ආහාර පිළියෙළ කරගැනීමටත්, රූ සපුව අලංකාර කරගැනීමටත්, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමටත්, කෘතීම සංයෝග වෙනුවට ස්වාභාවික ශාක සාර භාවිතය පිලිබදව වර්තමානය වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ. මේ සදහා උපකාරී වන ශාක බොහෝමයක් ලක් දෙරණ තුළ නිධන්ව ඇත. අතීතයේ සිටම රූ සපුව ස්වාභාවිකව අලංකාර කිරිමට බොහෝ කාන්තාවන් යොදා ගත් එවන් ඖෂධිය ශාකයක් ලෙස කෝමාරිකා හදුන්වා දිය හැකිය. වර්තමානය වන විටත් විශාල වශයෙන් රූපලාවන්‍ය ආලේපන සැකසිමට කෝමාරිකා යොදා ගනු ලැබෙන අතර බොහෝමයක් ලෙඩ රෝග සඳහා ස්වාභාවික ප්‍රතිකාරයක් වශයෙන් ද කෝමාරිකා බහුලව භාවිත වේ. තවමත් මේ පිලිබදව ඔබ නොදන්නා කරුණු බොහෝමයි. මේ ලිපිය තුලින් කෝමාරිකා පිලිබදව ඔබේ දැනුම වර්ධනයට අවශ්‍ය කරුණු නිසැකයෙන්ම ලැබෙනු ඇත.

ඕනෑම පරිසරයක පහසුවෙන් වැඩෙන කෝමාරිකා
Lilliacae කුලයට අයත් කොමාරිකා ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ Aloe barbandensis miller යන්නයි. “First Aid plant” යන නමෙන් විදේශීය රටවල හදුන්වන කෝමාරිකා, අපේ දේශිය වෙදකමේදී මෙන්ම ආයුර්වේද විද්‍යාවේදී; කුමාරි, ගෘහ, කන්‍යා, ගෘත කුමාරි, ස්තුල දාලා, තලාතු පත්‍ර වැනි නම් වලින්ද මෙම ශාකය හදුන්වනු ලැබේ. මෙම ශාකයේ නිජබිම උතුරු අප්‍රිකාව ලෙස සලකන අතර අරාබියේ කාන්තාර ප්‍රදේශවල ද බහුලව ව්‍යාප්ත වී තිබේ. ශ්‍රි ලංකාවේ යාපනය, කල්පිටිය, මන්නාරම සහ කන්කසන්තුරේ ප්‍රදේශ වල බහුලව දක්‌නට ලැබුණ ද, ලංකාව තුල ඕනෑම පළාතක කෝමාරිකා ශාකය පහසුවෙන් වගා කළ හැකිය. අඩියක්,අඩි දෙකක් පමණ උසට පදුරක් ලෙස වැඩෙන කෝමාරිකා ශාකයේ පත්‍ර මාංසල ස්වාභාවයකින් යුක්තයි.
ඉතා සියුම් මුල් මණ්ඩලයක් ඇති කෝමාරිකා, ස්වාභාවික ලෙස වැවෙන්නේ ගල් තලා මතයි. එයට හේතුව වන්නේ ගල්තලා මත පස බුරුල් වී හොදින් පෝෂක කොටස් එක් රැස් වී තිබීමයි. කෝමාරිකා ශාකය හිරු එළියට ප්‍රිය කරන අතර, අධික ලෙස හිරු එළියට නිරාවරණය විම හේතුවෙන් පත්‍ර රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගැනීමට ඉඩ තිබේ. හිරු එළිය නිසි පරිදි නොලැබුනහොත්, පත්‍ර තද කොළ පැහැයක් ගනු ලබන අතර නිසි ප්‍රමාණයෙන් හිරු එළිය ලැබූ විට කෝමාරිකා පත්‍ර ළා කොළ පැහැයක් ගනු ලබයි. එසේම කෝමාරිකා ශාකයේ පැතලි පත්‍රවල (Thorns) දැකිය හැකි අතර එම ලක්ෂණ මගින් කෝමාරිකා වලට දිගු කාලයක් ජලය නොමැතිව වුව ද නොමැරී සිටීමට හැකියාව ලැබේ. හොදින් සෑදුණු කෝමාරිකා පත්‍රයක් සෙන්ටිමීටර දෙකක් පමණ ඝනත්වයක් උසුලයි. වාණිජව කෝමාරිකා වගා කරන විට පාත්ති සහ බදුන් ලෙස කෝමාරිකා වගා කෙරේ. කෝමාරිකා මල්වලින් ලබාගන්නා ඇට සහ ගස් වලින් ඇතිවන කුඩා පැළ හෙවත් මොටයියන් භාවිතයෙන් කෝමාරිකා පැළ බෝ කර ගැනීමට පුලුවන.
