ශ්‍රී ලාංකීය පරිසර පද්ධතියන් තුළ නිරන්තරයෙන්ම දක්නට ලැබෙන ඉතා වර්ණවත් පුෂ්පයක් ලෙස ‘කටරොළු’ පුෂ්පය හැඳින්විය හැකිය. සිත් ඇදගන්නා සුළු නිල් වර්ණයක් සහිත මෙම පුෂ්පය කෙරෙහි මෑත කාලයේ ඉතා වැඩි අවධානයක් යොමු වී ඇති අතර වැඩි කතා බහට ලක්වු ශාකයක් බවට පත්ව ඇත. මෙම ශාකයේ පුෂ්ප පොකුරු ආකාරයෙන් සහ තනි මල් ආකාරයෙන් ද දැක ගත හැකිය. නිල් කටරොළු ශාකය Fabaceae කුලයට අයත් වන අතර එහි උද්භිද විද්‍යාත්මක නාමය Clitoria ternatea වෙයි. සංස්කෘත භාෂාවේ මෙම පුෂ්පය හදුන්වනුයේ ‘අපරාජිත’ යන නමිනි. ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දෙනෙක් මෙම ශාකය butterfly pea ලෙස හඳුන්වයි. තවද ආයුර්වේද විද්‍යාවේදී ඉතාම ගුණදායී ඔසුවක් ලෙසද මෙම කටරොළු පුෂ්පය භාවිතයට ගනී. ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ වාසය කළ පැරැන්නන් මෙම ශාකයෙහි ඇති ඖෂධීය වටිනාකම දැනගෙන සිටි හෙයින් ඔවුන් නිරන්තරයෙන්ම මෙම ශාකය භාවිතයට ගන්නා ලද බව පුරාණ පොත පතෙහි සඳහන් වේ. නිල් පැහැයෙන් යුතු ඉතා වර්ණවත් පුෂ්පයක් හෙයින් විෂ්ණු දෙවියන් සඳහා පූජා පැවැත්වීම සඳහා ද මෙම නිල් කටරොළු පුෂ්පය විශේෂයෙන් භාවිතයට ගනී. තවද හින්දු පූජකවරුන් නවග්‍රහ ශාන්තිය වැනි ශාන්ති කර්ම සඳහා නිල් කටරොලු පුෂ්පය භාවිත කරයි.

