අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය යනු අලුතෙන්ම හඳුන්වා දුන් නව සංකල්ප හෝ නව ක්‍රියාකාරකම් නොවේ. විසිවන සියවසේදී මෙම ක්‍රියාවලි සඳහා විශේෂිත පද යෙදීමට බොහෝ කලකට පෙර මිනිසුන් විසින් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහ කළමනාකරණය සිදුකර තිබේ. අන් අය විසින් භාවිතයට ගෙන ඉවත දැමූ දෑවල වටිනාකම සැමවිටම වෙනත් මිනිසුන් දැක ඇත. ‘කෙනෙකුගේ කුණු කූඩය තවත් මිනිසෙකුගේ වස්තුවකි’ යනුවෙන් වාචිකව පැවත එන කියමන එයට සාක්ෂි දරයි.
ඓතිහාසිකව අපද්‍රව්‍ය කළමනාකරණය මානව ප්‍රජාවන්ගේ පරිණාමය, ජනගහන වර්ධනය සහ සංවර්ධනය සමඟ නොවෙනස්ව බැඳී ඇත. පසුගිය ශතවර්ෂය තුළ මුදල්, භාණ්ඩ හා මිනිසුන් සඳහා සංසරණය වීමටත් ගමන් කිරීමටත් වැඩි නිදහසක් ලැබීම හේතුවෙන් ලොවපුරාම පරිභෝජන සහ නිෂ්පාදන රටාවන් සීඝ්‍ර ලෙස වෙනස් වී ඇත. මේ හේතුව නිසා සෑම රටකම පාහේ නිපදවෙන අපද්‍රව්‍ය ප්‍රමාණයද ඉහල ගොස් ඇත. නිසිලෙස කළමනාකරණය නොකිරීම නිසා එය වර්තමානය වන විට ඇතැම් රටකට පාලනය කිරීමට පවා අපහසු මට්ටමක පවතී. රටක ජනගහනයේ සෞඛ්‍යාරක්ෂාව, ජෛව විවිධත්වය වැනි සංවේදී කාරණා පවා මේ හේතුවෙන් අවදානමට ලක්ව ඇත. කසල කළමණාකරණය පිලිබදව අවධානය යොමුකළ සහ ඒ පිළිබඳව ජාතික මට්ටමෙන් නිවැරදි බරකින් යුක්තව ක්‍රියාමාර්ග ගත් රටවල් මෙම ගැටළු සාර්ථකව පාලනය කිරීමට සමත්කම් පෙන්වා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, කැනඩාව, යුරෝපයේ බොහෝ රටවල් සහ ජපානය, චීනය, දකුණු කොරියාව වැනි ආසියාතික රටවල්ද සරල මෙන්ම සංකීර්ණ උපක්‍රම මේ සඳහා භාවිත කිරීම සුලභව දැකිය හැකිය. එනම් ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන දැවැන්ත ව්‍යාපෘති සේම එකී රටවල මිනිසුන්ද ගෘහස්තව නිපදවෙන කැලි කසල කළමනාකරණය සඳහා දායකත්වය සැපයීමයි.
4R සංකල්පය
එසේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා යොදාගන්නේ නැවත නැවත භාවිත කිරීම (Reuse), අවම වශයෙන් භාවිතය (Reduce), ප්‍රතිචක්‍රීකරණය (Recycle) සහ පවතින දෑ අලුත්වැඩියා කොට භාවිතය (Recover) යන ක්‍රමයන්ය. මෙම සංකල්පය 4R සංකල්පය ලෙස හැදින්වේ.

