සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යනු අප කවුරුත් බලාපොරොත්තු වන සතුට සහ සාර්ථකත්වය ලබා ගැනීමට මඟ පාදා දෙන වටිනාකම් වලින් එකකි. ඒ අතරින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සඳහා බලපාන වැදගත් සාධකයක් ලෙස මුඛ සෞඛ්‍යය හඳුන්වා දිය හැකි ය. බොහෝ දෙනෙක් තම අවධානය යොමු නොකළ ද එදිනෙදා ආහාර පාන ලබාගන්නා මුඛය සහ එහි සෞඛ්‍ය තත්වය පිලිබදව සැළකිලිමත් වීම ඉතා වැදගත් ය.

මුඛ සෞඛ්‍ය ගැටළු, ඒවා ඇති වීමට හේතු සහ විසඳුම්
ජීවිතයේ ඕනෑම වයසක දී විවිධ හේතූන් නිසා මුඛය තුළ සෞඛ්‍යමය ගැටළු ඇති වීමේ හැකියාවක් ඇත. එබැවින් ඔබගේ මුඛ සෞඛ්‍යය පිරිහීමට බලපාන රෝගී තත්ත්වයන් ද, ඒවා ඇති වීමට හේතු වූ ප්‍රස්තූතයන් ද නිසි ලෙස හඳුනා ගැනීම ද ඔබට අතිශය වැදගත් වේ.
විදුරුමස් හා දත් මුල් දිය වීම
මුඛ සෞඛ්‍යය හා සම්බන්ධ ඉතාමත් වැදගත් අංගයක් ලෙස විදුරුමස හඳුන්වා දිය හැකි ය. දත් මුල් දිය වීම නම් තත්ත්වයේ දී සිදු වන්නේ දතේ මුළ සවි වී ඇති විදුරුමස ක්ෂය වී ගොස් දත් මුල් බාහිරට මතු වී පෙනීමයි. මෙමගින් දතේ ශක්තිමත් බව හීන වී යන අතර දත් දිගු හා විකෘති පෙනුමකින් දිස් වේ. දත දරා සිටින විදුරුමස රෝගී වීම දන්ත සෞඛ්‍යයට ද සෘජුවම බලපෑම් එල්ල කරයි. කැල්සියම්, ෆ්ලෝරයිඩ් හා විටමින් වර්ග ඌණතාවය මීට හේතු වේ.
ආයුර්වේදයේ සඳහන් පරිදි අරළු, පිළ මුල්, පුවක් මුල්, ලුණුවරණ පොතු, මූණමල් පොතු, අළු කෙසෙල් අල, දත් කැටියා මුල් යන ආදී ශාකසාර ඖෂධ මගින් නිසි පරිදි කට සේදීම තුළින් එම ගැටළු මුළුමනින්ම වළකාලීමට හැකි ය. මීට අමතරව විදුරුමස් නිරෝගිව පවත්වාගැනීමට උපකාරී වන ආහාර භාවිතය ද වැදගත් වේ. විටමින් සී අඩංගු එලවලු හා පලතුරු භාවිතය ද ඊට ඉවහල් වේ. එසේම සෞඛ්‍ය නිර්දේශය සහිත දන්තාලේප මගින් දිනකට දෙවරක් හෝ දත් මැදීම මගින් ද මෙම ගැටලුවට විසදුමක් ලබාගත හැකිය.

දත් සහ විදුරුමස් වලින් ලේ ගැලීම
මෙය ද මුඛ සෞඛ්‍යය හා සම්බන්ධ සුලබව දක්නට ලැබෙන ගැටළුවකි. තදින් දත් මැදීම නිසා තාවකාලිකව මෙම තත්වය දැකගත හැකි අතර දිගු කාලින ලේ ගැලීම් වලට හේතු ලෙස; යකඩ ඌණතාවය, බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සහ විටමින් ඌණතාවය හ මීට හේතු විය හැකිය.
මෙයට පිළියම් ලෙස කෝමාරිකා මද, මුං ඇට, අරළු, බුළු, නෙල්ලි, සීනක්කාරං වැනි ශාකසාර යොදා කට සේදීම, ඖෂධීය චූර්ණයකින් දත් මැදීම, මුඛ සේදුම් දියරයක් යොදා මුඛය හොඳින් සේදීම ආදිය ආයුර්වේදයේ සඳහන් ය. තල තෙල්, කොහොඹ තෙල්, සර්ව විෂාදී ආදී තෙල් ද මෙම තත්ත්වයෙන් මිදීමට උපකාරී වේ.
