අපේ මුතුන්මිත්තන් කෙදිනකවත් අසා නොතිබුණු බොහෝ ලෙඩ රෝගවලින් පෙළෙන්නට තරම් වර්තමාන පරම්පරාව අවසනාවන්ත වී ඇත්තා සේම තම ආයු කාලය අතීත පරම්පරාවන්ට සාපේක්ෂව ඉතා අඩු අගයකට පහත වැටීමටත් වත්මන් පරපුර සතු ආහාර රටාව විශේෂයෙන්ම බලපා තිබේ. මූලික වශයෙන්ම අධික තෙල් පරිභෝජනය, මස්මාංශ අනුභවය, පිෂ්ටමය ආහාර අධික ලෙස පරිභෝජනය වැනි කරුණු හේතුකොටගෙන කෙටි කාලීන/ ක්ෂණික හෘද්‍යාබාධ, අධික ස්ථුලබාවය වැනි තත්වයන් සේම දීර්ඝකාලීනව පවතින හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි තත්වයන් නිධන්ගතව පැවතීම හේතුවෙන් නොසිතූ මොහොතක අවාසනාවන්ත මරණයන්ට ගොදුරු වීමට මිනිසාට සිදුවී තිබේ.
නිර්මාංශ විය හැකි විවිධ ක්‍රම
සර්ව භක්ශකයෙකු ලෙස හැදින්විය හැකි මිනිසා, ශාක සහ සත්ව ප්‍රභව තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා එකල සිටම භාවිතා කර තිබෙන බව සියල්ලෝම දන්නා පොදු කරුණකි. නමුත් මේ වන විට පිරිසක් මස් මාංශ ආහාරයට නැඹුරු වී ඇති අතර තවත් පිරිසක් නිර්මාංශ ආහාර රටාවකට පුරුදුව සිටිති. මෙම නිර්මාංශ අහාර සංකල්පය මේ වන විට ලෝකයේ බොහෝමයක් රටවල් වල ජනප්‍රිය වෙමින් තිබේ. මේ සදහා හේතු වශයෙන් අවිහිංසා සංකල්පය මෙන්ම ලෙඩ රෝග වලින් වැලකීමට ඇති හැකියාවත් මූලික කරණු බවට පත් වී තිබේ. නිර්මාංශ අහාර රටාව ප්‍රධාන කොටස් 3කට බෙදා වෙන් කල හැකිය. නමින් lacto vegetarian, lacto ovo vegetarian සහ vegan ලෙස මේවා ප්‍රධාන කාණ්ඩ තුනකට හදුන්වා දිය හැකිය. මේ පිලිබදව සොයා බලන විට lacto vegetarian ලෙස හදුන්වන නිර්මාංශ පුද්ගල කාණ්ඩය මස් මාංශ ආහාර නොගත්තද, සත්ව ප්‍රභව ආශ්‍රයෙන් ලබා ගන්නා කිරි වැනි දෑ ආහාරයට එක් කර ගන්නා පිරිසකි. lacto ovo vegetarian ලෙස හදුන්වන පුද්ගල කාණ්ඩය, මාංශ ආහාරයෙන් වැලකුණද කිරි සහ බිත්තර වැනි සත්ව ප්‍රභව ආශ්‍රයෙන් ලබාගන්නා නිශ්පාදන අහාරයට ලබා ගන්නා පිරිසකි. නමුත් vegan ලෙසට හදුන්වන්නේ සම්පූර්ණයෙන්ම නිර්මාංශික පුද්ගල කාණ්ඩයකි. මොවුන් කිසිදු ආකාරයකින් සත්ව ප්‍රභව ආශ්‍රයෙන් ලබා ගන්නා නිශ්පාදන ආහාර සදහා එක්කර නොගන්නා පිරිසකි. ඒ අතරම මොවුන් සත්ත්ව හම් වලින් නිමැවූ භාණ්ඩ ආදියි ද භාවිත නොකරයි.
නිර්මාංශ වීමෙන් අවශ්‍ය පෝෂක ශරීරයට ලැබේද?