අප එදිනෙදා ජීවිතයේ භාවිතකරන කඩදාසි තුවා, අත්පිස්නා වැනි දෑ තනි භාවිතයකින් පසු කුණු කූඩයට දැමීම සිදුකෙරේ. සෑම වසරකම පාහේ බොහෝදෙනා තමන්ගේ ක්‍රියා නොකරන විදුලි උපකරණ, පරිගණක සහ ජංගම දුරකථන වැනි දෑ අපද්‍රව්‍ය ලෙස බැහැර කරයි. තවත් බොහෝ පිරිසක් විසින් සෑම වසරකම තම ඇඳුම් ආයිත්තම් කට්ටල පවා වෙනස් කරමින් හොඳ තත්ත්වයේ පවතින “පරණ ඇඳුම්” ඉවතලනු ලැබේ. ඇතැම් විට ඒවා බැහැර කිරීමේ එකම හේතුව වන්නේ ඒවා “පසුගිය වසරේ” වීමම පමණි. මෙලෙසින් බැහැර කෙරෙන සියලු අපද්‍රව්‍ය පරිසරයට එකතු වෙයි. එය පරිසරයට මෙන්ම අපටද හානියක් බව දැන දැනම වුවද මේ බැහැර කිරීම් නිතිපතා සිදුවේ.
නමුත් මේ අයිතමයන් සියල්ල එක්වරකට වඩා භාවිත කිරීමේ, එසේත් නැත්නම් ඒවා ප්‍රතිචක්‍රීකරණය මගින් වෙනත් අවශ්‍යකරන ප්‍රයෝජනයක් ලබා ගැනීමේ හැකියාව අප සතු ය. මෙවැනි දේවල් අවම පරිභෝජනයකට ලක් කරන විට, බලශක්ති හා ස්වාභාවික සම්පත් භාවිතය ද නිරායාසයෙන් අඩු කෙරෙනු ඇත. එබැවින් ඔබ යම් ක්‍රමයක් මගින් යම් භාණ්ඩයක් නැවත භාවිත කිරීමට (Reuse) තෝරා ගන්නා සෑම විටම, ඔබට ආර්ථික වාසියක් මෙන්ම පරිසරයට යම් වටිනාකමක් එකතු වීම සිදු වේ.
භාණ්ඩ හැකිතාක් නැවත භාවිත කිරීම ඔබේ ජීවිතයේ පුරුද්දක් බවට පත් කරගැනීමට බොහෝ ක්‍රම තිබේ. සමහර ක්‍රම එදිනෙදා ජීවිතයේ කළ හැකි ඉතා සරල ඒවා ය. නැවත භාවිත කළ හැකි සාප්පු බෑගයක් සුපිරි වෙළඳසැලට රැගෙන යාම එවැන්නකට අරල උදාහරණයකි. තවත් සමහරු වරක් භාවිතකළ විදුලි උපකරණ, ඇඳුම් වැනිදෑ මිලට ගැනීමට යොමුවීම පවා එවන් උත්සහයන් වේ.
මෙසේ නැවත භාවිත කිරීමේ අදහස ඔබට සම්පූර්ණයෙන්ම අලුත් නම් හෝ නුහුරු නම්, ඉහත සඳහන් සරල පියවර කිහිපයක් සමඟින් ඔබට ආරම්භ කළ හැකි ය. ඔබ සරල උපක්‍රම භාවිතයෙන් ප්‍රතිඵල අත්කරගන්නා බව දුටු විට, වඩා සංකීර්ණ උපක්‍රම කරා යොමුවිය හැකිය. එසේම එම පුරුද්දට හුරුවී සිටින විට, ගෘහස්ථ අපද්‍රව්‍ය ප්‍රමාණය සහ ඔබේ පුද්ගලික පිරිවැය යන දෙකම අඩු කිරීමට නව ක්‍රම නිරන්තරයෙන් ඔබ සොයා ගනු ඇත. මෙම පුරුදු හරහා ස්වාභාවධර්මයත් නිසැකවම රැකෙනු ඇත.
මෙම ක්‍රම 10 අනුගමනය තුලින් අපද්‍රව්‍ය කළමණාකරණයට ඔබට හැකියාවක් මෙන්ම ස්වයං ශික්ෂණයක් ද ලැබෙනු ඇත. මෙම ක්‍රම 10 තුළ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන්නේ නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යන ක්‍රමෝපායන්‍ය.