දත් හිරි වැටීම හෙවත් දන්ත සංවේදීතාවය
දතෙහි එනැමලයට හානි වීම හෝ දතෙහි මුල බාහිර පරිසරයට විවෘත වීම මීට හේතු වේ. දත් කුහර ඇති වීම ද මෙයට හේතුවකි. මන්ද යත් එනැමලය හැරුණු විට දතෙහි ඇතුළත කොටස් සංවේදීතාවයෙන් යුක්ත ය. විවිධ ද්‍රව්‍ය භාවිතයෙන් දත් හෑරීම නොකිරීම, ආම්ලික පාන වර්ග භාවිතය ආදියෙන් වැළකී සිටීම මෙවැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා වැදගත් වේ. මේ සඳහා ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍ය උපදේශ ලබාගැනීම ඉතාමත්ම වැදගත් වන අතර තමාට අභිමත පරිදි ඖෂධීය දන්තාලේප ආදිය භාවිත කිරීම ශරීරයට හානිකර විය හැකි ය.
දත් දිරා යාම හා දත් කැක්කුම්
මෙහි දී සිදුවන්නේ බැක්ටීරියා කාබෝහයිඩ්‍රේට් මත ක්‍රියා කර ඇතිවෙන අම්ලයෙන් දතේ පටකවලට හානි වීමයි. මෙය සුලබව දක්නට ඇති තත්‍ත්වයකි. මෙහි විවිධ අවස්ථාවන්හි ප්‍රතිකාර ක්‍රම විවිධ වන අතර ඒ සඳහා දන්ත වෛද්‍යවරයකුගේ සහය පැතීම අනිවාර්ය වේ. නිසි ලෙස දත් පිරිසිදු කිරීම මෙයින් වැළකීමට ඇති පහසුම ක්‍රමයයි.
දත් දිරා යාම නිසා දතේ සංවේදී කොටස්වලට හානි වීමෙන් දත් කැක්කුම් ඇති වේ. ආයුර්වේදය තුළදී නික කොළ, කරාබු නැටි, අමුකහ, ලුණුවරණ පොතු ආදිය භාවිත කර ප්‍රතිකර්ම සිදු කරන අතර එදිනෙදා ජීවිතයේ දී කුරුඳු තෙල් දත් කැක්කුම් සඳහා හොඳ ප්‍රතිකාරකයකි.

මුඛ පිළිකා
වර්තමානයේ දී සුලබව දක්නට ඇති මාරාන්තික රෝගී තත්ත්වයන්ගෙන් එකකි. දුම් පානය, බුලත් විට සැපීම වැනි අහිතකර පුරුදු මේ සඳහා බලපායි. මුල් තත්ත්වයේදීම හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වේ. සැක කටයුතු රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ය. නැතහොත් මුඛ පිළිකා තත්ව ඇතිවන අතර ඒවා මාරාන්තික වේ.
මුඛයේ තුවාල
මුඛයේ ඇතිවන තුවාල ඉතාමත් වේදනාකාරී වේ. මේවා සුව වීමට සතියත්, සති දෙකත් අතර කාලයක් ගත වන අතර ඇතැම් තුවාල සුව නො වී බොහෝ කාලයක් පවතී.
පුරුද්දක් ලෙස දිව, තොල් සැපීම, දත් වලට දමා ඇති කම්බි, බොරු දත් භාවිතය, අධික උණුසුම් ආහාර භාවිතය, ඉතා දෘඪ ආහාර භාවිතය, විටමින් බී12 හා යකඩ ඌණතාවය, ආහාර ආසාත්මිකතා, අධික මානසික ආතතිය, බඩවැල් වල රෝගී තත්ත්වයන් හා පාරම්පරික ලෙඩ රෝග, දීර්ඝකාලීන අසනීප තත්ත්ව, දුම් පානය, පිළිකා තත්ත්වයන් ආදිය මේවා ඇති වීමට හේතු වේ.
මෙවැනි අවස්ථාවන්හි දී අධික ලුණු, අධික සීනි හෝ අධික මිරිස් යෙදූ ආහාර, දෘඪ හෝ අධික උණුසුම් ආහාර ආදිය භාවිතයෙන් වැළකිය යුතු ය. එමෙන්ම මෘදු බුරුසුවක් දත් මැදීම සඳහා යොදා ගැනීමත්, සීතල, මෘදු හා පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීමත්, මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමට උපකාරී වේ.