ඔබත් නිල් කටරොළු පැළයක් ගෙවත්තේ වවාගන්න
නිල් කටරොළු ශාකයේ කඳ වැලක් ලෙස 2m පමණ දිගකට වර්ධනය වන අතර පත්‍ර ප්‍රමාණයෙන් 2.5 cm පමණ වේ. පැළ ව්‍යාප්ත වන්නේ බීජ මඟිනි . කරල් වියළුණු පසු පුපුරා එහි තැන්පත්ව ඇති බීජ මගින් කුඩා පැළ ලබාගත හැකිය. පුෂ්පවල ප්‍රමාණය පත්‍ර වල ප්‍රමාණයට වඩා කුඩා වන අතර පුෂ්පයේ පෙති තරමක් යටි කුරු හැඩයක් ලෙසට දිස්වෙයි. තද නිල් පැහැයේ සිට දම් පැහැයක් දක්වා වර්ණාවලියකින් යුක්ත පුෂ්පයන් විවිධ ප්‍රභේද ලෙස එක් එක් ප්‍රදේශ වල දැකගත හැකි වේ. කටරොළු පුෂ්පයේ පෙති වල අග්‍රස්ථ කොටසේ ඇති සුදු පැහැ හැඩතල නිසා විචිත්‍රවත් බවක් දැකගත හැකි.
කටරොළු පුෂ්පය විචිත්‍ර පත් නිල් පැහැයෙන් යුක්ත වන්නේ ස්වභාවිකම එහි අඩංගු ඇන්තොසයනින් වර්ණකය හේතුවෙනි. බීජ 8- 12ක් පමණ අතර ප්‍රමාණයක් සහිත කටරොළු කරල් විශාල ප්‍රමාණයක් එක් වරකට කටරොළු වැලෙහි දක්නට ලැබේ. නිශ්චිත වූ පරිසර තත්ත්වයන්ගෙන් තොරව වනාන්තර වලද, ගෙවත්තේ ද ඉතා හොඳින් වර්ධනය වන මෙම ශාකය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල දැකගත හැකි වේ. හොඳින් සූර්යාලෝකය ලැබෙන ස්ථානයක මල් හට ගැනීම ඉක්මන් වේ.
විවිධ ආගමික කටයුතු වලට මෙන්ම ඖෂධ නිපදවීමේදී ද ආහාර වර්ණ ගැන්වීමේදී ද ඉතාම ප්‍රයෝජනවත් ස්වභාවික වර්ණක අඩංගු පුෂ්පයක් ලෙස මෙම කටරොළු පුෂ්පය හැඳින්විය හැකිය. අතීතයේ පටන් ආයුර්වේද විද්‍යාවේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහාත් කෘෂිකර්මාන්තයේ කෘමි විකර්ශකයක් ලෙසත් කටරොළු මල් භාවිතයට ගෙන ඇති බව සඳහන් වේ. මෙම පුෂ්ප වල ඇති විශේෂිත ප්‍රෝටීනයක් නිසාවෙන් මේවාට කෘමින් විකර්ශක හැකියාවක් ස්වභාවයෙන්ම ලැබී ඇත. තවද, මෙම පුෂ්පය නයිට්‍රජන් පෝෂකය ඌණ පසකට ස්වභාවිකවම නයිට්‍රජන් පෝෂකය ලබාදෙන ප්‍රභවයක් ලෙසද භාවිත කිරීමට පැරණි ගොවි ජනතාව පුරුදු වී සිටියහ. පුෂ්පයේ ඇති වර්ණවත් පැහැය නිසා විවිධ බීම වර්ග සඳහා කෘතිම වර්ණක වෙනුවට භාවිතයට ගත හැකිය.
නිල් කටරොළු පුෂ්පයේ යුෂ යොදාගෙන කරනු ලබන පර්යේෂණයන්ගෙන් සනාථ වී ඇත්තේ මිනිස් රුධිර ගත සීනි මට්ටම යාමනය කිරීමට හා ශරීරයේ ප්‍රතිඔක්සිකාරක හැකියාව වැඩි කිරිමට නිල් කටරොළු යොදා ගත හැකි බවය. මෙම නිල් කටරොළු ශාකයේ යුෂයයෙහි ටැනින්, කාබෝහයිඩ්‍රේට්, සැපොනින්, ෆීනෝල් වැනි විවිධ සංඝටක ද අන්තර්ගත වී ඇති බවට විද්‍යාත්මකව තහවුරු කර ගෙන ඇත. මෙම සංඝටකයන්ගෙන් සමහර ඒවා ඔබේ ශරීරයට ඇතුළු වන පරපෝෂිතයන්ට එරෙහිව ක්‍රියා කරන බව පර්යේෂණ වලින් සනාථ වී ඇත. එමෙන්ම මෙම සංඝටකයන් පිළිකා මර්දනය සඳහා ද, පිළිකා සෛල ඇතිවීම වැළැක්වීම සඳහාද උපකාරී වන බව විද්‍යාඥයින් සනාථ කර ගෙන ඇත. මෙම සංඝටකයන්ගේ ලැබෙන තවත් ප්‍රයෝජනයක් ලෙස ප්‍රදාහක ප්‍රතිචාර ඇතිවීම වැළැක්වීම ද හැඳින්විය හැකිය.
කටරොළු ශාකයේ පුෂ්ප මෙන්ම මුල්, කදෙහි පොතු, කරල් යන කොටස් ද ඖෂධ විද්‍යාවේදී භාවිතයට ගනි. ගෙවතු වගාවේදී කටරොළු මල් අලංකාර පුෂ්පයක් ලෙස වගා කළද මෙම ශාකයේ ඖෂධීය ගුණාංග පිළිබඳ ව බොහෝ දෙනෙක් නොදනී.

නිල් කටරොළු තේ
සිරුර පැහැපත් කරගැනීමට ද නිල් කටරොළු පුෂ්පයේ යුෂ පානය කිරීමට හැකිය. නිල් කටරොළු පුෂ්ප යොදා ගෙන කරනු ලබන විවිධ නිෂ්පාදන අතරින් නිල් ‘කටරොළු තේ’ යනු ඉතාමත් ප්‍රචලිත නිෂ්පාදනයකි. එමෙන්ම, කෙටි කාලයකදී ඉතාම ඉක්මනින් මෙම කටරොළු තේ පානය සාදා ගත හැකිය. ඔබේ ගෙවත්තේත් නිල් කටරොළු මල් තිබේ නම්, ඔබට එය ඉතාම ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකිය. මෙම තේ පානය ශරීරයට බෙහෙවින් හිතකර වෙයි. පිලිකා සෛල මර්දනය, දහඩිය දැමීම අඩු වීම හා දහඩිය දුගඳ නැති වීම, තුවාල සුව වීම වැනි අවස්ථාවලදීත් කාන්තාවන්ගේ බොහොමයක් සෞඛ්‍ය ගැටළු සඳහාත් මෙම නිල් කටරොළු තේ ඖෂධයක් ලෙස භාවිත කළ හැකි බව මේ වන විට පර්යේෂණාත්මකව තහවුරු කරගෙන ඇත. මෙම තේ පානය මගින් දන්ත රෝග සුව කරගැනීමේ හැකියාවක්ද ඇත. මෙම නිල් කටරොළු තේ භාවිතය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුවද ඉන්දියාව, තායිලන්තය, බුරුමය වැනි රටවල මෙය ඉතා ප්‍රචලිත පානයකි. වියළා ගත් නිල් කටරොළු මල් මෙම රටවල වෙළඳ පොළවල් වල ඉතාම සුලභව දැක ගත හැකි වේ.තවද මෙම නිල් කටරොළු තේ භාවිතය තුළින් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, මානසික සහනයක් ලබා දීම සහ කේශ කලාපයේ වර්ධනය ද සිදු කෙරේ. මෙම තේ වර්ගය තරුණ බව රැක ගැනීමට යොදා ගන්නා තේ වර්ගයක් බවත් කිව යුතු වේ. කාලයත් සමග සමේ ඇතිවන රැලි වැටීම් පාලනය කොට වයසට වඩා තරුණ පෙනුමක් ලබාගැනීමට මෙම ස්වාභාවික පානය ඉවහල් වේ.

