ස්වාභාවික පොහොර සපයන මී ගස ගස ගැන ඔබ නොදත් තතු

ස්වාභාවික පොහොර සපයන මී ගස ගස ගැන ඔබ නොදත් තතු

 

 

ශ්‍රී ලංකා භූමිය පුරා නොයෙක් ආකාරයේ ශාක විශේෂ බොහෝමයක් තිබෙන අතර ඒවායින් බොහෝමයක් අප රටට ආවේණික ඒවා වේ. මේ සෑම ශාක වර්ගයකම කියා නිම කල නොහැකි වටිනාකමක් පවති. අපේ මුතුන් මිත්තන් මේවායේ වටිනාකම් හරි හැටි දැන සිටි නිසාවෙන් ඒවා රැකගැනීමට වෙහෙස වී කටයුතු කළෝය. මෙම ලිපිය මගින් කියවෙන ශාකය පිලිබදව බොහෝ දෙනෙකු අසා ඇත. නමුත් එහි ඇති අපරිමිත වටිනාකම් පිලිබඳව බොහෝ දෙනෙකු හරි හැටි නොදනියි. ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල බහුලව තිබූ මෙම ශාකය මී ගස හෙවත් මධූක නම් වේ. අසීමීතව ස්වාභාවික පොහොර සැපයීමටත්, පරිසරයට අවශ්‍ය වාතය අසීමිතව ලබාදීමටත් මෙම ශාකයට හැකියාව පවතියි.

ලංකාවට ආවේණික මී ගස

මෙරට තිබෙන මී ගසේ විද්‍යාත්මක නම වන්නේ Madhuca longifolia වන අතර මී ගස් විශේෂ හතක් පමණ දැනට ලෝකයේ පවතියි. මෙම මී ගස් විශේෂ වලින් හතරක්ම ශ්‍රී ලංකාවට ආවේණික වීම විශේෂත්වයකි. මී ගස  මීටර් 20ක් පමණ උසට වර්ධනය වන අතර මෙහි ලපටි කොටස් වල බූව දක්නට ලැබේ. මී ගසේ කද අලු පැහැති ඝන පොත්තක් සහිතය. ශ්‍රී ලංකාවේ හමුවන පරිසර හිතකාමී ශාක අතරෙන් ප්‍රමුඛස්ථානයක් මී ගසට හිමි වේ. මී ගසේ මල් කහ පාටට හුරු සුදු පාටක් ගන්නා අතර ඒවා හටගන්නේ ජූනි, ජූලි මාසවලය. මෙහි ගෙඩිවල ඇතුලේ දිලිසෙන සුළු බීජ ඇත.

මී ගස

ගොවිතැනට ස්වාභාවිකවම පොහොර සපයයි

බොහෝ විට මෙම මී ගස් අතීතයේ වගා කොට තිබුණේ කුඹුරු ආශ්‍රිතවය. මෙයට හේතුව වූයේ මී ගස් වලින් ස්වාභාවිකවම පොහොර හොද හැටි ලබාදීමයි. මෙම මී මල් පිපෙන කාලයේදී සහ ඵල හටගන්නා කාලයේදී වවුලන් බොහෝ ලෙස මී ගස් ආශ්‍රිතව දැකිය හැකිය. මී ගසේ ගෙඩි හා මල්, වවුලන් විසින් කා නිම කරන අතර පසුව යාබද කුඹුරු පුරා වවුලන් විසින් වසුරු දැමීම සිදු කරයි. මෙම වසුරු වල ශාක වර්ධනය සදහා අවශ්‍ය නයිට්‍රජන් පොහොර සහ අනෙකුත් සංඝටක රාශියක් තිබේ. මේ නිසා කුඹුරු සදහා වෙනත් රසායනික පොහොර කිසිසේත් අත්‍යවශ්‍ය නොවේ. එකල සරුසාර කෙත් යායවල් වගා කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ මෙවැනි වටිනා ශාක කුඹුරු ආශ්‍රිතව බහුලව තිබූ හෙයිනි. තවද, මෙම මී ගසේ කොළ කුඹුරුට වැටීම මගින් ද පොහොර ස්වාභාවිකවම ලැබී තිබේ. අතීත ගොවි ජනයාට මී ගසක් යනු ඉතාම අගනා ගසක් වන බව ඔබට වැටහෙනු ඇත.