උෂ්ණ බිබිලි
උෂ්ණ බිබිලි ඇති වීමට හේතු විය හැකි සරල කාරණා කිහිපයක් හඳුනාගෙන ඇත. වැඩිපුර අම්ල සහිත ආහාර ගැනීම, තමන්ගේම දත් වලට මුඛය තුවාල වීම, ඔබ ගන්නා සමහර බෙහෙත් හා සමහර දත් ආලේපන සහ ඔබ ආතතියෙන් පෙළීම ද මෙයට හේතු විය හැකි ය. මීට අමතරව ශරීර අභන්න්තරයේ ඇති වී තිබෙන යම්කිසි රෝග තත්ත්වයක් නිසා වුව ද මේවා ඇති වීමේ හැකියාවක් පවතී. විටමින් ඌණතා, යකඩ ඌණතා, ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන් නිසා ද උෂ්ණ බිබිලි ඇති වේ.
සරල උෂ්ණ බිබිලි දින කිහිපයකින් ඉබේ සුව වන අතර, ලුණු වතුරෙන් මුඛය සේදීම, මී පැණි ආලේප කිරීම, කහ ආලේප කිරීම ආදී සරල ප්‍රතිකර්මයන් උෂ්ණ බිබිලි සුව කරගැනීම සඳහා යොදා ගනු ලබයි. තව ද යෝගට්, කරාබු නැටි තෙල්, කෝමාරිකා ජෙල් ආදිය ද මේ සඳහා හිතකර ය. මෙවිට රළු දත් බුරුසු භාවිතයෙන් වැළකිය යුතු ය. එමෙන්ම උෂ්ණ බිබිලේ තත්ත්වය සංකීර්ණ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.
දුර්ගන්ධය ඇති වීම
ප්‍රමාණවත් තරම් ජලය පානය නො කිරීම, මුඛය තුළ බැක්ටීරියා හා වෛරස ආසාදනය ආදිය නිසා ඇති වේ. මේ සඳහා අරළු, කරුංකා පුවක් හෝ මූණමල්පොතු ආදියෙන් ලබාගත හැකි ප්‍රතිකර්ම රාශියක් ආයුර්වේදය තුළ ඇත. නිසි පරිදි දිනකට දෙවරක් දත් සහ දිව හොදින් මැදීම තුලින් මෙය බොහෝ විට වළක්වාගත හැකිය.
ආසාදන
දිලීර, බැක්ටීරියා සහ වෛරස ආසාදන මෙයට අයත් වේ. මුඛයේ ඇතිවන විවිධ තුවාල හරහා ද මෙම ආසාදන හටගත හැකිය. මේවා ඇති නොවන පරිදි නිසි ලෙස දත් පිරිසිදු කිරීම මෙන්ම මෙවන් තත්ත්වයන් වලදී වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු වීම ද වැදගත් ය.
විකලාංග තත්ත්වයන්
උපතින්ම හෝ අනතුරු නිසා ඇති වන දත් හෝ මුඛයේ පිහිටීමේ විකෘති තත්‍ත්වයන් මෙලෙසින් හදුන්වයි. මේවා අවම කරගැනීමට විවිධ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමෝපායයන් පවතී. ප්‍ලාස්ටික් සැත්කම්, කම්බි දැමීම, දත් බැඳීම, කෘත්‍රිම දත් ඇඳි භාවිතය ඉන් කිහිපයකි.
මුඛ සෞඛ්‍යය රැකගැනීම සඳහා පිළියම්
ඉහත සඳහන් කළ පරිදි මුඛ සෞඛ්‍ය ගැටළු සඳහා විවිධ ආයුර්වේද සහ බටහිර ප්‍රතිකර්ම භාවිත කරන අතර එවන් රෝගී තත්ත්වයන් ඇති වීමට පෙරම ඒවා ඇති වීමේ අවදානම අවම කරගැනීමේ අරමුණින්, එදිනෙදා භාවිතය සඳහා නිෂ්පාදිත විවිධ ඖෂධීය ප්‍රතිකාරකයන් වෙළඳපළ තුළ දක්නට ඇත.

