ශාකය වඩාත් හොඳින් ස්වභාවිකව වැවෙන්නේ තරමක් උෂ්ණාධික ඝර්ම කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ ය. වද ශාකය සාමාන්‍යයෙන් අඩි දහයක් පමණ උසට වැඩෙන ශාකයකි. එය තනි ශාකයක් වශයෙන් මෙන්ම ඇතැම්විට කුඩා පඳුරු වශයෙන්ද වැඩෙයි. පරිණත වද ශාකයේ පිට පොත්ත තද ගතියකින් යුක්තය. ඇතුලත පොත්ත කෙඳි සහිතය. තද කොළ පැහැයක් ගන්නා මෘදු පත්‍ර සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 8 – 16 අතර ප්‍රමාණයක් දක්වා වැඩෙයි. පත්‍රයේ පිටත දාර දැති දැති මෙන් පිහිටා ඇත. එම පත්‍ර එකිනෙකට ඒකාන්තර පත්‍ර රටාවක් පෙන්නුම් කරයි.

වදමල් වල ඖෂධීය වටිනාකම

බාහිර අලංකාරයට එහා ගිය මිල කළ නොහැකි ඖෂධීය වටිනාකමක් වද මලෙහි අඩංගු වන බව බොහෝ දෙනෙක් නොදත් කරුණකි.

වදමල-Hibiscus Flower- Hibiscus for Skin-www.herbalvoice.lk

හෘද රෝග සහ අධි රුධිර පීඩනයට එරෙහිව

වද මල් යුෂයෙහි සාමාන්‍ය වශයෙන් අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ඇතුළු අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන  ප‍්‍රමාණය අවම කිරීමේ විස්මිත  හැකියාවක් පවතින බව පැවසේ.

සම්ප‍්‍රදායික දේශීය  වෛද්‍ය ක‍්‍රමයට අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, තායිවානය ඇතුළු සමහර ආසියාතික රටවලත් වදමල්  හදවත් රෝගවලට ප‍්‍රතිකාර කිරීම සඳහා බහුල වශයෙන් යොදාගනියි. ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට එදිනෙදා අධ්‍යාපනික කාර්යයන්හි නිරතවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මොළයේ වඩාත් කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක්  වර්ධනය කිරීම සඳහා ද  වද මල් යුෂය භාවිත කිරීමේ හැකියාව තිබේ.

අධික රුධිර පීඩනය නිසා දීර්ඝකාලීනව පීඩා විඳින රෝගීන්හට ද වද මල් යුෂය භාවිතයෙන් සහනයක් සලසා ගැනීමේ හැකියාව පවතී. සෞඛ්‍ය පර්යේෂකයන් පවසන අන්දමට ඒ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ Hibiscus rosasinensis හෙවත් රතු පැහැ පොකුරු වද මල්ය.

ඒවායෙ  නැවුම් පෙති  වියළාගෙන සකසා ගන්නා පානය භාවිත කිරීමෙන් මහඟු ප්‍රතිඵල අත්විඳිය හැකි බව ඔවුන්ගේ නිර්දේශයයි. මෙසේ පානය කරන වදමල් යුෂ මඟින් ශරීරයේ රුධිර සංසරණය වඩාත් ක්‍රමවත් සහ කාර්යක්ෂම කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනයේ අනවශ්‍ය ඉහල පහල යාම්, හෘදය ආශ්‍රිත නිදන්ගත රෝගී තත්ත්වයන් වැනි ඔබ නිරන්තරයෙන් පීඩා විඳින ගැටළු වලට විසඳුම් ලබාගැනීමේ හැකියාව පවතී.

