වර්තමානයේ වෙළඳපලේ වුව ද දක්නට ලැබෙන බොහෝමයක් රූපලාවණ්ය නිෂ්පාදන වල පවා අනිවාර්යයෙන්ම අන්තර්ගත ස්වභාවික ශාක සාරයක් වශයෙන් කොහොඹ හැදින්විය හැකිය. ඈත අතීතයේ පටන් විවිධ ලෙඩ රෝග සඳහා ප්රතිකාර කිරීමට යොදා ගන්නා ලද කොහොඹ ශාකය වර්තමානය වන විටත් බොහෝමයක් දෙනා අතර ප්රසිද්ධියක් උසුලයි. දෙයියන්ගේ ලෙඩ හෙවත් විවිධ වසංගත රෝග හමුවේ විසබීජ නාශනය කිරීම සඳහා ස්වභාවිකව යොදා ගන්නා බෙහෙතක් ලෙස කොහොඹ ශාකයේ පත්ර දැනටත් ගැමි සංස්කෘතිය තුල දැකිය හැකිය. මේ ශාකය තුළ විශාල ගුණයක් අඩංගු වන නිසාම මේ වන විට බොහෝ සබන් වර්ග, ආලේපන වර්ග ආදිය සකස් කිරීම සඳහා ප්රධාන අමුද්රව්යයක් වශයෙන් කොහොඹ යොදා ගනියි. කොහොඹ පැලයක් නිවෙස ඉදිරිපිට වගා කිරීම තුලින් වාසනාව උදාකරගත හැකි බවට ද ඉපැරැණි ජනයා විශ්වාස කරති. මීට අමතරව වගා කටයුතු වල දී මුහුණ දීමට සිදු වන පළිබෝධ හානි ස්වභාවිකව මර්දනය කිරීම සඳහා කොහොඹ ශාකයේ කොටස් යොදාගනියි. තවත් ලෙඩ රෝග ගණනාවක් සඳහා ප්රතිකාර කිරීමට මෙම ශාකයේ සෑම කොටසක්ම පාහේ යොදා ගනී. අතීතයේ සිටම මෙරට සංස්කෘතිය හා බැදුණු චාරිත්රයන් සදහා කොහොඹ ශාකය වැදගත් වන අතර “කොහොඹ කංකාරිය” යනු ලංකාවේ තවමත් නොනැසී පවතින එවන් වැදගත් සංස්කෘතික අංගයකි.
කොහොඹ ශාකයේ ස්වාභාවය
සෘජු කඳක් සහිතව උසට වැඩෙන කොහොඹ ශාකය විහිදුණු අතු සහිත වේ. මෙම ශාකයේ මල සුදු පැහැයක් ගනු ලබන අතර පොකුරු වශයෙන් හටගනී. සෙන්ටි මීටර් දෙකක් පමණ වන කුඩා ගෙඩි මෙහි හටගන්නා අතර ඒවා ඉදුණු පසු කහ පැහැයක් උසුලයි. ශ්රී ලංකාවේ බොහෝ ප්රදේශ ආශ්රිතව කොහොඹ ශාකය වැවෙන අතර වැඩිපුර මෙම ශාකය දැකිය හැකි වන්නේ වියළි කලාපයේ ය. Azadiracta indica යන විද්යාත්මක නාමයෙන් හදුන්වන කොහොඹ අයත් වන්නේ Meliaceae කුලයටයි. ශ්රී ලංකාවට අමතරව ඉන්දියාව, මැලේසියාව වැනි වෙනත් ආසියාතික රටවල ද කොහොඹ ශාකය බහුලව දැකිය හැකිය.
සාමාන්යයෙන් කොහොඹ ශාකය මීටර් පහළොවත් විස්සත් අතර උසකට වැඩේ. එනම් අඩි පනහක් පමණ වන අතර ඇතැම් අවස්ථාවලදී මීටර් හතළිහක් පමණ උසට වැඩෙන කොහොඹ ශාක ද දක්නට ලැබේ. දේවදාර ශාකයට සමානකම් පෙන්වන කොහොඹ ශාකය, ශක්තිමත් කඳක් සහිත වන අතර සෙවන සපයන ශාකයක් ලෙස ජනයා අතර ප්රචලිත වේ. කොහොඹ ශාකය, ඊට ආවේණික තිත්ත රසය සදහාම ප්රසිද්ධියක් උසුලයි. නමුත් මේ ශාකයෙන් ලබාගන්නා සියළුම කොටස් වල වචනයෙන් කියා නිම කළ නොහැකි ඖෂධීය ගුණයන් බොහෝමයක් පවතී.