දන්තාලේප
නූතන වෙළඳපළ තුළ දන්තාලේප වර්ග බොහෝ ප්‍රමාණයක් අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇති අතර, ඒවාගේ සංයෝගයන් හා ගුණයන් එකිනෙකට වෙනස් වේ. සරලවම ගතහොත් දන්තාලේප යනු දන්ත පිරිසිදුකාරකයකි. එහි අඩංගු සංයෝගයේ ඇතුළත් ස්වභාවික හෝ රසායනික භාවය එම අසුරණයේ පහත ඇති කුඩා වර්ණ තීරුව මගින් ඔබට හඳුනාගත හැකි අතර හැකිතාක් ස්වභාවික දන්තාලේප භාවිතය වඩාත් හිතකර වනු ඇත. එහිදී කරාබු නැටි තෙල් වැනි ශාකසාර අඩංගු නිෂ්පාදන භාවිතය තුලින් ඔබට ශක්තිමත් දත් දෙපළකට හිමිකම් කිව හැකිය.
ආයුර්වේද ඔසු නිෂ්පාදන – දත් කුඩු
එදිනෙදා භාවිතයේ දී දත් කුඩු ලෙස හඳුන්වන්නේ මෙම නිෂ්පාදනයන් ය. මේවා ද දත් පිරිසිදු කරන, දත් මුල් ශක්තිමත් කරන ආයුර්වේද ඔසු භාවිත කර සෑදූ, දත් මැදීමට භාවිත කළ හැකි නිෂ්පාදනයන් ය. පෙණකාරකයක් ලෙස දන්තාලේප වල භාවිත කරන රසායනික සෝඩියම් ලෝරියල් සල්ෆේට් මෙහි අඩංගු නොවන බැවින් මේවා සංවේදී දත් ඇති අයට හිතකර ය.
අඟුරු ආශ්‍රිත නිෂ්පාදන (Charcoal)

අඟුරු යනු අතීතයේ සිටම මිනිසුන් දන්ත පවිත්‍රකාරකයක් ලෙස යොදා ගත් ද්‍රව්‍යයකි. ඒවා ජලය පිරිසිදු කිරීමට මෙන්ම දන්ත ප්‍රතිකාරකයක් ලෙස ද යොදා ගැනීමට අපේ මුතුන්මිත්තන් පෙළැඹී ඇත. එහෙත් ඒවා මගින් දත් පිරිසිදු වන්නා සේම, දත්වල එනැමලය හානි වන බව ද කියැවේ. නමුත් වර්තමානය වන විට එසේ එනමලය හානි නොවන අයුරින්, ස්වභාවික අඟුරු යොදා නිෂ්පාදනය කළ දත් වලට ඉතාමත් හිතකර නිපැයුම් වෙළඳපළ තුළ ඇත. රසායනික සංයෝගයන් අඩංගු, සෞඛ්‍යයට හානිකර නිෂ්පාදනයන් භාවිත කිරීම වෙනුවට මෙවන් ස්වභාවික පිරිසිදුකාරකයන් යොදා සිදු කළ නිෂ්පාදනයන් භාවිතයට ගැනීම, වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ට ද එකසේ හිතකර ය.
මිනිසුන් කාබනික ද්‍රව්‍ය භාවිතයට හුරු වීමත් සමඟම යුරෝපය සහ ඇමෙරිකාව තුළ ඇති වී තිබෙන නව ප්‍රවණතාවක් ලෙස අඟුරු වලින් සෑදූ දන්තාලේප භාවිතය හැඳින්විය හැකිය. මේවා දත් බෙහෙත් පේස්‍ට් ලෙස මෙන්ම ජලය සමඟ මිශ්‍ර කර භාවිත කළ හැකි සිහින් කුඩු ලෙසින් ද නිෂ්පාදනය කර ඇත.
මෙම අඟුරු නිෂ්පාදනයන් මගින් මුඛය තුළ ඇති විෂබීජ විනාශ කරන අතර pH අගය පාලනය මගින් මුඛයේ ආම්ලිකතාවය පාලනය කර දුර්ගන්ධය ඇති වීම හා දත් අවපැහැ ගැන්වීම ද වළක්වයි.
මෙම නිෂ්පාදනයන් විදේශයන්හි නිෂ්පාදනය කෙරෙන අතර ශ්‍රී ලංකාව තුළ ද මෙවන් නිෂ්පාදනයන් ප්‍රචලිත වන්නේ නම් එය ජනතාවගේ දන්ත සෞඛ්‍යය සඳහා හිතකර ලෙස බලපානු ඇත.
යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට පවත්වාගත යුතු යහපත් සෞඛ්‍ය පුරුදු
මුඛ සෞඛ්‍යය ගැටළු අවම කර ගැනීම සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම ද ඉතා වැදගත් ය. මෙහි දී ප්‍රධාන වශයෙන් දත් පිරිසිදු කර ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම වැදගත් වන අතරම, දන්ත වෛද්‍යවරයකු මුණගැසී තම මුඛ සෞඛ්‍ය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම හා පිළියම් කිරීම ද වැදගත් වේ. දන්ත සෞබ්‍යය පිරිහීම හෘද රෝග සහ කෙටි ආයුෂ ඇති කරයි. ගර්භණී සමයේදී ද මුඛ සෞඛ්‍ය තත්වය පිලිබදව අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය.
නිවැරදි ලෙස දත් මැදීම
දත් මැදීම සඳහා භාවිත කරන බුරුසුව සෞඛ්‍යාරක්ෂිත සහ ප්‍රමිතිගත නිෂ්පාදනයක් විය යුතු ය. එමෙන්ම බුරුසුවේ කෙඳි නැවී යාමට පෙර බුරුසුව මාරු කිරීම ද වැදගත් වේ. දන්තාලේප භාවිතය ද ඉතාමත් වැදගත් වන අතර නිවැරදිව දන්තාලේප තෝරාගැනීම ද ඔබේ සෞඛ්‍යයට වැදගත් වේ.
සාමාන්‍යයෙන් දිනකට දෙවරක් දත් මැදීම වැදගත් බව වෛද්‍යවරුන්ගේ නිර්දේෂය යි. සෑම දතක්ම පිරිසිදු වන පරිදි නිසි තාක්ෂණයට අනුව දත් මැදීම ඔබව බොහෝ මුඛ රෝග වලින් ආරක්ෂා වීමට හේතු වේ. දිනපතා, දිනකට දෙවරක් අනිවාර්යයෙන්ම දත් මැදීමේ මෙම යහපත් සෞඛ්‍ය පුරුද්ද ජීවිතයට එකතු කරගත යුතු ය.

මුඛ ආවරණ භාවිතය
මුඛය හා නාසය ආශ්‍රිතව ශරීරගත විය හැකි ශ්වසන රෝග හා නොයෙකුත් ආසාදන තත්ත්වයන්ගෙන් වැළකීමට මුඛ ආවරණ භාවිතය උපකාරී වේ. මුඛ ආවරණය නිතර අතින් අල්ලා සකස් කිරීම සිදු නො කළ යුතු ය. එමෙන්ම භාවිත කළ මුඛ ආවරණයක් ඉවත දැමීමේ දී නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම ද අතිශය වැදගත් ය. Covid – 19 වසංගත තත්ත්වයත් සමඟ මුඛ ආවරණ භාවිතය පිළිබඳව ලෝකයේම අවධානය යොමු විය.
පැණි රස කෑම භාවිතය අවම කිරීම
පැණි රස ආහාර නිරතරයෙන් ලබාගැනීම නිසා ඔබෙ දත් ආශ්‍රිතව කුහර ඇති වීම සිදු වේ. එනිසා පැණි රස ආහාර ගැනීම හැකිතාක් අවම කළ යුතුය. මෙතුලින් දියවැඩියාව වැනි රෝග තත්ව වලින් ද ඔබට ආරක්ෂා විය හැකිය. එසේ නැතහොත්, පැණි රස කෑමක් ආහාරයට ගත් පසු දත් මැදීම සිදු කිරීමෙන් ඔබට දත් ආරක්ෂා කරගත හැකිය.
මුඛ සෞඛ්යය යහපත් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම
මුඛ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීම සාමූහික ජීවන රටාවක් ගත කරන ඔබ සියලු දෙනාටම ඉතාමත් වැදගත් කරුණකි. එය ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සඳහා මෙන්ම බාහිර රූපය සහ පෞරුෂත්වය සඳහා ද සෘජුවම බලපෑම් එල්ල කරන්නකි. එබැවින් මේ පිළිබඳ මතු පරම්පරාවන් ද දැනුම්වත් කිරීම වැදගත් ය. මුඛ සෞඛ්‍ය ගැටළු හැකිතාක් අවම කර නීරෝගී ජීවන රටාවක් උදා කර ගනිමු.