සත්ව ප්‍රභව ආශ්‍රිතව ලබාගන්නා ආහාර වල බොහෝ ප්‍රමාණයක් සංතෘප්ත මේද අම්ල ඇති අතර එවැනි බොහෝ සංතෘප්ත මේද අම්ල ශරීරයට අහිතකර වේ. මිනිස් රුධිරයේ අහිතකර කොලෙස්ටෙරෝල් මට්ටම ඉහළ යාමට මෙම සංතෘප්ත මේද අම්ල වැඩිපුර ආහාරයට ගැනීම හේතුවේ. නමුත්, නිර්මාංශික වීම මගින් අපගේ ශරීරයට ශාකසාර ඔස්සේ ලැබෙනුයේ අසංතෘප්ත මේද අම්ල හෙවත් හිතකර මේද අම්ලයි. එනිසා ශරිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉතා පහසුවෙන් පාලනය කරගත හැකි බවත් මේ වන විට වෛද්‍ය විද්‍යාත්මකව අනාවරණය වී තිබේ. නිර්මාංශිකයකුගේ රුධිරයේ ශරීරයට අහිතකර වන අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන ඉතා අවම වශයෙන් පවතින බැවින්, ඔවුන්ට හෘදයාබාධ වැලදීමට ඇති ඉඩකඩ බොහෝම අඩු බව පර්යේෂකයන් සනාථ කර තිබේ.
පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය වන මහා පෝෂක ලෙස සැලකෙන කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, ලිපිඩ ආදිය ද ක්ෂුද්‍ර පෝෂක ලෙස සැලකෙන විටමින්, ඛනිජ ලවණ ආදිය ද නිර්මාංශික ආහාර වේලක් තුළින් අනිවාර්‍යයෙන් සපුරා ගත හැකිය. ශරීරයේ වර්ධනය සහ නඩත්තුව සඳහා අවශ්‍ය සියළුම පෝෂක එළවළු, පළතුරු, ධාන්‍ය වර්ග, පලා වර්ග සහ සෝයා ආදිය තුළින් ලබා ගත හැකි වීම නිසා අපහසුතාවයකින් තොරව ඔබගේ දෛනික ආහාර වේල සකසා ගැනීමේ හැකියාවද පවති. ගෙවත්ත තුළින් හා වටපිටාවෙන් ඉතා පහසුවෙන් නිර්මාංශික ආහාර ලබාගත හැකි වීම නිසා ඒවායේ නැවුම් වබව ඉහළ මට්ටමක පවතින බවට ඔබට සහතික කර ගත හැකිය.
රනිල කුලයේ භෝග වන බෝංචි, මෑ කරල්, කව්පි, සෝයා බෝංචි යනු මිනිස් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන බහුලව අඩංගු ශාකමය ආහාර වේ. යම් අයෙක් සත්ව ශරීරයෙන් ලබාගන්නා කිරි පරිභෝජනය නොකරන්නේ නම්, සෝයා බෝංචි බීජ මගින් නිපදවන කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වලට යොමු විය හැකිය. සෝයා කිරි, සෝයා අයිස් ක්‍රීම්, සෝයා ටෝෆු සහ සෝයා යෝගට් වැනි නිෂ්පාදන මේ වන විටත් වෙලදපොලේ පවතියි. මෙම ආහාර වර්ග හරහා ඔබගේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය නිසි අයුරින් ලබාගැනීමේ හැකියාව පවතියි.
බොහෝමයක් ශාකමය ආහාර වල තන්තු බහුල නිසාවෙන් ආන්ත්‍රික රෝග වලින් ඇති පීඩාවන් ද ඉවත් වේ. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය තරමේ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක්ද මේ ශාකමය ආහාර තුලින් ලබා ගත හැකිය. එම නිසා ශරිරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවාගත හැකි වේ. මැග්නීසියම් සහ පොටෑසියම් ලවණ වර්ග, විටමින් සී සහ ඊ එමෙන්ම ප්‍රතිඔක්සිකාරක වලින් ශාක අහාර පොහොසත් වන නිසාවෙන් අඝාත තත්ව ඔසිටියෝපොරෝසිස් වැනි තත්ව ද මගහරවා ගැනිමටත් හැකියාවක් තිබේ. එමෙන්ම මාංශමට ආහාර ලබාගැනිමෙන් ඇතිවියහැකි ආසාත්මිකතා, සංකූලතා වලක්වාගැනිමටත් නිර්මාංශික වීම වාසි දායක වේ.