වර්තමාන්යේ කෘෂිකර්මාන්තය ගතහොත්, පොළොවට සහ ශාක වලට යොදන රසායනික පොහොර හේතුවෙන් පසේ සිටින ස්වාභාවික බැක්ටීරියා විනාශ වී යන අතර පසේ සරු බව නිරායාසයෙන්ම නැති වී යයි. තවද මේ හේතුවෙන් බොහෝ බැර ලෝහ පොළොවට එකතු වේ. මෙනිසා වකුගඩු රෝග වැනි මාරාන්තික තත්වයන් වලට මුහුණ දීමට මෙරට ජනතාවට සිදු වී ඇත. නමුත් මෙවැනි ශාක නැවතත් කුඹුරු සහා වගා බිම් ආශ්‍රිතව වර්ධනය කළේ නම් වස විසෙන් තොර ආහාර සපයාගැනීමට හැකිවනු ඇත. කුඹුරු අක්කරයකටත් වඩා ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් එක මීගසකින් ලබාගත හැකි අතර එහි වටිනාකම නිසාවෙන්ම එයට “ජාතියේ පොහොර ගස” යන අනුවර්ථ නාමය ලැබී ඇත.

මී ගස ස්වාභාවික පලිබෝධනාශකයක් ලෙස

වකුගඩු රෝග වර්තමානයේ ඉහළ යෑමට තවත් ප්‍රධානම හේතුවක් වන්නේ වගාවන් සඳහා යොදන රසායනික පලිබෝධනාශක වර්ගය. ඈත අතීතයේ මිනිසුන් අක්කර ගනනකින් වී බුසල් තොග පිටින් ලබාගත්තේ මෙලෙසින් රසායනික පලිබෝධනාශක ඉසීමකින් නොවේ. ඔවුනට තම වට පිටාවෙන්ම පලිබෝධකයන් පාලනය කරගැනීමට හැකියාව ලැබුණි. මී ගසට ද ස්වාභාවිකව පලිබෝධකයන් පාලනය කිරීමේ හැකියාව තිබේ. ගොයමට හානි කරන පැළ කීඩෑවන්, ගොයම් මැස්සන් සහ වෙනත් සතුන් වවුලන් විසින් ආහාරයට ගන්නා අතර මී ගෙඩි හා මල් ආහාරයට ගැනීමට පැමිණෙන කුරුල්ලන් ද මෙම කෘමීන්ව ආහාරයට ගත්තෝය. මේ හේතුවෙන් ස්වාභාවිකවම පලිබෝධ හානි වැළැකී ගියේ ය.

අතීතයේ රජවරුන් දිවිහිමියෙන් රැකි මී ගස

 කෘෂිකාර්මික රටක් ලෙස පෙරදිග ධාන්‍යාගාරය වීමට මෙරටට මී ගසෙන් ලැබුනු පන්නරය නිසාම එකළ මිනිසුන් දිවි හිමියෙන් මී ගස් රැක්කේ ය. අතීතයේ මී ගස සඳහා මෙරට හිමි වූ තැන කොතෙකුත් දැයි කිවහොත්, මී ගස් කපා දමන පුද්ගලයින් සඳහා මරණ දඩුවම පවා නියම කරන්නට පැරණි රජවරු ක්‍රියා කොට තිබේ. ඉපැරැණි ග්‍රන්ථ වල සදහන් වන ආකාරයට දේවානම්පියතිස්ස රජතුමා, මෙම මී ගස කැපීම මරණ දණ්ඩනය ලැබීමට හේතුවක් ලෙස ප්‍රසිද්ධියේ සදහන් කොට තිබේ. ඒ තරමට මිනිසාට ප්‍රයෝජන බොහෝමයක් අත් කරදෙන ශාකයක් ලෙස මී ගස එකල හදුනාගෙන තිබුනි. නමුත් 1833 වර්ෂයේදී මෙරට ආක්‍රමණය කල පිටරැටියන් විසින් ඉදිරිපත් කල කෝල්බෲක් ප්‍රතිසංස්කරණය මගින් මේ වටිනා මී ගස කැපීමට අවසර දී තිබීම කනගාටුවට කරුණකි. මෙරට සංස්කෘතියත්, ආර්ථිකයත් පරිහානියට ලක් කිරීමේ කූටෝපායන් ලෙස මෙම ක්‍රියාවලීන් හැදින්විය හැකිය.

