ජලය යනු සමස්ථ ජීවි ප්‍රජාවටම අත්‍යවශ්‍ය සාධකයකි. භෞතික වශයෙන් ඝන, ද්‍රව හා වායුමය ලෙස අවස්ථා තුනකින් දක්නට ලැබේ. පෘථිවියෙන් 71%ක් පමණ සමන්විත වන්නේ ජලය වන අතර එම ප්‍රමාණයෙන් 96.5%ක්ම සාගර සහ මුහුදු අශ්‍රිතව කරදිය වශයෙන් පවතියි. 2.5%ක පමණ ප්‍රමාණයක් මිරිදිය ලෙස පවතින අතර එම ප්‍රමාණයෙන් 68.7%ක්ම පවතින්නේ අයිස් සහ ග්ලැසියර් ලෙසය. භූගත මිරිදිය ප්‍රමාණය නොසලකා හැරියහොත් මිනිස් පරිභෝජනය සඳහා තිබෙන්නේ ඉන් 1% ටත් වඩා අඩු ජල ප්‍රමාණයකි. මෙම ප්‍රමණයෙන්, බීමට සුදුසු තත්වයේ ජලය පවතින්නේ ඉතාම අවම මට්ටමකය.
මිහිමත ජලය නොමැති වුවහොත් එහි ජීවය සම්පූර්ණයෙන්ම නැතිවී යන බව ප්‍රත්‍යක්ෂය. මිනිසාගේ සහ අනෙකුත් සත්වයන්ගේ මෙන්ම ශාක වල ක්‍රියාකාරකම් සඳහා අවැසි පිරිසිදු ජල ප්‍රමාණය දිනෙන් දින අවම වෙමින් පවතී. මීට ප්‍රධාන හේතුවක් ලෙස ජලය දූෂණය බලපා තිබේ. නමුත් පාරිසරික සහ මිනිස් ක්‍රියාකාරම් බොහෝමයක් නිසා ජල දූෂණය වීම අද වන විට පාලනය කිරීමට අපහසු මට්ටමකට පැමිණ හමාරය.
ලෝකයේ ස්වාභාවික පැවැත්මට හානිවන විවිධාකාරයේ සිදුවීම් පවතී. ඒවා අතරෙන් පරිසර දූෂණය, ජල දූෂණය, වායු දූෂණය සහ ශබ්ද දූෂණය ප්‍රධාන තැනක් ගනියි. මේ අතරින් ජල දූෂණය ලෝකයේ බහුලවම සිදුවන හානියකි.
ජල දූෂණය යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද?
ජලය පවතින ස්ථාන අපවිත්‍ර වීම සරලව ජල දූෂණය ලෙස හැඳින්විය හැකිය. විල්, ගංගා, සාගර, භූ ජලධර සහ භූගත ජලය යනු ජල කඳන් පවතින ස්ථානයන් වේ. බොහෝ අවස්ථාවලදී මේ අපවිත්‍රකරණය පාරිසරික හේතුන්වලට වඩා සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. නමුත් ජලය දූෂණය වීම සහ එහි බලපෑම තනි පුද්ගලයෙකුට නොව ලෝකවාසි සියලුම ජීවින්ට එකසේ බලපානු ඇත.
ප්‍රධාන මූලයන් තුනක් මගින් ජලය දූෂණය විය හැකිය. ඒවා නම්;
-කාර්මික අපද්‍රව්‍යයන්
-කෘෂිකාර්මික අපද්‍රව්‍යයන්
-ගෘහාශ්‍රිත අපද්‍රව්‍යයන් වේ.
කර්මාන්තශාලා මගින් සිදුවන ජල දූෂණය
බොහෝවිට ජල දූෂණයන්ට වැඩිපුරම බලපාන මූලය වන්නෙ කර්මාන්ත අපද්‍රව්‍යයන් වේ. වර්තමානය වන විට බොහෝමයක් කර්මාන්තවල අපද්‍රවයන් කෙලින්ම බැහැර වන්නෙ ජලයටය. විශේෂයෙන්ම ගංගා වලට සහ මුහුදට මෙවැනි අපද්‍රව්‍යයන් බැහැර කිරීම විශාල කර්මාන්තශාලා වලින් බහුලව සිදුවේ. ඔවුන් කිසිදු පිරිපහදුවකින් තොරව
පරිසරයට අහිතකර අපද්‍රව්‍යයන් රැසක් ජලයට කෙලින්ම බැහැර කරයි.
