Greenhopes-Amlapowder
Greenhopes-
myherbals
Myherbals-Capsules

රස ගුණ පිරි ගොටුකොළ

You are currently viewing රස ගුණ පිරි ගොටුකොළ

ගොටුකොළ

Plantae (ප්ලාන්ටේ) රාජධානියට අයත් බොහෝ වටිනා ශාකයන් අතුරින්, Centella asiatica යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ඖෂධීය පැලෑටිය, Indian pennywort, Asiatic pennywort, Thankuni ආදී විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. මැඩගස්කරය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, හා දකුණු අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල මෙම පැලෑටිය දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාව තුළ මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ ‘ගොටුකොළ’ යන නාමයෙනි. ශ්‍රී ලංකාවේ ඕනෑම පස් වර්ගයක් තුළ ඉතාමත් සරුවට වැඩෙන ගොටුකොළ, ඕනෑම ගෙවත්තක සුලබව දැකගත හැකිය. එසේම මෙම පලා වර්ගය තෙතමනය සහිත ස්ථානවල වඩාත් හොඳින් ව්‍යාප්ත වන භූගත කඳක් සහිත කුඩා ධාවකයකි. අමතර පොහොර යෙදීමක් හෝ ආයාසයක් නොදරා හොඳ සාරවත් අස්වැන්නක් නෙලාගත හැකි ඖෂධීය ශාකයක් ලෙස නිතැතින්ම මෙය හැඳින්වීමට හැකි ය.

මෙම පැළෑටි වර්ගයේ ප්‍රභේදයන් කිහිපයක් හඳුනාගෙන ඇති අතර කුඩා පත්‍ර සහිත ප්‍රභේදය ‘හීං ගොටුකොළ’ ලෙසත්, විශාල පත්‍ර සහිත ප්‍රභේදය ‘මහ ගොටුකොළ’ලෙසත් හඳුන්වනු ලැබේ. “බෙහෙත් ගොටුකොළ”, “වෙල් ගොටුකොළ” යන නම් වලින් ද ලංකාවේ ඇති ගොටුකොළ වර්ග හදුන්වයි.

ගොටුකොළ-Gotukola-www.herbalvoice.lk

අන්තර්ගත පෝෂක

අතීතයේ සිටම පැරැණ්ණන් ගොටුකොළ පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් ලෙස සැලකූ අතර, වර්තමානය වන විට ගොටුකොළ, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, තන්තු, විටමින් A, විටමින් G, විටමින් K, මැග්නීසියම්, යකඩ ඇතුළු පෝෂක ද්‍රවයන් රාශියකට හිමිකම් කියන ස්වභාවික ආහාරයක් බව විද්‍යාත්මකව හඳුනාගෙන ඇත.

ගොටුකොළ ශරීරයට ලබා දෙන ප්‍රතිලාභ

ගොටුකොළ ආහාරයට ගැනීම තුළින් බුද්ධිය සහ ධාරණ ශක්‍තිය වර්ධනය වන බව අතීතයේ සිට ශ්‍රී ලාංකිකයන් දැන සිටි කරුණකි. මීට අමතරව ඔබ දන්නා සහ නොදන්නා ප්‍රතිලාභයන් රාශියක් ගොටුකොළ මඟින් ඔබට ලබාදෙන බව මේ පිළිබඳව අධ්‍යනය කිරීමේ දී හඳුනා ගත හැකි ය.

පණු රෝග, සෙම් රෝග, ශරීරයේ දැවිල්ල, බිළිඳුන්ගේ කැස්ස ආදී ශරීරගත රෝගාබාධයන් රාශියකට සුව සැලසිය හැකි වටිනා හෙළ ඔසුවක් ලෙස ගොටුකොළ හඳුන්වා දිය හැකිය. ඊට අමතරව ඇස් පෙනීමට සහ සමස්ත අක්ෂි සෞඛ්‍යයටම ගුණ දෙන ඖෂධයක් ලෙසත්, ඔබ බොහෝ මුදල් වැයකර රසායනික ද්‍රව්‍යයන් භාවිත කර, ශරීරයට හානි පමුණුවාගෙන සිදු කරගැනීමට උත්සහ කරන සම පැහැපත් කිරීමේ ක්‍රියාවලියට ද ඉතාමත් සුදුසු ස්වභාවික සහ ගුණාත්මක ඔසුවක් ලෙසත් මෙම මහඟු ඖෂධය හඳුන්වා දිය හැකි ය. එමෙන්ම නිරෝගී සහ සුන්දර කෙස් කළඹක් ලබා ගැනීමට ද ගොටුකොළ උපකාරී වේ. හිසකෙස් සඳහා තිබෙන සත්කාරයන් තුළදී අභ්‍යන්තර මෙන්ම බාහිර ආලේපන සඳහා ද ගොටුකොළ යොදාගන්නා අවස්ථා දක්නට ඇත.

කුඩා දරුවන්ගේ කටහඬ මිහිරි කිරීමටත්, කුඩා දරුවන් සිටින මව්වරුන්ගේ මව්කිරි වැඩීමටත් ගොටුකොළ උපකාරී වේ. මුත්‍ර වර්ධකයක් ලෙස ක්‍රියා කරන ගොටුකොළ මුත්‍රා මාර්ගයේ ආසාදන වැළැක්වීමට ඉතාමත් ගුණදායක වේ.