කටරොළු බීම
කටරොළු පුෂ්පය යොදාගෙන තේ වලට අමතරව තවත් බොහෝ බීම වර්ග සෑදීමට හැකිය. තායිලන්තය, බුරුමය සහ යුරෝපීය රටවල ද මෙය ඉතා ප්‍රචලිත ය. මෙම බීම වර්ග වල ස්වාභාවික වර්ණවත් බව නිසා ඕනෑම කෙනෙක් ඉක්මනින් ආකර්ෂණය වී එහි රස බැලීමට පෙළඹේ. නිවසේදී වුව ද පහසුවෙන් සකසාගත හැකි මෙම පානය සඳහා දේශීයව මෙන්ම විදේශීය ද ඉහළ ඉල්ලුමක් මේ වන විට පවතී.

කටරොලු ආශ්‍රිත ආහාර
කටරොළු මල් කිහිපයක් තම එදිනෙදා ආහාරයට ගන්නා බත්, නූඩ්ල්ස්, ඉදි ආප්ප, කිරි බත්, පුඩින් වර්ග, ආප්ප වැනි ආහාර සාදා ගැනීමේදී යොදා ගැනීමෙන් එම ආහාර වල වර්ණවත් භාවය ඇතිකර ගත හැකිය. තවද, විවිධ කේක් වර්ග නිෂ්පාදනයේ දී ද මෙම කටරොළු මල් යොදා ගැනීමෙන් ඉතාම වර්ණවත් පැහැයක් එම කේක් වලට ස්වාභාවිකව ලබාගත හැකි ය. එමඟින් පාරිභෝගික ආකර්ෂණය වැඩි වෙනවාත් සමඟම සෞඛ්‍ය ආරක්ෂිත බවද වැඩි වේ.

කුඩා ළමුන් සේම වැඩිහිටි අයත් නිතර පාහේ ආහාරයට ගන්නා අයිස්ක්‍රීම්, පැණි බීම වැනි ආහාර පාන වලටද කටරොළු යුෂ එක් කර ගැනීමෙන් අලංකාර භාවයක් ලබා දෙයි. තවද කටරොළු මල තවරනයක් මගින් තවරාගෙන බැද ගැනීමෙන් ඉතාම රසවත් ආහාරයක් සාදා ගත හැකි වේ. කටරොළු මල් සහ දළු හීනියට ලියාගෙන සම්බෝලයක් සාදා ගැනීමට ද හැකියාව ඇත.
සෙම් අමාරු ඇති පුද්ගලයන්ට කටරොළු මුල් හරහා සහනයක් ඇති වන බවට ආයුර්වේද විද්‍යාවේ සඳහන් වේ. තවද මෙම නිල් කටරොළු මල් යොදාගෙන සාදන කසාය ආයුර්වේද විද්‍යාවේහි බොහෝමයක් ලෙඩ දුක් සුව කිරීම සඳහා යොදා ගනී. මෙම කසාය වර්ගය උන්මාද රෝග වැනි රෝගවලින් පෙළෙන්නන්ට ද සුවදායි පානයකි. ආමාශගත රෝග සුව කිරීමේ හැකියාව නිසා ආහාර මාර්ග පද්ධතියට ද මෙම කටරොළු ශාකයේ ඖෂධීය ගුණය ඉතාම වැදගත් බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතයයි. මුළු ශාකයම යොදා ගෙන සාදනු ලබන කසාය වලින් අර්ශස් රෝග සුව කිරීමට හැකි බවද ඔවුන් සඳහන් කරයි. කටරොළු පත්‍ර උගුරේ වේදනාවන් වලට ද සුවදායක වේ. මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල් සහ මුත්‍රා අඩස්සි යන සෑම මුත්‍රා රෝගයක්ම සුව කිරීමට කටරොළු වලට හැකියාව පවතී.
මෙවන්වු ඖෂධීය ගුණයන් රැසක් ඇති කටරොළු ශාකය එදිනෙදා ජිවිතයට යොදා ගැනිමෙන් විශාල රෝගාබාධ රැසකට විසදුම් ලබා ගැනිමටත්, ආහාර වර්ණ ගන්වන කෘතිම වර්ණක වෙනුවට අලංකාරවත් ස්භාවික වර්ණයක් ලෙසත් භාවිත කිරීමටත් හැකියාව පවතියි.