හිසකෙස් සම්බන්ධ ගැටළු වලට සාර්ථක විසදුමක් පිණිස 

සමාජයේ වයස් බේදයකින් තොරව කාන්තා සහ පුරුෂ දෙපක්ෂයටම පොදුව පවතින සෞඛ්‍යමය ගැටළුවක් ලෙස හිසකෙස් සම්බන්ධ ගැටලු හැඳින්විය හැකිය. අකලට හිසකෙස් පැසීම, හිස් හොරි, කොණ්ඩය යෑම වැනි පොදු ගැටළු ඒ අතර ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය. බොහෝ දෙනෙක් එතරම් තැකීමක් නොකරන නමුත් වදමල් වල පවතින ප්‍රධානතම ඖෂධීය ගුණයක් ලෙස මෙකී ගැටළුවලට විසඳුම් ලබා දීමේ හැකියාව දැක්වීමට පුලුවන.

හිසකෙස් ආශ්‍රිත ගැටළු සඳහා වදමල් සහ එහි කොළ යන දෙවර්ගයම යොදාගැනීමේ හැකියාව පවතී. වියළි හිසකෙස්, තෙල් ගතියකින් යුක්ත හිසකෙස් ආදී ඕනෑම කාන්තා පිරිමි හිසකෙස් වර්ගයක් සඳහා වදමල් ගුණදායක වේ. නැවුම් වදමල් සාරයෙහි ඇති විටමින් C,  රයිබොෆ්ලේවින්, කැල්සියම් සහ පොස්පරස්  කෙස් කළඹට විශාල පෝෂණීය සත්කාරයක් ලබාදීමට මහෝපකාරීවන බව පර්යේෂණ මගින් පවා සනාථ වී ඇත.

සමට සත්කාරයක් ලෙස සමට සත්කාරයක් ලෙස

ඝර්ම කලාපීය රටක් වන අප රටේ වසරේ වැඩිකාලයක් පවතින තද හිරු එළිය නිසා සමෙහි පිළිස්සුම් තත්ත්වයන් හටගැනීම නිරායාසයෙන් සිදුවේ. ඒ හේතුවෙන් සම අවපැහැ ගැන්වීමට බොහෝ ලෙස ඉඩ ඇත. මේ සඳහා පහසු විසදුමක් ලෙස වද මල් සත්කාරය දැක්විය හැකිය. එසේම  ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව මුහුණේ හටගන්නා කුරුලෑ, ලප කැළැල් සඳහා ළපටි වද මල් සහ කොළ දිව ඔසුවක් ලෙස සැලකේ.

වදමල- Hibiscus Tea-www.herbalvoice.lk

හිසේ රුදාවට

අධික අවුරශ්මිය නිසා හටගන්නා  ලෙස හිසේ කැක්කුම් වලට ප්‍රතිකර්මයක් ලෙස ළපටි වද මල් දලු සහ වද මල් පෙති ඉතාම ගුණදායක වේ.

වෙනත් රෝග සඳහා

වද මල් ආශ්‍රිතව සකසා ගන්නා කසාය වර්ග හන්දිපත් වේදනාවලට දිව ඔසුවක් බව ප්‍රකට ය.. එසේම මල බද්ධය,මුත්‍රා අඩස්සිය රෝගයටත් වැනි ශාරීරිකව ඉතාම පීඩාකාරී ලෙඩරෝගවලටද වදමල් වල ඖෂධීය ගුණයෙන් ප්‍රතිකර්ම ලබාගත හැක. කාන්තාවන්ගේ  ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව හටගනු ලබන බොහෝමයක් සුළු සුළු රෝගී තත්ත්වයන් හට වද මල් පෙති ඇල් දියේ මද වෙලාවක් බහා තබා පෙරාගෙන පානය කිරීමෙන් සහනයක් ලබා ගැනීමේ හැකියාව පවතී. එසේම ආර්තවය ක්‍රමවත්ව සිදුවීම සඳහා ද වදමල්වල පවතින ඖෂධීය ගුණ මහෝපකාරීවන බව පැවසේ.