මීට අමතරව දියවැඩියාව, ඇඳුම, රක්ත වාතය, උපදංශය, ලාඳුරු වැනි රෝග තත්ත්වයන්හිදීත්, ඇඳුම, ප්‍රදාහයන් සහ අක්මා රෝග තත්ත්ව වලදීත්, එම රෝග තත්ත්වයන් සමනය කිරීමට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සුවිසල් දායකත්වයක් සපයනු ලබන වටිනා ඔසුවක් ලෙස ගොටුකොළ හැදින්විය හැකිය. උගුරෙහි සෙම ඉවත් කිරීම සඳහා ද ආයුර්වේදය තුළ දී මෙම ඔසුව යොදාගනු ලබන අතර, ගොටුකොළ මුල් කුඩු කර සාදාගන්නා පව්ඩරය, නාසාරන්ධ්‍ර ඉදිමුමට ප්‍රතිකාරකයක් බව ආයුර්වේදය පෙන්වා දෙයි. ගොටුකොළ සහ වැල්මී කසාය උණ, පාචනය /අතීසාරය සඳහා ඔසුවක් බව ද ආයුර්වේදය පෙන්වා දෙයි.

කැස්ස ඇති රෝගීන්ට ගොටුකොළ සහ රතුළූණු ගුණදායක ය. අපස්මාරය, අර්ශස් රෝග සහ මොළයේ ආබාධ ඇතුළු රෝග රාශියකට ගොටුකොළ ඇසුරින් සකස් කරනු ලබන ඖෂධ රාශියක් ආයුර්වේදය තුළ ඇත. රුධිර සංසරණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට හිතකර වන ගොටුකොළ අධි රුධිර පීඩනයට ද ඖෂධයක් ලෙස ගත හැකි ය. උණ හා පීනස් තත්ත්වයන් පාලනයට ගොටුකොළ තේ (Gotukola tea) මහඟු ඔසුවකි.

නව යොවුන් වියේ දරුවන්ට මෙන්ම ඕනෑම වයසක ගැහැණු, පිරිමි දෙපිරිසටම බොහෝ ගුණ දෙන ශාකයක් ලෙස ගොටුකොළ හදුන්වාදිය හැකි ය. ඉහළ ශක්තිජනක ආහාරයක් වන ගොටුකොළ, මානසික පීඩනය දුරු කිරීමට හා සුවබර නින්දක් ලැබීමට ද හේතුවන ඵලදායි ඖෂධයකි.

මේ අනුව සලකා බලන විට, ගොටුකොළ ඔබේ ශරීරයේ හිසේ සිට පාදාන්තය දක්වා ලබාදෙන ගුණය හා සුවය හේතුවෙන් එය ආයුර්වේදය තුළ දී විශිෂ්ඨ ඖෂධයක් ලෙසින් හඳුන්වනු ලබන අතරම එදිනෙදා භාවිතයට සුදුසු ඉතාමත් රසවත් සහ ගුණවත් ස්වභාවික පලා වර්ගයක් ලෙසින් ද හඳුන්වා දිය හැකිය.

ගොටුකොළ තේ

ආයුර්වේදය තුළ ද විවිධ රෝගාබාධයන් සඳහා නොයෙකුත් ක්‍රමවේදයන්ට අනුව ගොටුකොළ සකස් කරගන්නා අතර, නූතන සමාජය තුළ ගොටුකොළ වියළා සකස් කරගන්නා ලද ගොටුකොළ තේ (Gotukola tea) වලට ද වැදගත් ස්ථානයක් හිමි වේ. ගොටුකොළ කැඳ පිළියෙළ කරගැනීමට ඔබට වේලාවක් නොමැති නම් වෙළදපොලෙන් පහසු මිලට ලබාගැනීමට ඇති “ගොටුකොළ තේ” භාවිත කරන්න. ගොටුකොළ වල ඇති පෝෂ්‍ය පදාර්ථ එලෙසින්ම පවතින සේ සැකසූ මෙම පානය ඔබට නිරෝගි බව අත්කර දෙනු නිසැකය.

ගොටුකොළ තේ -Gotukola Tea- www.herbalvoice.lk

ගොටුකොළ සාරය පිරි බෙහෙත් කරල්

ශරීරයට විවිධ අතුරු ආබාධ ඇති කරමින් නිෂ්පාදිත බෙහෙත් කරල් වර්ග වෙනුවට ස්වාභාවික ගොටුකොළ සාරයෙන් නිපදවූ බෙහෙත් කරල් දැන් වෙළදපොලෙන් මිලට ගැනීමට ඔබට හැකියාව පවතියි. මෙම කරල් භාවිතයෙන් ලෙඩ රෝග ගණනාවකට පිලියම් ලබාගත හැකි අතර ආකාර්ශණීය සමක් සහ පිරිපුන් කෙස් කලඹක් ද හිමි කරගත හැකිය.  