1. වරක් භාවිතකොට ඉවතදැමිය යුතු අයිතම වෙනුවට නැවත නැවත භාවිතකළ හැකි අයිතම වලට යොමුවීම
බොහෝ අය වරක් භාවිතයෙන් පසු ඉවත දැමිය හැකි භාණ්ඩ භාවිත කිරීම පුරුද්දක් කරගෙන ඇත. ඔවුන් නිවසින් පිටවන සෑම විටම වරක් භාවිතකොට ඉවත දැමිය යුතු ප්ලාස්ටික වතුර බෝතල්, කඩදාසි තුවා වැනිදෑ මිලදී ගනී. ඉවත දැමිය යුතු බෝතල් වෙනුවට නැවත නැවත භාවිත කළ හැකි වීදුරු හෝ සෞඛ්‍යාරක්ෂිත ලෝහ වැනි ද්‍රව්‍යකින් සැකසූ බෝතලයක් භාවිතය සුදුසු ය. කඩදාසි ටිෂූ වෙනුවට රෙදි ලේන්සුවක් භාවිත කිරීමට හැකියාව ඇත. එමගින් එවන් නිෂ්පාදන අනාරක්ෂිත ලෙස පරිසරයට එකතුවීම වැළකීම මෙන්ම ඔබේ මුදල් ඉතිරිවීමද සිදුවේ. කල්යත්ම ඔබේ මුදල් පසුම්බිය වඩා තරව තිබියදී ඔබේ කුණු කූඩය සැහැල්ලුව පවතින බව නිරීක්ෂණය වීමේදී, මේ පුරුද්ද දිගින් දිගටම පවත්වාගෙන යාමට ඔබ උනන්දුවනු නොඅනුමාන ය.

2. කැඩුණු උපකරණ මාරුකිරීම වෙනුවට අළුත්වැඩියාකොට භාවිතය
එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කිරීමේදී හානිවන අයිතම වෙනුවෙන් අළුතෙන්ම අයිතම මිලට ගැනීම බොහෝ දෙනා සිදුකරන අත්වැරැද්දකි. එහිදී සුළු අළුත්වැඩියාවකින් පසුව නැවත භාවිත කළ හැකි දෙයක් වුවත් අපද්‍රව්‍යයක් ලෙස බැහැර කිරීම සිදුවේ. බොහෝවිට තවදුරටත් භාවිත කිරීමේ තත්ත්වයේ පවතින විදුලි උපකරණ, පරිගණක, ගෘහ භාණ්ඩ, ඇඳුම් සහ සපත්තු වැනි දෑ මෙසේ බැහැර කෙරේ. එමගින් පරිසරයට අහිතකර රසායනික ද්‍රව්‍ය, දිරාපත් නොවන ප්ලාස්ටික් වීදුරු වැනි දෑ පරිසර පද්ධති වලට එක්වීමේ වැඩි අවදානමක් පවතී.