වදමල් ආශ්‍රිත ප්‍රධාන නිෂ්පාදන

වදමල් තේ

වදමල් තේ යනු රෝසෙල් හෙවත් (Hibiscus sabdariffa) මලෙහි තද රතු පාට හෝ ගැඹුරු මැජෙන්ටා පාට කොටස් වලින් සාදන ලද ශාකසාර තේ වර්ගයකි. වදමල් තේ  ඔබේ රුචිකත්වය අනුව උණුසුම් හෝ සිසිල්  යන ආකාරයන් දෙකෙන්ම පරිභෝජනය කල හැකිය. එහි  මදක් තිත්ත සහිත නමුත් ප්‍රියමනාප  රසයක් ඇත. මෙම තේ පානය වඩාත් ප්‍රචලිතව ඇත්තේ ඇමරිකානු මහද්වීපයේ ය. ඊට අමතරව අප්‍රිකාවේ ඇතැම් රටවල්, යුරෝපය සහ නැගෙනහිර ආසියාවේද මෙය ජනප්‍රිය පානයකි.

වදමල් තේ  පානයෙන් ලැබෙන වටිනාම ප්‍රතිලාභය වන්නේ අධික රුධිර පීඩනය අවම මට්ටමකට ගෙන ඒමට හැකි වීමයි. එසේම රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම බොහෝ දුරකට අවම කිරීමේ හැකියාවත් වදමල් තේ පානයට ඇත.කොලෙස්ටෙරෝල් වලින් පීඩා විඳින අයෙක් දිනපතාම පාහේ වදමල් තේ පානය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව පවතී. එසේම  ස්ථුලතාවය නිසා කනස්සලෙන් මෙන්ම රෝගී තත්ත්වයන්ට මුහුණපා සිටින අයටත් වදමල් තේ යනු ඉතාම සුබ ආරංචි ගෙනදිය හැකි පානයකි.මන්දයත් එයට සිරුරේ අනවශ්‍ය බර අඩු කරවීමේ හැකියාව පවතී. මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරවීමටත් වදමල් තේ ඉවහල් වෙනවා. එමගින් බෝ වන රෝග වලට පහසුවෙන් නිරාවරණය වීමට තිබෙන අවදානම ඉතා අවම මට්ටමකට පැමිණේ. කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනාවන් අවම කරවීමට අත්බෙහෙතක් ලෙස අතීතයේ පටන් වදමල් යුෂය ප්‍රචලිතව තිබේ. එය වදමල් තේ වලින්ද ඉතා කාර්යක්ෂමව ඉටු කෙරෙනවා.

ඔබට සකස් කරන ලද වදමල් තේ ඉතාම අඩු මිලකට මිලදී ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම ප්‍රධාන ඔසුසැල්, සුපිරි වෙළඳසැල් මෙන්ම අන්තර්ජාලයෙන් ලබාදෙන ඇණවුම් හරහාද ඔබට වදමල් තේ නිෂ්පාදන මිලට ගත හැකිය.

වද මල් සබන්

වදමල් ආශ්‍රිතව කරන ප්‍රධානම නිෂ්පාදනයක් වන්නේ වදමල් සබන් ය. සමේ තරුණබව ආරක්ෂා කිරීමෙහි ඉතා සමත් බවට ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන වදමල් සබන් වර්ග ශ්‍රී ලංකාවේ ඉතා පහසුවෙන් මිලදී ගත හැකි ය. එය සාමාන්‍යයෙන්  දරාගත හැකි සාධාරණ මුදලකට අලෙවි වේ .

 ඔබේ සමේ පවතින සෛල නිරත්තරයෙන් වැඩීම සහ මියයාම සිදුවේ.එම මැරුණු සෛල නිසා සම අඳුරුපැහැ ගැන්වීම,රැලි වැටීම වැනි අහිතකර විපර්‍යාසයන් සිදුවේ.එම නිසා එකී මියගිය සෛල අවම වශයෙන් සතියකට වරක්වත් පිටකිරීම ඔබේ සම රැකවරණය පිණිස අත්‍යවශ්‍ය වේ.