දවස පුරාම ඔක්සිජන් සපයයි

පෘථිවිය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණය වර්තමානය වන විට ක්‍රමයෙන් හීන වෙමින් පවතින්නේ ලෝකය තුල වන ගහනය ක්‍රමයෙන් අඩු වීමේ ප්‍රථිපලයක් ලෙසය. මිනිසුන් විසින් වනාන්තර එළි කිරීම මෙයට ප්‍රධානව හේතු වී ඇත. සාමාන්‍යයෙන් ශාක වලින් දහවල් කාලයේදී පරිසරයට ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රී කාලයේදී ශාක වල ශ්වසනය පිණිස කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් මී ගස දහවල් රාත්‍රී භේදයකින් තොරව පැය විසි හතර පුරාම ඔක්සිජන් පිටකරන ශාකයකි. මෙවැනි ශාක ලෝකය තුළම ඉතා අල්ප වන අතර මී ගස් විශේෂ අතරෙන් හතරක්ම මෙරටට ආවේණික වීම පිලිබඳව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සතුටු විය යුතුයි.

www.herbalvoice.lk-mee-tree-.jpg

මී ගසේ කොටස් වලින් දේශීය ආහාර සකසයි

සත්ත්ව ආහාරයක් පිණිස පමණක් නොව, මිනිස් අහාර වර්ග පිළියෙල කරගැනීමට ද මී ගසෙ මල්, ගෙඩි සහ එයින් උකහාගන්නා තෙල් යොදා ගැනේ. බොහෝ දෙනෙක් නොදන්නා නමුත් මී ගසේ මල් වලින් කැවුම් හා හැලප සාදනු ලැබේ. මෙසේ මී තෙල් වලින් සාදා ගන්නා ආහාර අර්ෂස් රෝගයට බෙහෙතක් ද වන්නේ ය. තවත් ආහාර වර්ග රැසක්ම සාදා ගැනීමට මෙම මී ශාකයේ කොටස් අපේ මුතුන් මිත්තන් විසින් යොදාගනු ලැබ තිබේ. මෙම මී තෙල් ඇතැම් විට බටර් හා මාගරින් නිෂ්පාදනයේදී යොදාගන්නේ එහි ඕලෙයික් අම්ලය, සිට්‍රික් අම්ලය සහ ලිනොලයික් වැනි පෝෂ්‍යදායි අම්ල තිබෙන නිසාවෙනි. මී තෙල් අඩංගු කෑම වර්ග ආහාරයට ගැනීමෙන් කොලෙස්ටෙරෝල් වැනි තත්වයන් කිසිසේත් ඇති නොවේ. මී ගසෙන් ලබාගන්නා තෙල් සිදීමේදී ඉතිරිවෙන පුන්නක්කු මීමුරු ලෙස හදුන්වන අතර ඒවා සත්ව ආහාර වශයෙන් ද, ගොයමට යොදන තවත් පොහොරක් ලෙසත් භාවිත කරන ලදී.

විෂබීජහරණයට උපකාරී වන මීමුරු

ඉහත පැවසූ ආකාරයෙන් තෙල් සිදීමේදී ඉතිරි වන මීමුරු, තවත් ස්වාභාවික සංයෝග සමග එක් කොට නිවෙස්වල දුම් ඇල්ලිම සිදුකොට ඇත. මේ මගින් නිවසේ අවට තිබෙන විෂබීජ වීනාශ වන අතර වර්තමාන ලෝකයේ ඇති වී තිබෙන නව කොරෝනා වෛරසය වැනි වසංගත රෝග වලින් ආරක්ෂා වීමට ද මෙවැනි සංයෝග අඩංගු  දුම් නිවෙස් අවට ඇල්ලිම සුදුසු වේ. නිවෙස අවට ස්වාභාවිකවම සුවදවත් කරගැනීමට ද මෙම දුම් මගින් හැකියාව ලැබේ. තව ද, මැසි මදුරුවන් පාලනය සඳහා ද මෙම ධූමායනය ඉවහල් වේ. දරුවෙකු අලුත ඉපදුනු විට මෙම දුම් අවට ඇල්ලීමට අපේ පැරැන්නන් පුරුදු වී සිටියේ ය. කෙසේ වෙතත් මෙලෙසින් දුම් ඇල්ලීම සඳහා මීමුරු සමග යොදන අනෙකුත් සංයෝග පිලිබදව නිවැරදිව දැනගැනීමට ආයුර්වේද හෝ හෙළ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය ලබාගැනීම වැදගත් වේ. තව ද, මී ගසේ පොතු කුඩු කොට ඉසීම මගින් මීයන් වැනි සතුන් පලවා හැරිය හැකි වේ.