පරිගණකවල කාර්යක්ෂමතාවය, ශක්‍යතාවය කල්‍ගතවීමේදී අඩුවීයාම සිදුවේ. ඇතැම්විට භාවිතවන මෘදුකාංගවල නවීන සංස්කරණයන් සඳහා පරිගණකයෙ හැකියාවන් ප්‍රමාණවත් නොවන අවස්ථා උද්ගත වේ. නමුත් එවන් අවස්ථාවල පරිගණකය ඉවතලා නව පරිගණකයක් මිලට ගැනීම වෙනුවට දෘඪ තැටියේ (Hard disk) අනවශ්‍ය පද්ධති ලිපිගොනු හා වෛරස් ඉවත් කිරීම මඟින් ඔබට බොහෝ විට මන්දගාමී පරිගණකයක් සුව කළ හැකිය. එසේම අවශ්‍ය පරිදි නව උපාංග එක්කොට ඔබේ පරිණකය නව ප්‍රවණතාවලට ගැලපෙන පරිදී සකස්කරගත හැකිය. බොහෝවිට මෙය නොමිලයේ හෝ නව පරිගණකයකට වැයවෙන මුදලට සාපේක්ෂව ඉතා සුළු මුදලකට ඉටුකරගත හැකිය. එමගින් පරිසරයට ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බැහැරවීම සෑහෙන දුරකට අවම වේ. (E-waste) ගෘහ භාණ්ඩ සඳහා නැවත නැවත ඔප දැමීම් වැනි අලංකරණ සිදුකර භාවිත කළ හැකිය. එසේම ඒවායේ ඇති සුළු සුළු කැඩුම් බිඳුම් සරල උපකරණ භාවිතයෙන් ඔබටම සකස්කරගත හැකිය. සමහර අවස්ථාවල කාර්මිකයෙකුගේ සහාය ලබා ගැනීමට සිදුවේ. එසේ වුවද සම්පූර්ණයෙන් උපකරණය ප්‍රතිස්ථාපනය කරනවාට වඩා කිහිප ගුණයකින් ලාබ දායී පිරිවැයකට, ඔබට අලුත්වැඩියාව සිදුකළ හැකිය. ඇඳුම් සපත්තු වැනි දෑ ඉවත් කිරීමට පෙර අළුත්වැඩියාකොට භාවිත කිරීමද ඉතා පහසු මෙන්ම ලාබදායී වේ.

3. හැකි සෑම විටෙකම දෙවන වෙළඳපොලක් (Second Hand Marketplace) භාවිත කිරීම
සමහර විටක අයිතමයක් අලුත්වැඩියා කිරීමට ක්‍රමයක් නොමැති අවස්ථා පැමිණේ. එවිට ඔබට වෙනත් අයිතමයක් මිලට ගැනීම හැර වෙන විකල්පයක් නැත. එවන් අවස්ථාවල හැකිතාක් දෙවන වෙළඳපොලක් භාවිතය වඩාත් ලාභදායී වේ. එමගින් ඔබට ආර්ථිකමය වාසියක් මෙන්ම පරිසරයට එකතුවන අපද්‍රව්‍යවල යම් අවම කිරීමක්ද සිදුකරගත හැකිය. එසේම නව භාණ්ඩ නිෂ්පාදනයට වැයවන ස්වභාවික සම්පත් සහ ශක්තිය ඉතිරි වේ.
යම් යම් වෙළඳ ආයතන මගින් පවත්වන වෙන්දේසි, සේල් මෙන්ම පාවිච්චි කළ දෑ විකිණීම සඳහාම ඇති වෙළඳසැල් ද ඕනෑම නගරයක දක්නට තිබේ. එසේම e-bay, swap.com, Thredup වැනි බොහෝ අන්තර්ජාල වෙළඳ ආයතන හරහාද ඔබට ඉතා පහසුවෙන් මෙවන් ඕනෑම භාණ්ඩයක් ඇණවුම් කල හැකිය. මේවායේ පවතින භාණ්ඩ බොහෝ විට අලුත් භාණ්ඩයක මිලට වඩා සෑහෙන ප්‍රතිශතයකින් අඩු ය. එහෙත් එවන් මිලදී ගැනීමකදී මිලෙහි සාධාරණත්වය මෙන්ම භාණ්ඩයේ ගුණාත්මකභාවයද සැලකිය යුතු ය.