 වදමල් සබන් වල ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල (AHA),  සිට්‍රික් සහ මැලික් අම්ලය අඩංගු වන අතර එමඟින් ස්වභාවිකව මිය ගිය සමේ සෛල ඉවත් කිරීමේ  ක්‍රියාවලියට උපකාරී වේ. මෙම අම්ල සමේ ඉහළ ස්ථර වල මැරුණු සම පිටකිරීමේ ද්‍රව්‍යන් ලෙස ක්‍රියා කරයි.  එය දවස පුරා සමට තෙතමනය ලබා ගැනීමට උපකාරී වේ. තවද මෙම ප්‍රතිඔක්සිකාරක සං‍යෝග විසින් රථවාහන දුම් මගින් ඇතිවන සමේ ආසාත්මිකතා මෙන්ම පාරජම්බුල කිරණ මගින්  එදිනෙදා ඇතිවන අහිතකර ආතති තත්වයන්ගෙන් සම ආරක්ෂා කෙරේ. නැතහොත් එමඟින් සමේ සෛල වලට හානි සිදුවිය හැකි අතර එමඟින් නොමේරූ සම වඩාත් ඉක්මනින් වියපත් ලක්ෂණ පෙන්වීමටද හේතු වේ. සමේ පවතින ක්ෂුද්‍ර ප්‍රමාණයේ සිදුරු සඳහා ගැඹුරට ක්‍රියාකරන පවිත්‍රකාරකයක් ලෙස වද මල් සබන් හඳුනාගත හැකි  ය.එය සමට වඩාත් දීප්තිමත් පැහැයක් එක්කරයි.මෙම සබන්  තෙල් සහිත සමට වඩාත් සුදුසු වේ.එසේ වුවද වියළි අඳුරු පැහැති සමකට වුවද ඉතාම හොඳින් ගැලපේ. එය ස්වාභාවික වදමල් භාවිතයෙන් සකස් කර ඇති බැවින් සංවේදී සමකට වුවද සැකයකින් තොරව භාවිතකල හැකි ය.

වදමල් සබන් වල ඇති AHA නව කොලජන් තන්තු වේගවත් පුනර්ජනනය සඳහා පැරණි කොලජන් තන්තු ඉවත් කිරීමෙන් ඔබේ කොලජන් නිෂ්පාදනයට උපකාරී වේ. කොලජන් යනු තරුණ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වන තන්තු ය. නමුත් ඔබේ වියපත්වන විට ක්‍රමයෙන් සමේ කොලජන් සෑදීමේ ශක්‍යතාව අඩු වේ.

මෙම සබන් වල අමතර වාසිද රාශියකි. වද ශාකයේ පවතින සැපෝනින් නම් සං‍යෝගය පෙන්නුම් කරන රසායනික ව්‍යුහය අනුව ඒවා ජලය සමග මිශ්‍ර කළ විට සබන් මෙන් පෙණ නිපදවයි. එම හේතුව නිසා ස්වභාවිකවම මෙම ශාකයට  මේද හා තෙල් අණු සමඟ බන්ධනය කළ හැකිය. එය සෞඛ්‍යමය වාසි රැසක් ලබා දේ. බාහිරව සබන් ආකාරයෙන් භාවිත කරන්නේ නම් සමට බැඳෙන තෙල් කුණු වඩාත් කාර්යක්ෂමව  සෝදා හැරීමට වදමල් සබන්වලට හැකියාව පවතී.