රසායනික කර්මාන්තශාලා, වානේ කර්මාන්තශාලා, හම් කර්මාන්තශාලා, රබර් කර්මාන්තශාලා, රෙදිපිළි සැකසීමේ කර්මාන්තශාලා ආදී බොහෝමයක් කර්මාන්තශාලා වලින් ඉතාමත් අධික විෂ සහිත ධූලක ජලයට මුදා හරිනු ලබයි. මේවා අතර තීන්ත, ප්ලාස්ටික්, කුඩා අංශු ලෙස පවතින ලෝහයන් සහ මිනිස් ශරීරයට විෂ සහිත වෙනත් ක්ෂුද්‍ර ජීවීන් සහිත අපද්‍රව්‍ය ද අඩංගු වේ. ජල මූලාශ්‍ර ඔස්සේ මිනිසාගේ සහ සත්ත්වයන්ගේ ශරීර වලට මෙම අහිතකර සංයෝග ඇතුලු වූ විට, නොයෙක් මාරාන්තික රෝගී තත්වයන් ඇතිවේ. පරිසරයට මේවා මුදාහැරි විට අධික දුර්ගන්ධය, සුපෝෂණය වැනි තත්ව ඇතිවේ.

කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සිදුවන ජල දූෂණය
වර්තමාන කෘෂිකර්මාන්තය තුළද ජල දූෂණය සිදු වනු දැකිය හැකිය. බෝග වගාව, සත්ත්ව පාලනය ආදිය තුළ දී විවිධ රසායනිකයන් සහ සත්ත්ව අපද්‍රව්‍ය ජලයට කෙලින්ම මුදා හැරීම මේ වන විට සුලබව දැකිය හැකි ගෝලීය ගැටලුවකි. කෘෂිකර්මාන්තයේදී එකතු කරන; පළිබෝධ නාශක, රසායනික පොහොර, කාබනික පොහොර ආදිය මඟින් ජලය විශාල ප්‍රමාණයෙන් දූෂණය වේ. මෙම කරුණු නිසා මිනිසුන් පරිභෝජනය කරන ආහාරවලට විෂ එකතු වීම, ජලජ ශාක විනාශ වීම, ජලජ ජීවින්ට හානි වීම මෙන්ම ජල මූලාශ්‍ර ආශ්‍රිතව අධික දුර්ගන්ධයක් හැමීම ද සිදු වේ.
ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය හරහා සිදුවන ජල දූෂණය
ගෘහාශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් ද සැළකිය යුතු ආකාරකින් ජල දූෂණය සිදු වේ. කැලිකසල, මළ අපද්‍රව්‍ය, නොදිරන ද්‍රව්‍ය ආදිය ජලයට මුදා හැරීමෙන් ජලය අපවිත්‍ර වේ. බොහෝවිට මෙම තත්ත්වය වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නෙ නාගරික නිවෙස් ආශ්‍රිතවය. ඉඩකඩ අවම ලෙස තිබෙන නිවාස, නිවාස සංකීර්ණ, ජලාශ්‍රිතව තිබෙන නිවාස සහ අනවසර නිවාස බොහොමයක් වර්තමානය වන විට නාගරිකව ඉදි වී තිබේ. මේ නිසා එම නිවෙස්වලින් බැහැර වන අපද්‍රව්‍යයන් නගර සභාව හරහා එකතු කරගැනීම සිදු වුව ද, බොහෝවිට සිදු වන්නේ ඒවා අක්‍රමවත් ලෙස නිවෙස් මගින් බැහැර කිරීමයි. මේ නිසා කාණු පද්ධති අවහිර වීම ද, ජලය අපිරිසිදු වීම ද, මදුරුවන් බෝවීම නිසා ලෙඩ රෝග ද ඇතිවේ.
ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව තුළද නිසියාකාර සනීපාරක්ෂාවක් නිවෙස්වල නොමැති වීම ඉතාම කණගාටුදායි සිදුවීමකි. ඇතැම් පුද්ගලයන් තම නිවෙස් වල ඇති වැසිකිළි වල පිටාර නල ආදිය කෙලින්ම ජලාශ වලට යොමු කරයි. මෙනිසා ජල මූලාශ්‍ර වලට විෂබීජ රාශියක් ද එකතුවන අතර එනිසා බොහෝ රෝග ආදිය ද පැතිර යාම සිදුවේ.
මෙම ක්‍රමයන් වලට අමතරව ජලය දූෂණය වන තවත් ආකාර බොහෝමයක් පවතී.

පතල් කැණීමේදී සිදුවන ජල දූෂණය
පතල් කැණීමේදී වහනය වන ජලය බෙහෙවින් ආම්ලිකය. මේ නිසා ඒ ආශ්‍රිතව වෙසෙන ජලජ ජීවින් මියයාම සිදු වේ. එයට හේතුව වන්නෙ ආම්ලික ජලය මත්ස්‍යයින්ට හා ජලජ ජීවින්ට අහිතකර වීමයි. එසේම කාබනික ද්‍රව්‍ය බිඳ හෙලිය හැකි, ජලයේ ජීවත් වන ස්වාභාවික ක්ෂුද්‍රජීවීන් විනාශ වීම නිසා ජලයේ ස්වයං පිරිපහදු ක්‍රියාවලිය අඩාල වේ.
සත්ත්ව ගොවිපළවල් ආශ්‍රිතව සිදුවන ජල දූෂණය
කෘෂිකර්මාන්තයේ දී මෙන්ම සත්ත්ව ගොවිපළවල් ආශ්‍රිතව ද ජල දූෂණය ඉතාම වැඩි වශයෙන් සිදුවේ. මෙහි දී ප්‍රධානවම සිදු වන්නේ, සත්ත්ව මළ පහ ජලාශ වලට එක්වීමයි. අක්‍රමවත් ලෙස සත්ත්ව මළ සහ සත්ත්ව කොටස් විශාල ගංගා වැනි ජලාශවලට මුදා හැරීම ඇතැම් පුද්ගලයන් මගින් සිදු කෙරේ. මෙනිසා ජලය බොහෝ දූෂණයකට ලක්වේ.
විකිරණශීලී ද්‍රව්‍ය මඟින් ජලය දූෂණය වීම
ලෝකයේ දැනට න්‍යෂ්ටික බලාගාර එකසිය පනහක් පමණ ඇති අතර තවදුරටත් එවැනි බලාගාර ඉදිවෙමින්ද පවතී. මෙම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී හුමාලය නිපදවීමටත් පද්ධති සිසිල්ව තබා ගැනීමටත් ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ නිසා න්‍යෂ්ටික බලාගාර බොහෝමයක් පිහිටා තිබෙන්නේ ජලාශ්‍රිතවය. මෙම බලාගාර නිසා ජලය දූෂණය වීම මෙන්ම දීර්ඝ කාලීනව මිනිස් ජීවිතවලට හානි සිදු වීම් ද සිදුවේ.