4. බෙදාහදා ගැනීමේ උපක්‍රම භාවිතකිරීම
මෙය හුවමාරු ක්‍රමවේදයකි. ඔබ සතු යම් භාණ්ඩයක් භාවිතයෙන් ඉවත් කිරීමට ඔබ සිතන්නේ නම් එය අවිධිමත් ලෙස පරිසරයට බැහැර කිරීමට පෙර, ඔබේ අසල්වාසීන් අතර එය අවශ්‍ය කරන යම් අයෙක් ඇත්දැයි විමසා බැලීම වටී. ඒ වෙනුවට ඉවත් කිරීමට සිතා සිටින යම් භාණ්ඩයක් සමග ඔබේ භාණ්ඩය හුවමාරු කරගත හැකි ය. එමගින් අන්‍යෝන්‍ය සුහදතාව ද වර්ධනය වනු ඇත.
5. නිර්මාණශීලීව සිතීමට හුරුවීම
වරක් භාවිතයෙන් පසු ඉවත්කරන ප්ලාස්ටික් බෝතල්, කැඩී බිඳී ගිය වීදුරු කැබලි, රබර් උපකරණ, සෙල්ලම් බඩු, ප්ලාස්ටික් ආදියෙන් වඩාත් ඵලදායී නව උපකරණ හෝ සැරසිලි නිපදවීම සිදුකළ හැකිය. උදාහරණයක් ලෙස ගතහොත් වරක් භාවිතකර ඉවත්කළ යුතු ප්ලාස්ටික් බෝතලයක් දික්කඩ ඔස්සේ කපා, පැල සිටුවීම සඳහා භාජනයක් ලෙස භාවිතකළ හැකි ය. ඉවතලන ටයර්, යෝගට් කෝප්ප, ආහාර ඇසුරුම් ආදියද මේ සඳහා යොදාගත හැකිය. එසේම ඉවතලන විද්‍යුත් උපකරණවල කැබලි, පරිපථ ආදිය යොදාගෙන නිවසේ එදිනෙදා භාවිතය සඳහා සුළු සුළු උපකරණ සාදාගත හැකි වේ. එමෙන්ම මෙවන් ඉවතලන දෑ භාවිතයෙන් නිවෙස් අලංකරණය සඳහා බිත්ති සැරසිලි, මල්බඳුන්, ඡායාරූප රාමු වැනිදෑ සැකසිය හැකිය. මෙය විනෝදාංශයක් ලෙස ප්‍රගුණ කිරීම පරිසර හානියට විසඳුමක් සේම ඔබේ විවේකය ඵලදායිව ගතකිරීමේ සැලැස්මක් ලෙස ද වැදගත් වනු ඇත.
නැවත නැවත භාවිතකිරීම මෙන්ම හැකිතාක් ප්‍රතිචක්‍රීකරණ උපක්‍රම වලට යොමුවීමද වැදගත් වේ. නමුත් බොහෝමයක් නවීන මෙන්ම සාර්ථක ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද පෞද්ගලික වගකීමක් ලෙස ඉටු කිරීමට නොහැකි තරමේ ඒවා ය.
6. කාබනික අපද්‍රව්‍ය භාවිතයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය
මුළුතැන්ගෙයි දිනපතා නිපදවෙන අනිවාර්ය අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඕනෑම නිවෙසක ඇත. මේවා පරිසරයට බැහැර කිරීම හරහා කෙටිකාලීන සෞඛ්‍ය ගැටළු මෙන්ම දුර්ගන්ධය ඇතිවීම, සංවේදී ඇතැම් සත්ව විශේෂ වලට තර්ජනයක් වීම වැනි කරුණු සිදුවීමට ද ඉඩ තිබේ. දිරාපත් වන කාබනික ද්‍රව්‍ය වන ශාක, සත්ත්ව අපද්‍රව්‍ය භාවිතයෙන් ගෘහස්ථව කොම්පෝස්ට් පොහොර නිපදවිය හැකිය. ප්‍රධාන වශයෙන් ජෛවීය කොටු ක්‍රමය, වළ ක්‍රමය හා කොම්පෝස්‌ට් බැරල් ක්‍රමය මේ සඳහා භාවිත කෙරේ.