නිර්මාංශ වීමෙන් ඔබට ලැබෙන සෞඛ්‍යම වාසි

පුද්ගලයෙකු නිර්මාංශික වීම තුලින් විශාල වාසි රැසක්ම ලබාගත හැකිය. බුද්ධ දර්ශනයේ ද සදහන් කර ඇති පරිදි “ආරෝග්‍යා පරමා ලාභා” යන්න ප්‍රායෝගිකව පවත්වා ගැනීමට නිර්මාංශික දිවිය ඔබට ඉවහල් වනු නොඅනුමානය. නිර්මාංශික පුද්ගලයන්ගේ සෞඛ්‍ය පිළිබදව මේ වන විට ලෝකයේ සිදු කර ඇති පරීක්ෂණ මගින් විද්‍යාත්මකව තහවුරු කරගත් කරුණු බොහෝමයක් පවතියි. එම කරුණු වලට අනුව පෙනී යන්නේ නිර්මාංශ පුද්ගලයන්ට රෝග රැසකින් ආරක්ෂා වීමට හැකි බවයි. විශේෂයෙන්ම සම්පූර්ණ නිර්මාංශික පුද්ගලයන් ප්‍රමාණවත් තරමේ සිහින් සිරුරකට හිමිකම් කියනා බැවින් ඔවුනට ස්ථූලතාවය, අධික තරබාරුව වැනි තත්ව සාර්ථකව මග හරවාගත හැකිය. සමස්තයක් වශයෙන් ඔවුන්ගේ රුධිර පීඩනයද සාමන්‍ය මට්ටමක පවත්වා ගත හැකි බැවින් ඔවුන්, අධිරුධිර පීඩනය වැනි තත්ව ද සාර්ථකව මගහරවා ගන්නා පිරිසක් වේ. මේ නිසා ඔවුන්ට අමතර ව්‍යායාම කීරීම වැනි කටයුතු වලට යොමු වීමට තරම් කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඔවුන්ගේ මානසික ශක්තිය ද ඉතා ඉහල බව පරීක්ෂණ තොරතුරු වලින් මේ වන විට අනාවරණය කර තිබේ.
හෘදයාබාධ අවම කරයි
නිර්මාංශික ආහාර තම ජීවන රටාවට එකතු කරගැනීම තුළින් ප්‍රධාන ලෙසම හෘදය ආශ්‍රිත රෝග තරමක් දුරට පාලනය කර ගැනීමේ හැකියාවක් පවතියි. වසරකදි හෘදය ආශ්‍රිත රෝගවලින් මිනිසුන් මිය යාමේ අවදානම මස්මාංශ පරිභෝජනය කරන්නන්ට සාපේක්ෂව, නිර්මාංශික පුද්ගලයන් අතර 24%කින් අඩු බව පෝෂණවේදීහු පෙන්වා දෙති. මීට අමතරව රුධිර ගත කොලෙස්ටරෝල් හා සංතෘප්ත මේද ප්‍රතිශතයද නිර්මාංශ පුද්ගලයන් තුළ අවම බව ඔවුන් පෙන්වා දෙයි. රුධිරගත අඩු ඝනත්වය ලිපොප්‍රෝටීන සාන්ද්‍රණය ඉහල යාම, හෘද්‍යාබාධ ඇතිවීම, අධික රුධිර පීඩනය වැනි රෝගි තත්වයන්ට ගොදුරුවීමේ අවදානම නිර්මාංශික පුද්ගලයන් තුළ ඉතා පහළ මට්ටමක පවතී.
ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගි වේ
මීට අමතරව ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි පිළිකා වර්ග, මලපහ බැහැර කිරිමේ අක්‍රමිකතා, දියවැඩියාව ආදි තත්වයන්ගෙන් ඈත් වීමටත්, එවන් රෝගී තත්වයකින් පෙළෙන අයෙකු නම් රෝගය පාලනය කර ගැනීමටත් නිර්මාංශික ආහාර ප්‍රශංසනීය කර්තව්‍යයක් ඉටු කරනු ලැබේ. මාංශමය ආහාර හරහා ශරීරයට ලැබෙන සියළුම ආකාරයේ පෝෂක ශාකමය ආහාර හරහා ද ලැබෙන බැවින්, “පෝෂක ඌණතා ඇති වේ, කෘෂ වීම් ඇති වේ, නිතර ලෙඩ රෝගවලට ගොදුරු වේ” යනුවෙන් සමාජය තුළ මුල්බැසගෙන පවතින අසත්‍ය කාරණා සඳහා අවධානයක් යොමු නොකල යුතු සේම, ඒවා බැහැර කිරීම ද කළ යුතුය.
සත්ව මාංශ අනුභවය, විශේෂයෙන්ම අමුවෙන් හෝ අවම ලෙස පිසින ලද මාංශ අනුභව කිරීම හේතුවෙන් සතුන්ගේ මාංශපේෂි තුළ ජීවත් වන පණු විශේෂ මිනිසාගේ ශරීරය තුළට ඇතුළු වීම නිසා ආමාශයික, ආන්ත්‍රික, රුධිර ගත රෝගයන්ට ගොදුරු වී මිය යාමේ පවා අවදානමක් ඇතිවේ. එසේම නිධන්ගත රෝගි තත්තවයන් ඇති වීමේ සම්භාවිතාවයක් ද මේ මගින් ඇතිවේ. ඊට අමතරව මස්මාංශ හරහා ශරීරයට ඇතුළු විය හැකි වෛරස, බැක්ටීරියා ආදි ක්ෂූද්‍ර ජීවි විශේෂ හේතුවෙන් විවිධ රෝගි තත්වයන්ට මුහුණ දීමටද මිනිසාට සිදු වේ. නමුත් නිර්මාංශි පුද්ගලයන් හට මෙවන් රෝගි තත්වයන්ට මුහුණදීමට ඇති හැකියාව අවම වීම හේතුවෙන් වඩා නිරෝගි, සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් ජීවිතයක් ගෙවිමට ඇති හැකියාව ඉහළ වේ.
ලෝකය පුරා පැතිර යන කොරෝනා වසංගත රෝගය වැනි මාරාන්තික රෝගී තත්ව සඳහා හේතුවන කොවිඩ්-19 වෛරසය වැළදීමට හේතුවක් ලෙස වවුලන්, සර්පයන් වැනි සතුන්ගේ මාංශ ආහාරයට ගැනීම හේතු වන බවට ඇතැම් විද්‍යාඥයන් මත පල කරයි. නිර්මාංශ වීම තුලින් මෙවැනි භයානක අවදානම් තත්වයන් ද වළක්වා ගත හැකිවේ.
සොබාදහමට ආදරය කරන අයෙක් බවට පත්වේ
නිර්මාංශ වීම යනු, එක අතකින් තමන් ප්‍රාණගාතයක් සඳහා දිරි දෙන්නෙක් නොවන්නා සේම, තවත් අතකින් මේ සොබාදහම තුළ අපට සේම ජීවත් වීමට අයිතිය ඇති අහිංසක සත්වයෙකුට ජීවත්වීමට වරම් දෙන්නා වූ යහපත් චේතනාවකි.
ආර්ථිකමය වශයෙන් ගත්කළ නිර්මාංශ ආහාර වලට සාපේක්ෂව, මස් මාංශ වල මිල ගනන් සසදා බැලීමේදී සාපේක්ශව ඉතා අඩු මුදලකට, පෝෂණයෙන් ඉහල ගුණදායි ආහාරවේලක් නිර්මාංශිකයෙකුට ලබාගත හැකි වේ. එමෙන්ම, රෝග පීඩාවන්ට ගොදුරු වීමේ ඉතා අඩු සම්භාවිතාවයක් සමගින් නීරෝගි දිවිපෙවෙතකට හුරුවීමටද ඔවුන්ට ඉඩහසර සැකසේ. අවිහිංසාවාදයට ගරු කරනා පුද්ගලයන් වශයෙන් තවත් සත්වයෙකුගේ ප්‍රාණය නසා ආහාරයකට ගැනීම නුසුදුසු බව බොහෝ දෙනාගේ පුද්ගලික මතය වන බව නොඅනුමානය. මාංශ භක්ශනය අනියමින් සත්ව ඝාතනයට උදව් කිරීමක් ලෙස සැලකිය හැකිය. මේ නිසා සත්ව ඝාතයනයට අනුබල නොදීම සදහා සියලුදෙනාට දායක විය හැකි සරල දානමය මගක් ලෙස නිර්මාංශ වීම හැදින්විය හැකිය.
යම් පුද්ගලයෙක් නිර්මාංශ වී සිටින්නේ නම් හෝ නිර්මාංශ වීමට කැමැත්තෙන් සිටින්නේ නම් මෙම කරුණු කියවා බැලීම යෝග්‍ය වේ. විවිධ ශාකමය ආහාර රැසක් මගින් ශරීරයේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට හැකි අතර ඊට අවශ්‍ය ආහාර වර්ග සුදුසු අයුරින් වෙළදපොලේ අන්තර්ගතව තිබීම ඉතා සතුටුදායකය.
නිර්මාංශ වීමේදී තම පෝෂණ අවශ්‍යතා සහ ආහාර රටා නිවැරදි අයුරින් පවත්වා ගැනීමට පෝෂණවේදියෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් නිසි පරිදි ලබාගැනීම ද, ඔබේ නිරෝගි බව තහවුරු කරගැනීමට උපකාරී වේ.