ඉපැරණි ශිෂ්ඨාචාර වල පවා ලියැවුණු කෝමාරිකා
අතීතයේ සිටම විවිධ ශිෂ්ඨාචාරයන්ගේ කාන්තාවන් තම රූ සපුව අලංකාර කරගැනීම සඳහා කෝමාරිකා ශාකය භාවිත කොට ආලේපන සකස් කර ඇති බවට සාක්ෂි දක්නට ලැබේ. ඊජිප්තු ශිෂ්ඨාචාරයේ දැක්වෙන සුවිශේෂී චරිතයක් වන ක්ලියෝපැට්රා රැජින, සිය රූ සපුව අලංකාර කිරිමට කෝමාරිකා ඖෂධ යොදා ගත් බවට ඉතිහාසයේ දක්වා තිබේ. එසේම ඊජිප්තුවේ ඉපැරණි පිරමීඩ වල කැටයම් අතර කෝමාරිකා ශාකයට සමාන ශාකයක් කැටයම් කර ඇති ආකාරය දක්නට ලැබෙයි. ඊජිප්තු ශිෂ්ඨාචාරයේ දැක්වෙන මමී කල්තබා ගැනීම සඳහා ඖෂධ සැකසීමට ද කෝමාරිකා සාරය යොදාගෙන ඇති බවට සාක්ෂි පවතී. ක්‍රි.පූ 65 දී පමණ ග්‍රීක ශල්‍ය වෛද්‍යවරයකු වූ ඩයොස්‌කොරයිඩ්ස් විසින් ඔහුගේ ඖෂධීය ශාක සම්බන්ධව රචනා කරන ලද “De materia medica”නම් කෘතියේ, කෝමාරිකා සම්බන්ධව විස්‌තරාත්මක සහ නිවැරැදි තොරතුරු රැසක් පළ කර තිබේ. ග්‍රීසියේ නීරෝ අධිරාජ්‍යාගේ හමුදා සෙබළුන්ට වැළඳුණු උගුර වණ වීම්, පිළිස්‌සුම් වැනි අවස්ථාවල දී කෝමාරිකා ශාකය භාවිත කළ බව මෙහි වැඩි දුරටත් දක්වා තිබේ.
කෝමාරිකා වල අඩංගු ඖෂධීය සංඝටක
කෙසේ වෙතත් කෝමාරිකාවල අඩංගු ‘ඇලෝසීන්’’යනු ඉතා වටිනා ඖෂධීය ගුණයකින් යුක්ත සංයෝගයකි. ඇමයිනෝ අම්ල 22 න් අම්ල 20 ක්ම කෝමාරිකා වල අන්තර්ගතයි. කෝමාරිකා වල පත්‍රයේ ප්‍රධාන ලෙස ස්ථර තුනක් තිබේ. මෙහි ඇතුල් ස්ථරයේ 99%ක්ම අඩංගු වන්නේ ජලයයි. ඉතිරි 1%ක තුල ඉහත සදහන් කළ ඇමයිනෝ අම්ල, ලිපිඩ, ග්ලුකොමොනාස්, ස්ටෙරෝල සහ විටමින් අන්තර්ගත වේ. මධ්‍යය ස්ථරයේ තිත්ත රසැති කිරි වැනි සංඝටකයක් තිබෙන අතර ග්ලයොසයිඩ සහ ඇන්ත්‍රක්විනෝන් නම් රසායනික සංයෝග අඩංගු වේ. පිටතින්ම ඇති ස්ථරය තුළ කාබෝහයිඩ්‍රේට සහ ප්‍රෝටීන තිබෙන අතර ඒවා මගින් ශාකයේ ආරක්ෂක කෘත්‍ය ඉටු කරයි. එහි විටමින්, ඛනිජ ලවණ, එන්සයිම, සීනි, ලිග්නීන්, සැලිසිලික් අම්ලය වැනි සංයෝග ද අන්තර්ගත වේ.
ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන විටමින් ඒ, සී, ඊ මෙන්ම විටමින් බී12, ෆෝලික් අම්ලය, කෝලීන් වැනි සංඝටක ද කෝමාරිකා වල තිබේ. මෙහි ඇති එන්සයිම වර්ග ලෙස; ඇලියේස්, ඇල්කලයින් පොස්පටේස්, කැටලේස්, ලයිපේස්, පෙරොක්සිඩේස්, ආදිය මගින් ශරීරයේ ඇති සීනි සහ මේදය බිද හෙලිම සිදු කරයි. බ්‍රැඩ්කයිනේස් නම් එන්සයිමය මගින් සමේ ඇතිවිය හැකි අසාත්මිකතා මග හරවයි. කෝමාරිකා වල කැල්සියම්, ක්‍රෝමියම්, සෙලේනියම්, මැග්නීසියම්, සෝඩියම් සහ සින්ක් වැනි ඛනිජ තිබෙන අතර ඒවායින් සමහරක් ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන අතර ඇතැම් ලවණ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා පාලනයට ඉවහල් වේ. මීට අමතරව “ඇල්ප්‍රොජන්” නම් ප්‍රති-අසාත්මික සංයෝගයක් කෝමාරිකා වල අඩංගු වන බවට පර්යේෂණ වලින් තහවුරු කර ඇත. ප්‍රති වෛරස් සහ ප්‍රති-බැක්ටීරියා ගුණයන්ගෙන් පිරි “ඇලොයින්” සහ “එමොඩීන්” නම් සංයෝග ද කෝමාරික වල අඩංගුය. ඔක්සීන් සහ ගිබරලීන් වැනි ශාක හෝමෝන ද මෙහි අන්තර්ගත වේ.
සමේ තෙතමනය රැකගැනීමට කෝමාරිකාවලට විශේෂ හැකියාවක් තිබේ. ආයුර්වේදයේදී කෝමාරිකා හඳුන්වන්නේ තුන් දොස් සමනය කිරීමේ හැකියාවක් සහිත අධික ශීත ගුණයෙන් යුත් ශාකයක් ලෙසයි. බොහෝ විට ඖෂධ ලෙස යොදා ගන්නේ කෝමාරිකා පත්‍රයන් වල ඇති මාංශල කොටස හෙවත් එහි මදයයි. මෙම කෝමාරිකා මදය ගන්නා අවස්ථාවේදි ඔබ බොහෝ විට සැලකිලිමත් විය යුතු කරුණක් පවතියි. එනම්, කෝමාරිකා පත්‍රවල කෙලවරට ආසන්නව කිරි පැහැති ද්‍රාවණයක් පවතින අතර එය තරමක් විෂ සහිතයි. එබැවින් කෝමාරිකා මදය ගන්නා අවස්ථාවේදි එම විෂ සහිත නැතහොත්, අසාත්මිකතා ඇතිවිය හැකි කොටස ඉවත් වන සේ කෝමාරිකා මදය ගැනීමට සැලකිලිමත් විය යුතුයි.