සුපෝෂණය නිසා සිදු වන ජල දූෂණය
සුපෝෂණය යනු කෘතීම පොහොර සහ කැළිකසල මෙන්ම අපජලයේ තිබෙන ඇතැම් පෝෂක කොටස් නිසා ඇල්ගී සහ වෙනත් වල් පැළෑටි වල සීග්‍ර වර්ධනය වීම සිදු වීමයි. මෙම ඇල්ගී වර්ධනය නිසා ජලයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වන අතර එම නිසා මත්ස්‍යයන් මිය යාමද සිදුවේ. එසේම එම ජලය අධිකව අපවිත්‍ර වේ. සුපෝෂක තත්ත්වය අද වන විට මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑම නිසා වේගයෙන් සිදුවේ. මෙසේ වැවෙන ඇතැම් ඇල්ගී ඉතාම විෂ සහිත ඒවා වේ. ඇල්ගී වර්ධනයට සහ සුපෝෂණයට බෙහෙවින් බලපාන මූලද්‍රවය වන්නේ, පොස්පරස් වන අතර රෙදි සෝදන කුඩුවල, රසායන පොහොරවල සහ සත්ත්ව පොහොරවල පොස්පේට් අඩංගු වේ. මේවා ජලයට මුදා හැරුණු විට සුපෝෂණය ඇති වී ජලය දූෂණය වේ.
ශ්‍රී ලංකාව තුළ සුපෝෂණයට ලක් වූ ප්‍රධාන ජලාශයක් ලෙස බේරේ වැව දැක්විය හැකිය. සුපෝෂණයට ලක් වූ ජලාශ යථා තත්ත්වයට පත් කිරීමට දිගු කාලයක් සහ විශාල මුදලක් වැය වේ. නමුත් ඒවා පිරිසිදු කිරීම තුලින් ඊට වඩා බොහෝ වටිනා වාසීන් රැසක් අත් කරගත හැකිය.
භූගත ජල දූෂණය වීම
මෙහිදී සිදුවන්නේ, මිනිසා විසින් මුදාහරින රසායනිකයන්, විෂ සහිත ද්‍රව්‍යන් වැසි ජලය සමඟ භූගත වීමයි. බැර ලෝහ විශාල ප්‍රමාණයක් භූගත වීමේ අවසන් ප්‍රතිඵලය වන්නෙ ජලයට විස සහිත සංයෝග මුසු වීමයි. මේ නිසා භූ ජලය විනාශ වේ. මෙනිසා භූගත ජලය ලබා ගැනීමේදී (ළිං හෑරීම, විදීම) වැනි කටයුතු වලදි, වගාවන් සහිත ප්‍රදේශ ආශ්‍රිතව ඒවා සිදු නොකිරීමට වග බලා ගත යුතුය.
තෙල් ඉහිරුම් නිසා ඇතිවන ජල දූෂණය
තෙල් ඉහිරුමක් සිදුවූ විට, එහි බලපෑම සිදුවූ ස්ථානයේ සිට විශාල ප්‍රදේශයකට පැතිර යයි. කර්මාන්ත ශාලාවලින් බැහැර වන තෙල් මෙන්ම වෙනත් ආකාරවලින් ද ජලයට තෙල් මුසු වේ. තෙල් නිධි පවතින්නේ භූගතවය. ඇතැම් නිධි ස්වාභාවික වන අතර කෘතීම නිධි ද පවතී. මේවා ක්‍රමවත්ව, සැලසුම් සහගතව ලබා නොගැනීම නිසා තෙල් ඉහිරුම් සිදු වේ. මෙය වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ මුහුද ආශ්‍රිතවය. එසේම, මුහුදු ගමනාගමනයේදී එම නැව් සහ බෝට්ටු වලින් මුදාහැරෙන තෙල් නිසා ද මුහුදු ජලය දූෂණය වේ. මෙය ජලජ ජීවින්ට, මුහුදු පක්ෂීන්ට සහ මුහුදු පැලෑටිවලට විශාල තර්ජනයකි. තෙල් ටැංකි සහ තෙල් විදුම් අනතුරු නිසා මුහුදු ජලය දූෂණය වේ. ලෝකයේ සිදු වූ දරුණුතම තෙල් අනතුර ලෙස 2010 අගෝස්තු මස ලුසියානා මුහුදු තීරයෙන් සැතපුම් පනහක් ඔබ්බෙන් පිහිටි තෙල් නෞකාවක් වන’ඩීප්වෝටර් හොරයිසන්’ පුපුරා යාමෙන් සිදු වූ අනතුර දැක්විය හැකිය. එක් දිනක් ඇතුළත තෙල් ගැලුම් ලක්ෂ දෙකක් පමණ මෙනිසා මුහුදට එක් විය.