ඉහත සඳහන් අම්ලවල සහ රසායනික සං‍යෝගවල  රසායනික ස්වරූපය වෙළඳපොලේ සුලබව දක්නට ලැබෙන සම ආරක්ෂණ සබන්වර්ගවල  පවතින නමුත් ඒවායේ කෘත්‍රිම බව නිසා සමට හානිකර විය හැකිය. කෘතිම අම්ල මගින් ඔබේ සමේ ස්වභාවික ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවිය හැකිය. ස්වාභාවික වදමල් සාරය සමග නිපදවා ඇති වදමල් සබන් වල දක්නට ලැබෙන්නේ  ස්වභාවික රසායනික සං‍යෝග බැවින් එය සම හා ඉතා මිත්‍රශීලීව සම පිරිසිදු කිරීමේ කාර්යය සිදුකරයි.

වදමල් ෆේස් පැක්

වදමල් සබන් සේම වදමල් ෆේස් පැක් මගිනුත් සමට කැපීපෙනෙන වෙනසක් සිදුකිරීමේ හැකියාව පවතී.එහි රසායනික හැකියාව වදමල් සබන් වලට අතිශයින් සමාන වුවත් එයට වඩා සංවේදී  සහ වැඩි වේලාවක් සම සමග ස්පර්ශය පවත්වාගන්නා නිසා සබන් වලට වඩා හොඳ ඉක්මන් ප්‍රතිඵල ෆේස් පැක්   භාවිතයෙන් ලබාගත හැකිය. කුරුලෑ,ලප කැළැල් සේම අධික උණුසුමට නිරාවරණය වීම නිසා සමෙහි හටගන්නා දාඩිය,බිබිලි,දද,කුෂ්ඨ ආදියට අත්දුටු විකල්පයක් ලෙස වදමල් ෆේස් පැක් යොදාගත හැකිය.

වදමල් ෂැම්පූ

විශේෂයෙන්ම පෙරදිග රටවල් වල සහ පර්සියාව,තුර්කිය ඇනි රටවලත් වදමල් භාවිතයෙන් සකස්කරන ලද ශැම්පූ භාවිතයට නැඹුරුව සිටී. එයට හේතුව වන්නේ පෙර සඳහන් කළ සමහර සුලබ හිසකේ සම්බන්ධ ගැටළු සඳහා වදමල් භාවිතයෙන් සාර්ථක විසඳුම් ලබාදිය හැකි නිසාය. වදමල් ෂැම්පූ වඩාත් සාර්ථක ලෙස නිවසේදීම සකසාගත හැකි අතර වෙළඳපොලේද මිලදී ගත හැක. මෙම ෂැම්පූ භාවිතෙන් කෙස් කළඹට වඩාත් හොඳ පෙනුමක් ලබාදිය හැකිය. එය හිස් හොරි වලට, කෙස් අකලට වැටීමට සහ කෙස් අකලට සුදුවීමට ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

වදමල-Hibiscus Soap- Hibiscus For Skin-www.herbalvoice.lk

වදමල් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමේදී මේ ගැන සැලකිලිමත් වන්න

ඕනෑම වදමල් ආශ්‍රිත නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී එහි නිෂ්පාදිත හා කල් ඉකුත්වීමේ දින පිළිබඳව ඔබ අවධානය යොමුකළ යුතුය.එසේම ප්‍රකට සහ විශ්වසනීය වෙළඳනාම වල ව්‍යාජ අනුකරණයන්ගෙන් ප්‍රවේශම් වීමට වගබලාගත යුතුය. ඇතැම්විට එම නිෂ්පාදනය සම්මත මිලට වඩා අධික මිලක් ඔබෙන් ලබාගන්නා අරමුණෙන් සකස් කර තිබීමට ඉඩ ඇත. එම නිසා හොඳින් සොයා බලා නියමාකාරේ ප්‍රමිතිය තහවුරු කළ ස්වභාවිකත්වයෙන් පිරිපුන් නිෂ්පාදන මිලට ගැනීම ඔබේ අරමුණ වඩා හොඳින් ඉටුකරගැනීමට රුකුලක් වේ.

 

මේ හා සම්බන්ද නිෂ්පාදන

අදහස් දක්වන්න