මේ අතරින් වළ ක්‍රමය ඉතාම පහසු වන අතර ගැඹුර හා පළල අඩි නවයක් බැගින් වන වළක් කපා, එහි පතුලේ සිට අඩි භාගයක් පමණ උසට සිටින සේ නිවසේ එක්රැස් වන මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය, කොළරොඩු වැනි කාබනික අපද්‍රව්‍ය තට්ටුවක් අතුරා, එහි සිට තවත් අගල් හතරක් පමණ ඉහලට සිටින සේ ලී කුඩු වැනි ද්‍රව්‍යයක් එක් කර දින දාහතරකට වරක් කසළ පෙරළනු ලැබේ. මෙම ක්‍රමය මගින් දින 56-60ත් අතර කාලයකින් හොඳ තත්වයේ කොම්පෝස්ට් පොහොර ලබාගත හැකි ය.

7. කාබනික අපද්‍රව්‍ය භාවිතයෙන් ජීවවායුව නිපදවීම
ඉහත සඳහන් මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය ඇතුළු කාබනික අපද්‍රව්‍ය මත සුදුසු උෂ්ණත්ව තෙතමන තත්වයන් යටතේ නිර්වායු ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සිදුකිරීමෙන් ජීව වායුව නිපදවාගත හැකිය. ජීව වායු මිශ්‍රණයේ දහන පෝෂකයන් වන මීතේන් ඇතුළු වායුවර්ග අඩංගු නිසා ඉන්ධනයක් වශයෙන් භාවිතකළ හැකි ය. එමගින් පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය කළමනාකරණයට රුකුලක් වනවා සේම එදිනෙදා ඉවුම් පිහුම් වලදී භාවිතවන ගෑස් සිලින්ඩර වෙනුවට වඩා ලාභදායී විසඳුමක්ද ලබාදේ.
8. භාවිතකළ ප්ලාස්ටික්, වීදුරු වැනිදෑ ප්‍රතිචක්‍රීකරණය
ලෝකයේ දැනටමත් උග්‍ර ගැටළුවක් ලෙස පවතින ප්ලාස්ටික්, පොලිතීන් සහ දිරාපත් වීමට කල්ගතවන වීදුරු වැනි අර්බුදයන්ට විසඳුමක් ලෙස ප්‍රතිචක්‍රිකරණ ක්‍රමය ප්‍රචලිතව පවතී. එහි අරමුණ වන්නේ අලුතෙන්ම ප්ලාස්ටික්, පොලිතීන් සහ වීදුරු නිෂ්පාදනය නොකොට දැනට පවතින ඉවතලන ප්ලාස්ටික්, පොලිතීන් හා වීදුරු දැඩි පීඩන හා උෂ්ණත්ව ක්‍රියාවලියකට ලක්කොට නව නිෂ්පාදන සඳහා භාවිත කිරීමයි. නැවත භාවිතය සේම ප්‍රතිචක්‍රීකරණය කිරීම ද ප්ලාස්ටික්, පොලිතීන් සහ වීදුරු අර්බුදය සඳහා ඵලදායී විසඳුමකි. ඒ සඳහා විශේෂයෙන් සකසන ලද යන්ත්‍රාගාර භාවිත වේ. රබර් සඳහා ද මෙම උපක්‍රමය භාවිත වන අවස්ථා ඇත. මේ වන විටත් සාගර හා ගොඩබිම් ආශ්‍රිතව ජීවත් වන බොහෝ සත්ත්ව විශේෂ මිය යාමට හේතුවක් ලෙස පොලිතීන් ආහාරයට ගැනීම දැක්විය හැකිය. සාගර ආශ්‍රිතව එකතු වන පොලිතීන් සහ ප්ලාස්ටික් මේ වන විටත් ලෝකයටම තර්ජනයක් වී අවසන්. මේ නිසා ඒවා ප්‍රතිචක්‍රිකරණයට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ.