ප්ලාස්ටික් පොලිතීන්
වර්තමානය වන විට ජලය දූෂණයට ඇති ප්‍රබලම හේතුවක් වන්නේ, ප්ලාස්ටික් සහ පොලිතීන් වැනි දිරාපත් නොවන අපද්‍රව්‍යයන් මුහුදට ඒකරාශී වීමයි. ඇතැම් මුහුදු සහ සාගර මතුපිට ජලය වෙනුවට දැකිය හැකි වන්නේ ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතින්ය. මේ හේතුවෙන් කරදිය ආශ්‍රිත සතුන් බොහෝමයක් මරණයට පත්වී සිටියි. ඇතැම් සත්ත්ව විශේෂ මේ හේතුවෙන්, මිහි මතින් වඳවී යාමේ තර්ජනයට ද ලක්ව සිටියි.
ලොව ගැඹුරුම ස්ථානය ලෙස හදුන්වන මරියානා ආගාධයේ ද මේ වන විට ප්ලාස්ටික් දැකිය හැකි බව පර්යේෂකයන් විසින් පවසයි.
මෙම නොදිරන ද්‍රව්‍ය නිසා සාගර ජීවින්ට ඉතාම ඛේදනීය ලෙස තර්ජනයක් වී හමාරය. ඔවුන් ආහාරයට ගන්නා ඇතැම් කොටස් සමඟ ප්ලාස්ටික්, පොලිතින් ද එක්ව තිබේ. එසේම, ප්ලාස්ටික් පොලිතීන් ආහාරයට ගැනීමට අමතරව මුහුදු ජීවින් ඇතැම් නොදිරන ද්‍රව්‍යවල නොදැනුවත්ව සිරවීම නිසා බොහෝ කාලයක් යනතෙක් දුක් විඳීමට සිදු වේ.
මේ පිලිබඳව සිදු කළ පරීක්ෂණයක අවසානයේ තීරණය වූයේ, මෙම ක්‍රියාවලියට නිසි පියවර නොගතහොත්, මිනිසා විසින් නිර්මිත කසළවල දූෂණයෙන් මිදුණු සාගර පරිසර පද්ධති, මිහිමතින් තුරන් වීමට බොහෝ සේ ඉඩ ඇති බවයි.

ජල සංරක්ෂණය කළ යුතු ක්‍රම මොනවාද?
• කර්මාන්ත අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම.
• අපරික්ෂාරී ලෙස පලිබෝධ, රසායනික ද්‍රව්‍ය ජලයට බැහැර නොකර ක්‍රමවත්ව ඒවා බැහැර කිරීම. එසේම විෂ බවින් අඩු රසායනිකයන් නිෂ්පාදනය කිරීම සහා ඒවා ගොවීන්ට හඳුන්වා දීම.
• ප්ලාස්ටික්, පොලිතින් සහ නොදිරන ද්‍රව්‍ය කිසිවිටෙකත් ජලයට බැහැර නොකිරීම. ඒ සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීම. එම ද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරණය සහ පරිසර හිතකාමී ද්‍රවය මගින් ඒවා ප්‍රතිස්ථාපනය කිරීම.
• මහජනයාව දැනුවත් කිරීම හා ඔවුන්ට ජලය අපතේ නොහැරීමට අවශ්‍ය නව ක්‍රම හඳුන්වා දීම.
• මහජන සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම.
• පාංශු සංරක්ෂණය සඳහා දැඩිව ක්‍රියාමාර්ග ගැනීම.
• අපජලය පිරිපහදු කර නැවත භාවිත කළ හැකි ආකාරයට සකස් කිරීම.
• ජල පෝෂක සහිත ගස් සිටුවීමේ ව්‍යාපෘති ඇරඹීම. වනාන්තර නිර්මාණය කිරීම.
• වැසි ජලය සංරක්ෂණය කිරීම.