රෝග රැසක් සමනයට කෝමාරිකා
අක්මාව ආශ්‍රිත රෝග වලට මෙන්ම අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්රයිටිස් සමනය සඳහා කෝමාරිකා ඉතාමත් ගුණයි. එය පර්යේෂණ මගින් පවා තහවුරු වි තිබෙන අතර අක්මා රෝග වලින් හා ගැස්රයිටිස් රෝගයෙන් මිදිමටත් කෝමාරිකා ජෙලි ආහාරයට ගැනිම උපකාරී වේ. ඒ තුළින් ආමාශ ගත තුවාල සුව කරගත හැකිය. එසේම සමේ ඇතිවන අලුත් තුවාල හෝ පරණ තුවාල යන සෑම තුවාලයක් සඳහාම ඉක්මනින් සුවය ලබා දිමට කෝමාරිකා වලට හැකියාව තිබේ. කෝමාරිකා ශාකයේ වෙනත් ශාක වලට වඩා සිසිල් ගුණයක් පවතින බැවින් පිලිස්සුම් නිසා ඇතිවන තුවාල හා බිබිලි වලට මෙන්ම දැවෙන තුවාල වලට ප්‍රතිකාර කිරීමට ද සුදුසු වේ. අධික දැවිල්ල ඇති තුවාලයක් මත කෝමාරිකා ආලේප කිරීමෙන් වේදනාව යම්තාක් දුරට සමනය වේ. ශ්‍රී ලංකාව වැනි සමකය ආසාන්න රටවල ජීවත් වන බොහෝ අයගේ සම ඉතාම වියළියි. එවන් වියලි සමකට සාමාන්‍ය තෙතමනයක් ලබාදීමටත්, සමේ ලප කැලැල් මැකීමටත්, කෝමාරිකා ඖෂධයක් ලෙස භාවිත කළ හැකියි. කෝමාරිකා පානයක් ලෙස හෝ ආහාරයක් ලෙස හෝ පරිභෝජනය මගින් ආමාශයේ ඇති ජලය ප්‍රමාණය ඉහල නංවන අතර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ද ඉක්මන් කරයි. පිලිකා නැසීමේ විශේෂ ගුණයන් රාශියක් ද කෝමාරිකා වල අඩංගු වේ. ඊට අමතරව කාන්තාවන්ගේ ඔසප් සමයේ ඇති වන වේදනාවන් සමනය කිරීමට ද කෝමාරිකා වලට පුලුවන්කම් තිබේ.
කෝමාරිකා වලින් සෑදූ පානය දැනට වෙලදපොලේ මිලදී ගැනීමට තිබෙන තර මේ වන විටත් ඒ සඳහා විශාල ඉල්ලුමක් පවතියි.

රූපලාවණ්‍ය සඳහා නැතුවම බැරි කෝමාරිකා
වර්තමානය වන විට වෙලදපොලේ අඩංගු බොහෝමයක් නිෂ්පාදන වල අන්තර්ගත සංයෝගයක් ලෙස කෝමාරිකා සාරය දැක්විය හැකිය. මෙයට හේතුව වන්නේ එහි අඩංගු සුවිශේෂී ගුණයන් ය. සමේ තෙතමනය පවත්වාගැනීමට ඇති හැකියාවත්, සම නීරෝගිව සහ පැහැපත්ව තබාගැනීමට ඇති හැකියාවත්, සමට අසාත්මිකතා ඇතිවීම වැලැක්වීමට ඇති විශේෂ හැකියාවත් හේතුවෙන් කෝමාරිකා, රූපලාවණ්‍ය කටයුතු වලදි නැතුවම බැරි සංඝටකයක් බවට පත්ව තිබේ. කෝමාරිකා සාරය අඩංගු ක්‍රීම්, ජෙල් වර්ග මෙන්ම රෙදි සෝදන දියර, විෂබීජ නාශක දියර ආදියත් දැනට වෙලදපොලේ පවතියි.

කෝමාරිකා අඩංගු ආලේපන භාවිතය මගින් සමට පාරජම්බුල කිරණ මගින් ඇතිවිය හැකි හානි වලක්වාලීමට හැකියාව තිබේ. බොහෝ පුද්ගලයන් හට විවිධ ආකාරයේ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය තුලින් ඇතිවිය හැකි ආසාත්මිකතා නිසා නොයෙක් ගැටලු වලට මුහුණ පෑමට සිදු වී තිබේ. නමුත් කෝමාරිකා අඩංගු නිෂ්පාදන වල මෙවැනි අසාත්මිකතා ඉතා අවමය. කෝමාරිකා මගින් සමේ ඇති කොලැජන් ප්‍රෝටීනය නිපදවීම උත්තේජනය කරන අතර එනිසා සම රැලි වැටීම අවම කොට තරුණ පෙනුම රැක දෙයි. එසේම සමේ ඇති විය හැකි බැක්ටීරියා, දිලීර ආසාදන වලක්වා ඔබට පැහැපත් මෙන්ම නීරෝගි සමක් ලබාදේ. ඔබත් කෘතීම නිෂ්පාදන වෙනුවට මෙවැනි ස්වාභාවික ශාක සාරයන්ගෙන් යුතු නිෂ්පාදන භාවිත කරන්න.