කොහොඹ මල් වේලා සකසා ගන්නා ලද පානයක් යාපනය ප්රදේශයේ ජනතාව අතර ඉතා ප්රසිද්ධියක් උසුලයි. එසේම කොහොඹ ශාකයේ පොතු, මුල්, කොළ සහ ගෙඩි ආදිය බෙහෙත් වර්ග සඳහා යොදා ගන්නා අතර එම ගෙඩිවල ඇට භාවිත කොට තෙල් සිදීම සිදු කරනු ලැබේ.
ආසියාතික රටවල් වලට අමතරව කොහොඹ ශාකය ඉරානයේ ද දක්නට ලැබෙන අතර ශ්රී ලංකාවේ යාපනය, පුත්තලම, අනුරාධපුරය සහ ත්රිකුණාමලය වැනි වියළි කලාපවල බහුලව වැවේ. මීට අමතරව ශ්රී ලංකාවේ තවත් බොහෝ ප්රදේශවල ගෙවතු ආශ්රිතව ද කොහොඹ ශාකය දක්නට ලැබේ.
කොහොඹ ශාකයේ අඩංගු වැදගත් සංඝටක
කොහොඹ ශාකයේ අඩංගු ඖෂධීය සංඝටක පිළිබඳව ඈත අතීතයේ විසූ පඩිවරයන් මෙන්ම සාමාන්ය ගැමි ජනයා ද දැනගෙන සිටියහ. එහි ඇති ඖෂධීය සංයෝග මගින් මිනිසාට විශාල ප්රයෝජන රැසක් අත්කරගත හැකිය. මේ කරුණු වර්තමානය වන විට විද්යාත්මකව පවා සනාථ වී තිබෙන අතර කොහොඹ ශාකයේ විවිධ ප්රති-බැක්ටීරියා ගුණයන්, විවිධ ප්රතිවෛරස් ගුණයන් මෙන්ම වේදනා නාශක ගුණයන් ද අඩංගු වේ. මිනිස් ශරීරය ආශ්රිත රෝග රැසක් නිවාරණය කිරීමටද, තවත් ප්රයෝජන රැසක් සැපයීමට ද විශේෂ හැකියාවක් කොහොඹ ශාකයට තිබේ. විවිධ පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙන අකාරයට කොහොඹ ශාකයේ තිත්ත රසයට අදාළ ලක්ෂණ හෙවත් විවිධ තිත්ත රසයන් තුනක් අඩංගු වේ. මෙම තිත්ත රසයන් සියල්ලම කොහොඹ ශාකයටම පමණක් ආවේණික වීම විශේෂත්වයකි.
කොහොඹ ශාකයේ අඩංගු වන “ජෙඩුනීන්” නමැති රසායනික සංයෝගය මගින් පිළිකා සෛල විනාශ කරන බවට ද පර්යේෂණ මගින් සනාථ කොට ඇත. මෙම ශාකයෙන් උකහා ගන්නා මැලියම් වල ප්රෝටීන බහුලව පවතින අතර එය ශරීරයට ගුණදායි වේ.
ඔබ ශාකයෙන් එදිනෙදා ලබා ගත හැකි ප්රයෝජන
කොහොඹ කොළ අව්වේ වේලා අල්මාරි සහ වෙනත් ඇඳුම් හෝ හෝ බාන්ඩ අසුරන ස්ථානවල තැබීම මගින් කෘමි උවදුර පාලනය කරගත හැකි බවට පුරාණ ජනයා විශ්වාස කරන ලදී. ඉන්දීය ජනයා තමන්ගේ හින්දු ආගමට සම්බන්ධ විවිධ උත්සව වල දී සැරසිලි කටයුතු කිරීම සඳහා සඳහාද කොහොම ශාක පත්ර යොදා ගන්නා ලදී මීට අමතරව මුස්ලිම් ජනයාගේ අවමංගල අවමංගලය චාරිත්රයක් වශයෙන් මළ සිරුර නැහැ වීම සඳහා කොහොඹ කොළ භාවිත කරයි.
බොහෝ දෙනෙක් නො දැනුවත් නමුත් කොහොඹ ශාකයේ දලූ සහ මල් එළවළුවක් වශයෙන් භාවිතයට ගන්නා අතර ඇතැම් අවස්ථාවල සුප් වශයෙන් ද භාවිත කරයි.