හෙළ වෙදකමේදී සහ ආයුර්වේද වෙදකමේදී මී ගසේ දායකත්වය 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබූණු වටිනා උරුමයක් වන අතර හෙළ වෙදකම යනු ශ්‍රී ලංකාවට ආවේණික, මෙරට තුල වසර ගනනක සිට පැවත එන වෛද්‍ය ක්‍රමයයි.  මෙම හෙළ වෙදකම සදහා ද, ආයුර්වේද වෛද්‍යක්‍රමය සඳහා ද මී ගස ප්‍රයෝජනවත් වේ. මී ගසේ මල්, කොල, පොතු, මුල්, ඇට යන සියලුම දේවල් එහිදී බෙහෙත් සෑදීමට යොදා ගැනේ. මී තෙල් වේදනා නාශකයක් ලෙස සහනයක් ලබා දෙන අතර මී තෙල් වලින් සාදන ලද බාම් වර්ග මේ වන විට වෙළදපලේ තිබීම සතුටට කාරණයකි.

කුප්පි ලාම්පු දැල්වීම නිසා අතීතයේ මිනිසුන්ට ඇති වූ ඇස්වල දැවිල්ල අඩු කිරීමට මී තෙල් වලින් කුප්පි ලාම්පු දැල්වීම සිදු කෙරිණි. මේ මගින් ඇස් වලට විශාල සහනයක් සහ සිසිලක් ලැබී තිබේ. සාමන්යෙන් ඇතිවන රක්තපාත, කැඩුම්බිදුම්, චර්ම රෝග, සර්පවෙදකම, උගුරේ ආබාධ, වාතරෝග, අතීසාරය, ග්‍රහනියේ රෝග, ක්ෂයරෝගය සහ මුත්‍රා ආසාදනයන් සුවපත් කිරීම සදහා මෙම මී ගසෙන් ලබාගන්නා කොටස් යොදාගනු ලැබේ.

මී ගසේ පොතු ඉතා හොද ඔසුවක් වන අතර කැඩුම්-බිදුම් වලදී ප්‍රතිකාර කිරීමට යොදා ගැනේ. හන්දිපත් රුදාව සමනය කරගැනීමට මෙම පොතු සහිත කසාය බීම ගුණදායකය. මෙම පොතු වියලා ලබාගන්නා කුඩු වලින් සකසා ගන්නා පානය ඉතා ගුණදායකය. මී ගසේ ඇට මගින් සකසන පානයන් මගින් පුරුෂයන්ගේ ශුක්‍රාණු වල දෝෂ නැති වී යන අතර හෘද රෝග නිවාරණයට ද උපකාරී වේ. ස්නායු ශක්තිමත් කිරීමටත්, බඩ වේලීම වැනි තත්ව මගහරවා ගැනීමටත් මී තෙල් හොද ඔසුවකි. සමේ ඇතිවන දද, කුෂ්ඨ සුව කිරීමටද මී තෙල් වලට හැකියාව ඇත. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මී මල්වලින් සාදා ගන්නා මධු කසාය ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරී වන බව ද සඳහන් කරයි. සෙම් රෝග, හිස කැක්කුම් ආදියේදී යොදාගන්නා නස්න කර්ම සඳහා මී ඇට යොදා ගැනේ.

www.herbalvoice.lk-mee-tree-2.jpg

මී ගසේ තෙල් වලින් සකසන ලද බාම් දැන් වෙළදපොලේ

මී ගසෙන් ලබාගන්නා තෙල් ලබාගැනීමට ඔබට නොහැකි නම් එම තෙල් වලින් සාදා ඇති බාම් වර්ග මිළදී ගැනීමට ඔබට දැන් අවකාශය තිබේ. ශ්‍රී අංකාවේ නිෂ්පාදිත මෙම බාම් වර්ග මිලදී ගැනීම තුලින් බොහෝ කැක්කුම් ආදී අපහසුතා රාශියක් පහසුවෙන් මග හරවා ගැනීමට ඔබට දේශීය වෙළදපොල තුල පහසුකම් තිබීම අතිශයින්ම සතුටට කරුණකි.

ඔබ මී ගස අනිවාර්යයෙන්ම රැකගත යුතුය

මෙවැනි මිල කල නොහැකි වටිනාකම් බොහෝමයක් සහිත මී ගස මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් පවතියි. වනාන්තර එළි පෙහෙළි කිරීම සහ දැව ජාවරම් වැනි ක්‍රියාවන් හේතුවෙනුත්, වර්තමාන පරම්පරාව මී ගසේ වටිනාකම හරි හැටි නොදැනීම නිසාත් මී ශාකය මෙරට තුළ පුරාවෘත්තයක් වෙමින් පවතියි. කෘෂිකාර්මිකව ශ්‍රී ලංකාව ලොව තුළ ඔසවා තැබීමට නම් මෙවැනි ශාක වර්ග රැකගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය.

මේ හා සම්බන්ද නිෂ්පාදන

අදහස් දක්වන්න