9. කසල භාවිතයෙන් බලශක්තිය නිපදවීම
ලෝකයේ ඇතැම් රටවල නිපදවෙන කුණු කසල භාවිතයෙන් විදුලිය නිපදවීම නවතම ප්‍රවණතාවය බවට පත්ව තිබේ. පරිසර හිතකාමී ක්‍රම වලට අනුකූලව මෙකී ක්‍රියාවලිය සිදුවේ. කැළි කසල පුළුස්සා එමගින් නිපදවෙන වාෂ්පයෙන් ටර්බයින කැරකැවීමේ ක්‍රමවේදය මෙහි භාවිත කෙරේ. ජර්මනිය සහ ඔස්ට්‍රියාව මෙම ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටින රටවල් දෙකකි. ජර්මනිය 2005 දී මෙම උපක්‍රමයට අවතීර්ණ වූ අතර එරට විශාල ගැටළුවක් වූ කසල කඳු පනස්දහසක් පමණ මෙම ක්‍රියාවලිය නිසා නිසි පරිදි කළමනාකරණය කරගත හැකි විය. ශ්‍රී ලංකාව තුළ බලශක්තිය නිපදවා ගැනීමට ඇතැම් අවස්ථාවල යොදාගන්නා ජීව වායුව මෙන්ම මෙවැනි ක්‍රම ද අත්හදා බැලිය හැකිය. මීතොටමුල්ල වැනි ප්‍රදේශ වල ඇති කුණු කදු වලට සාර්ථක විසදුම් මේ මගින් ලබාදෙනු ඇත.
10. ශුන්‍ය අපද්‍රව්‍ය (Zero waste) ක්‍රමය
මෙම සංකල්පය අනුව නිෂ්පාදනයක් භාවිතයෙන් පසු නිපදවෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ශුන්‍ය හෝ හැකිතාක් දුරට අවම මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ දරනු ලැබේ. එසේම ඉලෙක්ට්‍රොනික උපකරණ, මොටර් රථ, යන්ත්‍රෝපකරණ ආදී යම් නිෂ්පාදනයක් භාවිතයෙන් ඉවත්කළ පසු එහි පාරිසරික වගකීම නිෂ්පාදකයා වෙතම පැවරීම සිදු කෙරේ. එමගින් අවිධිමත් ලෙස ඒවා බැහැර කිරීමට ඇති ඉඩ ප්‍රස්තාව අවම කිරීම මෙහි අරමුණ වේ. පසුව නිෂ්පාදකයා විසින්ම එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය හෝ නැවත භාවිතයට සුදුසු වන පරිදි සකස් කිරීම සිදුකරනු ලැබේ.
ස්වීඩනය වැනි රටවල් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය අංශයෙන් ඉහලින්ම සිටියි. ඔවුන් වෙනත් රටවල් වලින් පවා කසළ මිලට ගෙන ඒවා ප්‍රතිචක්‍රීකරණයට කටයුතු කරයි. පසුව, ඒවා ප්‍රයෝජනවත් ද්‍රව්‍යය බවට පත් කෙරේ. මෙනිසාම එවැනි රටවල් පිරිසිදු භාවයෙන් ද ඉහළ ස්ථානයක සිටියි.
එදිනෙදා ජීවිතයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේදී මෙවැනි සරල හා සංකීර්ණ කළමනාකරණ ක්‍රමවලට යොමුවීම ඉතා වැදගත් වේ. එවන් කාර්යක්ෂම ක්‍රම කෙරෙහි වගකිවයුතු අංශවල අවධානය යොමු වීම අත්‍යවශ්‍යම කාරණයකි. කෙසේ වෙතත් ඔබේ ඇස් මායිමේ එක්රැස් වන කුණුකසල ස්වල්පයට වුවත් විසඳුම් ලෙස නැවත භාවිතකිරීමේ හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමවේද භාවිතය, පරිසරයේ යහපැවැත්ම වෙනුවෙන් ඔබ විසින් ඉටුකෙරෙන වටිනා යුතුකමකි.