ස්වාභාවික පලිබෝධනාශක ලෙස
මැස්සන් හෝ මදුරුවන් වැනි කෘමි සතුන්ගෙන් එල්ල විය හැකි කරදර අවම කරගැනීම සදහා කොහොඹ තෙල් යොදාගත හැකිය. එලවලු, පලතුරු සහ වෙනත් බෝග වගාවේදී නිරන්තරව ඇතිවන පලිබෝධ හානි සහ රෝග නිවාරණය පිණිස කෘතීම රසායනික පලිබෝධනාශක වෙනුවට කොහොඹ ගෙඩි කුඩු කර ලබාගන්නා සාරය ඉසීම සිදු කල හැකිය. මේ වන විටත් ලෝකය පුරා පිලිගත් කාබනික පලිබෝධනාශකයක් ලෙස කොහොඹ තෙල් හෝ කොහොඹ සාරය අඩංගු ද්රාවණ යොදා ගැනේ. මෙනිසා කෘමීන් බෝග වල බිත්තර නොදමන අතර දින කිහිපයක් ඇතුලත පලිබෝධ හානිය වලක්වාගත හැකිය. කෘතීම රසායනික පලිබෝධනාශක නිසා වගාවේ සිටින ස්වාභාවික සතුරන් පවා විනාශ වන අතර ඒවායේ ඇති ශරීරයට අහිතකර සංඝටක නිසා මිනිස් ශරීරයේ ලෙඩ රෝග රැසක් ද ඇතිවේ. පිලිකා, වකුගඩු රෝග ආදී තත්වයන් හට ගන්නේ මෙවැනි රසායනික පලිබෝධනාශක සහ පොහොර නිසාවෙනි. නමුත් කොහොඹ ශාකයෙන් නිපදවා ගන්නා කාබනික පොහොර වර්ග සහ පලිබෝධනාශක වගාවට යොදාගැනීමෙන් වස විසෙන් තොර ආහාර ලබාගැනීමට හැකිවේ.
වටිනා ඖෂධයක් ලෙස නැතුවම බැරි කොහොඹ
ආයුර්වේද වෛද්ය විද්යාවේදී මෙන්ම යුනානි වෛද්ය ක්රමයේදී ද කොහොඹ වටිනා ඖෂධයක් ලෙස යොදා ගනියි. සමේ රෝග හෙවත් දද, කුෂ්ඨ ආදිය නැසීමට විශේෂ ගුණයක් කොහොඹ වල පවතින අතර කොහොඹ තෙල් මගින් හිසකෙස් නීරෝගිව තබයි. රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කොට දියවැඩියාව වැනි අහිතකර තත්වයන් ඇතිවීම වැළැක්වීමට කොහොඹ ශාකයේ සාරය උපකාරී වේ. මීට අමතරව අක්මාවේ ක්රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ද මෙම ශාකය උපකාරී වේ.
නමුත්, කුඩා දරුවන් සදහා කොහොඹ තෙල් හිස ගැල්වීම ආදිය නොකළ යුතු වන්නේ අසාත්මික තත්වයන් ඇතිවිය හැකි නිසාවෙනි. කම්මුල් ගාය වැනි වසංගත රෝගී තත්වයන් වලින් අයෙක් පීඩා විදින විට එම පුද්ගලයා නිදන ස්ථානය වටා කොහොඹ කොළ තැබීමට අතීත ජනයා පුරුදුව සිටියේ එහි ඇති ප්රති-වෛරස් ක්රියාකාරීත්වය නිසාවෙනි.
කොහොඹ ශාකය ආශ්රිතව දැනට සිදුකර ඇති නිෂ්පාදන
මේ වන විට කොහොඹ ශාකය ආශ්රිතව නිෂ්පාදනයන් රැසක් සිදු කොට තිබේ ඒවා අතරින් කොහොඹ තෙල් යොදා ගනිමින් සිදුකරන ලද රූපලාවන්ය රූපලාවණ්ය නිෂ්පාදනය සබන් වර්ග ක්රීම් වර්ග ආදිය ප්රධාන තැනක් උසුලයි. මීට අමතර ව විවිධ පළිබෝධනාශක නිෂ්පාදනය සඳහා කොහොඹ තෙල් යොදා ගනී. ලිහිසි තෙල් නිෂ්පාදනය සඳහා පොහොර වර්ග නිෂ්පාදනය සඳහා කොහොම ශාකයේ තෙල් යොදා ගනී. අතීතයේ විසූ ජනයා ස්වභාවික දත් බුරුසුවක් ලෙසින් ද ලෙසින් ද කොහොඹ රිකිළි භාවිත කොට තිබේ. අතීතයේ විසූ ඉන්දීය ජනයා විසින් කොහොම ශාකයෙන් ලබා ගන්නා ලද කෙඳි වලින් ශක්තිමත් කඹ නිