මොනව ද මේ නෙල්ලි?
Phyllanthus emblica (ෆිලන්තස් එම්බ්ලිකා) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නෙල්ලි ශාකය Phyllanthaceae (ෆිලන්තේසියේ) පවුලට සහ Plantae (ප්ලාන්ටේ) ශාක රාජධානියට අයත් වේ. එය Indian gooseberry tree ලෙසින් ද හඳුන්වයි. ඉන්දුනීසියාව, පිලිපීනය, ඉන්දියාව සහ බ්‍රසීලය සාර්ථක ලෙස නෙල්ලි වගාවේ නිරතවන අතර අසල්වැසි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ් සහ තමිල්නාඩුව ආදී ප්‍රදේශයන් නෙල්ලි වගාව සඳහා ප්‍රචලිත වේ.
නෙල්ලි ස්වභාවිකවම ඝර්ම කලාපීය හා උපඝර්ම කලාපීය දකුණු ආසියාතික වියළි ප්‍රදේශවල සහ මිශ්‍ර සදාහරිත වනාන්තරවල දක්නට ලැබේ. මෙහි සම්භවය නේපාලයේ දකුණු හිමාල පෙදෙසේත්, ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ සිට දකුණටත්, ඉන්දියානු උපමහාද්වීපික රටවල් දක්වාත් පැතිර පවතී. මේ අතරට ශ්‍රී ලංකාව ද අයත් ය. ශ්‍රී ලංකාව තුළ වියළි හා අතරමැදි කලාපයේ, බිබිල, බදුල්ල, මොණරාගල, ගල්ඔය, බුත්තල, අනුරාධපුර, රත්නපුර හා පොළොන්නරුව ආදී ප්‍රදේශවල හා තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශවල ද නෙල්ලි ශාකයේ ව්‍යාප්තිය දක්නට ඇත. නෙල්ලි වර්ග කිහිපයක් ලංකාව තුළ දක්නට ලැබෙන අතර “බෙහෙත් නෙල්ලි” සහ “බික් නෙල්ලි (මල් නෙල්ලි)” යනු බොහෝ දෙනෙක් හදුනන නෙල්ලි වර්ග දෙකකි.

නෙල්ලි තුළ අඩංගු පෝෂක
නෙල්ලි තුළ අඩංගු පෝෂණ ගුණය නිසාම එය ආයුර්වේදයේ විශ්මිත පලතුරක් ලෙසින් හඳුන්වනු ලබන අතර නෙල්ලි ඵලය, ප්‍රධාන වශයෙන් විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක වලින් අනූන ය.
නෙල්ලි ඵල මාංශල ග්‍රෑම් 100ක,
පෝෂණ ගුණය | ප්‍රමාණය |
විටමින් සී | මිලි ග්‍රෑම් 250 – 1800 |
ශක්තිය | කි.කැලරි 58ක් |
ජලය | ගෑම් 81.3 |
ප්‍රෝටීන් | ගෑම් 0.5 |
මේදය | ග්‍රෑම් 0.1 |
කාබෝහයිඩ්රේට | ග්‍රෑම් 13.7 |
තන්තු | ග්‍රෑම් 3.4 |
ඛණිජ ලවණ | මිලි ග්‍රෑම් 0.7 |
කැල්සියම් | මිලි ග්‍රෑම් 50 |
පොස්පරස් | මිලි ග්‍රෑම් 20 |
යකඩ | මිලි ග්‍රෑම් 1.2ක් |
විටමින් ඒ | මයික්‍රො ග්‍රෑම් 4.0 |
ඖෂධීය ගුණයන්
ආයුර්වේදය පෙන්වා දෙන ආකාරයට නෙල්ලි තුළ ලුණු රස හැර අනෙක් සියලු රසයන් අන්තර්ගත බව කියැවේ. මධුර, අම්ල, කටු, තිත්ත සහ කසාය යන පංච රසයම ඒ තුළ අඩංගු ය. වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂ සමනයට එක සේ ගුණදායක ඖෂධක් ලෙස නෙල්ලි හැඳින්විය හැකි ය.
එමෙන්ම නෙල්ලි ගර්භණී මව්වරුන්ට ඉතා ගුණදායක වන අතර ගර්භණී සමයේ ඇතිවන සංකුලතා බොහොමයකින් මිදීමට ද උපකාරී වේ.
පිත්ත රෝග නිවාරණයට විශේෂ ගුණයක් නෙල්ලි තුළ අඩංගු වන අතර, උෂ්ණාධික බව සමනය කර ශරීරයේ සිසිල් ගුණය ඇති කළ හැකි ඖෂධයක් ලෙස නෙල්ලි, ආයුර්වේදය තුළ හැඳින්වේ. ශරීරයේ අභ්‍යන්තර හා බාහිර සියලු දැවිලි සහ දද කුෂ්ඨ සුව කිරීමේ ගුණයක් නෙල්ලි වලට ඇත. ක්ෂුද්රජීවී නාශක ගුණය ඉහළින්ම ඇති නෙල්ලි දිලීර, බැක්ටීරියා සහ වෛරස ආසාදනය නිසා ඇතිවන රෝග වලින් මිදීමට උපකාරී වේ. රක්ත ශෝධක ගුණයෙන් හා රුධිර පෝෂක ගුණයෙන් අනූන මෙම වටිනා ඖෂධය රතු සෛල වැඩි කිරීමට, පටක වර්ධනය කිරීමට සහ අස්ථි ශක්තිමත් කිරීමට සමත් ය.
අක්මාවේ ඇති හෝමෝන සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාමට, අක්මා සෛල යථා තත්ත්වයට පත් කිරීමට මෙන්ම, පිළිකා සහ ප්‍රදාහයන් පාලනය කිරීමටත්, මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වය නිවැරදිව පවත්වාගෙන යාමටත් නෙල්ලි උපකාරී වේ. ආසාත්මිකතා වැළැක්වීමට, ශරීර ශක්තිය වර්ධනයට සහ නාඩි බලය ශක්තිමත් කිරීමට ද බුද්ධි වර්ධනයට සහ වයසට යාම පාලනය කිරීමට ද නෙල්ලි හොඳ ඖෂධයකි. නෙල්ලි දන්ත රෝග සඳහා ද ගුණදායක ය. එමෙන්ම තරබාරු බව අඩුකර මේද දහනය කිරීමට ද, ආහාර මාර්ගයේ ඇතිවන ගැටළු සඳහා ද ඖෂධයක් ලෙස නෙල්ලි භාවිත කළ හැකි ය. එමෙන්ම රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට ද නෙල්ලි උපකාරී වේ.
ඇස් පෙනීම වර්ධනයට හා අක්ෂි රෝග සමනය කිරීමට නෙල්ලි ගුණදායක වන අතර අකලට හිසකෙස් සුදු වීම ද වළක්වයි. දිනපතා නෙල්ලි ගෙඩියක් හෝ දෙකක් ආහාරයට ගැනීමෙන් ඉස්සොරි වලින් තොර නිරෝගී දිදුලන වරලසක් මෙන් ම සෞඛ්‍යය සම්පන්න, වියළි බවින් තොර සමක් ලබා ගැනීමට ද හැකි වේ. හිසකෙස්වල මෙන්ම හිස් කබලේ නිරෝගි බව ඇති කිරීමට ද නෙල්ලි දායක වෙයි. රසායනික ආලේපන සහ ඖෂධ රැසක් සඳහා ඔබ වැය කරන අධික මුදල් සම්භාරය ඉතිරි කරගැනීමට මෙන් ම අතුරුඵල රහිතව හොඳ ප්‍රතිඵල ලබාගැනීමට ද නෙල්ලි ඔබට උපකාර කරනු ඇත. නිරෝගී පුද්ගලයකුගේ හිස සිට පාදාන්තය දක්වා සියලුම අවයවයන්ට නෙල්ලි හිතකර බව කිව හැකිය.

නෙල්ලි භාවිත කළ හැකි ආකාර
ශරීරයේ ඇතිවන විවිධ අවශ්‍යතාවයන් සඳහා ශරීරයට බාහිරින් හා අභ්‍යන්තර වශයෙන් නෙල්ලි භාවිත කළ හැකි ය. ආයුර්වේදය තුළ නෙල්ලි, රසකිඳ සහ තවත් ඖෂධ සමග එක් කොට තම්බා බීම, අමු නෙල්ලි තම්බා හිස සේදීම වැනි ප්‍රතිකාරයන් ද පැවතීම නිදසුන් ලෙස දැක්විය හැකි ය. පළතුරක් ලෙස ආහාරයට ගැනීමේ සිට නෙල්ලි භාවිත කිරීමේ විවිධ ක්‍රමවේදයන් පවතින අතර නෙල්ලි යුෂ පානය ද බොහෝ ගුණදායක බව කියැවේ. වර්තමානය වන විට සමාජයේ ඇති කාර්යබහුලත්වය නිසාම මෙම ඖෂධය පහසු ආකාරයෙන් භාවිත කිරීමට ක්‍රමවේදයන් සකසා ඇත. නෙල්ලිවල ඇති විශේෂත්වය නම් වියළීමෙන් හෝ කුඩු කිරීමෙන් එහි ගුණය විනාශ නොවීමයි. නෙල්ලි පවුඩර් වර්තමානයේ බොහෝ අවශ්‍යතා සඳහා භාවිත කරන අතර කල් තබාගත හැකි බැවින් පහසුවෙන් විවිධ ඖෂධ සකස් කරගැනීම සඳහා ද ස්වාභාවිකව භාවිත කළ හැකි ය. එමෙන් ම වර්තමානය වනවිට Amla Tea හෙවත් “නෙල්ලි තේ” භාවිතය ද ප්‍රචලිත වෙමින් පවතී.
Amla Tea හෙවත් නෙල්ලි තේ
නෙල්ලි තේ යනු, නෙල්ලි පවුඩර් එක් කර සාදාගන්නා උණුසුම් පානයකි. වර්තමානයේදී ප්‍රමිතිගත උසස් නිෂ්පාදනයන් වශයෙන් මෙම ඖෂධීය පානයන් වෙළඳපළ තුළ දක්නට ඇති අතර කාර්යබහුල ජීවන රටාව තුළ ඔබගේ ජීවිතයේ නිරෝගී භාවය උදෙසා තේ වෙනුවට පානය කළ හැකි මෙවැනි ඖෂධීය පානයන් පහසුවෙන් භාවිත කළ හැකි අයුරින් සකසා තිබීම පැසසිය යුතු කරුණකි. අනවශ්‍ය මේදය දහනය කරමින් ශරීරයේ බර නිසි ලෙස පවත්වා ගැනීමටත්, ස්වභාවික රූපලාවණ්‍ය සත්කාරයක් ලෙසත්, ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්ට හිතකර ස්වභාවික පානයක් ලෙසත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ අම්ලා තේ ඔබට දැන් භාවිත කළ හැකි ය. ඒ නෙල්ලි තේ පානය, නෙල්ලිවල අඩංගු විශ්මිත පෝෂණ ගුණයන් ඔබේ ශරීරයට එකතු කරගත හැකි පහසුම ක්‍රමවේදයන්ගෙන් එකක් ලෙස දැක්විය හැකි ය.

සෞබ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා, ඉහළ ඖෂධීය ගුණයක් සහිත නෙල්ලි නිවැරදිව භාවිත කරමු
නෙල්ලි යනු ශ්‍රී ලංකාව තුළ ආයාසයකින් තොරව වුව ද ස්වභාවිකව වැවී ඵල දරන සුලබ ශාකයකි. එහි ඇති විශ්මිත වූ ඖෂධීය ගුණය මගින් ඔබේ සෞඛ්‍යයට බොහෝ ප්රතිලාභ ලබාගත හැකි ය. ඔබේ ගෙවත්තේ වැවෙන මෙම වටිනා ඖෂධය කිසි විටෙකත් අපතේ නො හරින්න. එමෙන් ම අහිතකර රෝග තත්ත්වයන් පවතී නම් හෝ ඖෂධයක් ලෙස නෙල්ලි භාවිත කරන්නේ නම් පළපුරුදු සහ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත් කරුණකි.