• නිවෙස්වලින් බැහැර කරන අපජලය නිවසේම ජීව කොටුවකට බැහැර කිරීමෙන් වගාවන් සඳහා භාවිත කළ හැක.
• අධික ලෙස ජලය පරිභෝජනය වන ස්ථාන සොයා බලා, ඒවාට නව ක්‍රම හඳුන්වා දීම.
• ගංගා හෝ ජල කඳන් ආශ්‍රිතව ගොඩනැගිලි නිවාස ඉදිකිරීමෙන් වැළකීම.
• සීමාව ඉක්මවා පතල් කැණීම්, වැලි ගොඩ දැමීම් වැළැක්වීම.
දූෂිත ජලය භාවිත කිරීම නිසා මිනිසාට සිදුවන බලපෑම් මොනවාද ?
ජලයෙන් තොරව මිනිසාට හෝ කිසිඳු ජීවියෙකුට ජීවත් විය නොහැකිය. ජලය එතරම්ම ජීවියා සමඟ බැඳී පවතී. නමුත් මිනිසාගේ වගකීම් විරහිත ක්‍රියාවන් නිසා ජලය පිළිබඳව ගැටලුවක් මතු වී ඇත. මෙහි තවත් එක් ප්‍රධානම බලපෑමක් වන්නේ රෝගවලට ගොදුරු වීමයි. මෙම රෝග බෝ නොවන රෝග සහ බෝ වන රෝග ලෙස වර්ග කළ හැකිය.
දූෂිත ජලය නිසා පැතිරෙන ලෙඩ රෝග
උදරාබාධ,ලේ අතීසාරය,පාචනය,මී උණ,සෙංගමාලය,කොළරාව,මැලේරියාව, ස්වසන ආබාධ, හෘදවාහිනි ආශ්‍රිත ආබාධ, පෙනහළුවලට හානි වීම, විවිධ පිළිකා තත්ත්වයන්, දන්ත රෝග, චර්ම රෝග මෙන්ම අද වනවිට ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වලට බලපා ඇති වකුගඩු ආබාධයට ද මූලිකවම බලපා ඇත්තේ දූෂිත ජලය භාවිත කිරීමයි.
ජලය සංරක්ෂණය කළ යුත්තේ ඇයි?
ලෝකයේ දැනට ජල හිඟය නිසා ජනතාව බිලියන දෙකක් පමණ පීඩා විදින බවට වාර්තා වේ. නොමිලේ හෝ මිලට ගෙන ජලය පානය කිරීම වෙනුවෙන් දිනකට පැය කිහිපයක් බලා සිටින්නට සිදුවන මිනිසුන් ලෝකයේ ජීවත් වන බව ඔබ විශ්වාස කරනවාද ? මෙම ගැටලු වලට මුලික හේතුවක් වී තිබෙන්නේ පවතින ජල මූලාශ්‍ර අධික ලෙස දූෂණය වීමයි. සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් ජල සම්පත රැකගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.
• ජලය සංරක්ෂණය කිරීම මඟින් ජලය හා ජල හිඟයේ බලපෑම අවම කරයි.
• අපේ පරිසරය ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.
• බෝවන ලෙඩ රෝග මෙන්ම බෝ නොවන ලෙඩ රෝග බොහෝමයකින් ආරක්ෂා විය හැකිය.
• අනාගතයේ දී ජලය ආශ්‍රිතව ඇතිවිය හැකි බොහෝමයක් ගැටලුවලට විසඳුම් ක්‍රමවත්ව ජල සංරක්ෂණය මඟින් විසඳා ගත හැකිය. වගකීම් විරහිතව ජල දූෂණයට දායක වන්නේ නම්, අනාගතයේදී ජල බිඳකට විශාල මුදලක් වැය කිරීමේ ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට මිනිසාට සිදු වුවහොත් එය පුදුමයට කරුණක් නොවිය හැකිය. එම නිසා අද සිටම ජලය දූෂණය වළක්වා, ජල සම්පත ආරක්ෂා කිරීමට දායක වීම අප කාගෙත් වගකීමකි.