වැඩි වැඩියෙන් කෝමාරිකා වගා කරමු

වර්ථමානය වන විට බොහෝ පිරිසක් කෝමාරිකා වගාවට යොමුව ඇති අතර විවධ වර්ගයේ කෝමාරිකා ප්‍රභේද ද මේ වන විට දක්නට ලැබේ. මේවා අතරෙන් ප්‍රධාන වශයෙන් වගා කරන්නේ ඇලෝවේරා චයිනිග්ස් හා ඇලෝවෙිරා ලිටොරාලිස් යන වර්ග දෙක පමණයි. කොල පැහැ පත්‍රයේ සුදු පැහැති ලප දැකිය හැකි ඇලෝවේරා චයිනිග්ස් වැඩි මාංසල ගතියකින් යුක්තයි. මුහුදු බඩ පෙදෙස් වල බහුලව දක්නට ලැබෙන මාංසල ස්භාවය තරමක් අඩු ශුෂ්ක පෙදෙස් වල ඉතා හොදින් වැඩෙන ඇලෝවෙිරා ලිටොරාලිස් පත්‍ර ඉතා විචිත්‍ර ස්භාවයක් ගනු ලබනවා. ලා කොල, තද කොල සහ රතු පැහැති පත්‍ර සහිත කෝමාරිකා වර්ග ද ලෝකයේ විවිධ ස්ථාන වල දක්නට ලැබේ.
කෝමාරිකා ශාකයට අනවශ්‍ය ලෙස ජලය ලැබිමෙන් දිලිර ක්‍රියාත්මක වී ශාකයේ මුල් කුණු විම දක්නට ලැබෙන සුලබ තත්ත්වයකි. එසේම මෙම ශාකයට වැළදෙන භායානකම රෝගි තත්ත්වය වන්නේ බැක්ටීරියා මුදු කුණු වීම යන්නයි.මෙම රෝගය වැළදුනු පසු පත්‍ර විනිවිධ පෙනිම හා දුර්ගන්ධයක් හැමිම දක්නට ලැබෙන අතර මෙය වැළදුනු පසු එය සුව කිරිමට නොහැකි බැවින් එම ආසාධිත ගස් විනාශ කළ යුතුයි.
මෙරට තුළ ඉතා පහසුවෙන් වැවෙන කෝමාරිකා ශාකය අනිවාර්‍යයෙන්ම පාහේ ඔබේ නිවසේ වගා කරගැනීමෙන් ඕනෑම අවස්ථාවක අත් බෙහෙතක් ලෙස මෙන්ම ස්වාභාවික රූපලාවණ්‍ය කටයුතු සඳහා ද භාවිත කළ හැකි වේ. එසේම කෝමාරිකා ශාකය වැඩි වශයෙන් වගා කිරීම තුලින් විවිධ අගය එකතු කළ නිෂ්පාදනයන් සිදු කල හැකිය. එසේම එවැනි නිෂ්පාදන වලට විදේශ රටවල් වලින් බොහෝ ඉල්ලුමක් තිබෙන නිසාවෙන් ඉතා හොද විදේශ විනිමයක් උපයාගත හැකි කර්මාන්ත්‍යක් ලෙස ද කෝමාරිකා වගාව නම් කළ හැකිය. අපට අගයක් නොමැති නමුත් කිව නොහැකි තරමේ ගුණයන් රැසක් ඇති කෝමාරිකා සාරය තුලින් ඔබත් නීරෝගිමත් දිවියක් අත් කරගන්න.