ගොටුකොළ- Gotukola Capsules-www.herbalvoice.lk

රස ගුණ සුරැකෙන්න ගොටුකොළ ආහාරයට එකතු කර ගන්නේ කොහොම ද?

අතීතයේ සිට අපගේ මුළුතැන්ගෙය තුළ ගොටුකොළ සකස් කළ ආකාරයන් කිහිපයක් පවතී. ගොටුකොළ මැල්ලුම බත් සමඟ ආහාරයට ගැනීම මෙන්ම ගොටුකොළ කැඳ සාදා පානයට ගැනීම ද ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිතව ඇත. එමෙන්ම පෝෂණ ගුණය ආරක්ෂා වන පරිදි අමු සලාද ලෙස ගොටුකොළ ආහාරයට ගන්නා අවස්ථාවන් ද ඇත. මෙහිදී පොල් සහ රතුළූණු සමඟ ගොටුකොළ ආහාරයට ගැනීමෙන් ඖෂධීය ගුණය ඉහළ යන අතරම, දෙහි ඇඹුල් යෙදීම හේතුවෙන් එම පෝෂක ශරීරයට අවෂෝෂණය කරගැනීමේ හැකියාව ද ඉහළ යයි.

ගොටුකොළ- Gotukola -www.herbalvoice.lk
https://www.bbc.co.uk/food/recipes/gotu_kola_sambol_27863

ගොටුකොළ භාවිතය හැමෝටම සුදුසු ද?

කොතරම් වටිනා ඔසුවක් වුව ද ප්‍රමාණය ඉක්මවා ගැනීම කිසි විටෙකත් සුදුසු වන්නේ නැත. මන්ද යත්, වෛද්‍ය නිර්දේශයකින් තොරව අඛණ්ඩව සති හයක් පමණ ගොටුකොළ අධික වශයෙන් ආහාරයට ගැනීම අක්මාවට හානි පමුණුවන බව පර්යෙෂණාත්මකව අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම ගොටුකොළ අධිමාත්‍රාවන් වශයෙන් ගැනීමෙන් උදරාබාධ, ඔක්කාරය, ප්‍රකාශ සංවේදීතාවය, කැසීම් සහ ආසාද්මිකතා, චර්ම ප්‍රදාහයන්, අලස බව ඇති විය හැකි බව ද වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

එබැවින් එදිනෙදා සාමාන්‍ය භාවිතයන්ගෙන් පරිබාහිරව, විවිධ වූ රෝග තත්ත්වයන් සඳහා මෙවැනි ඔසු භාවිත කරන්නේ නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ නිර්දේශය ලබාගත යුතු ය.

නිරෝගී ජීවන රටාවක් උදෙසා ගොටුකොළ ආහාරයට එකතු කර ගනිමු.

ගොටුකොළ යනු ඔබේ ගෙවත්තේ නිතර දක්නට ඇති සුලබ පලාවර්ගයකි. එමෙන්ම ඒවා පිළියල කරගැනීමට එතරම් කාල වේලාවක් ගත වන්නේ ද නැත. ඒවා අපතේ යාමට හැරීම ඔබ ඔබටම කරගනු ලබන හානියකි. ඔබ අතිශය කාර්යබහුල අයෙක් නම්, කැපූ මැල්ලුම් පැකට් ලෙස ද වර්තමානය වන විට මේවා සුපිරි වෙළඳසල් වලින් මිල දී ගැනීමේ හැකියාව ද ඇත. ඒවා හදුන්වන්නේ “Minimally Processed Foods” හෙවත් අවම ලෙස පිසින ලද ආහාර ලෙසය.

කාර්යයබහුලත්වය හෝ අලස බවට ඔබේ සෞඛ්‍යය සම්පන්න බව අහිමි කිරීමට ඉඩ නො දිය යුතු ය. කෙසේ හෝ මෙම වටිනා ස්වභාවික ආහාරයන් ඔබගේ දෛනික ආහාර වේලට එකතු කර ගැනීම තුළින් ඔබට ලැබෙන නිරෝගී ජීවිතය සහ සතුට වෙනත් කිසිඳු තැනකින් මුදලට ගත නොහැකි බව අවබෝධ කරගත යුතු ය.

වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද අවශ්‍ය බොහෝ දෑ මේ තුළින් ලබාගත හැකි අතර එවිට අනවශ්‍ය ලෙස විටමින් පෙති ගිලීමට සහ රසායනික රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් භාවිත කර මුදල් නාස්ති කිරීමට ද, ඒවායේ අයහපත් අතුරුඵලයන්ට මුහුණ දී පසුතැවීමට ද සිදු නො වනු ඇත. නිසි පරිදි නිසි ප්‍රමාණවලින් ගොටුකොළ අපේ ආහාරයට එක් කරගැනීමෙන් අපගේ ජීවිතයට ප්‍රතිලාභ රැසක් ලබාගැනීම පමණක් නොව, මතු පරපුරට ද ගොටුකොළ පරිභෝජනයේ වැදගත්කම කියා දීම අප සතු යුතුකමක් මෙන්ම වගකීමකි.

 

මේ හා සම්බන්ද නිෂ්පාදන

අදහස් දක්වන්න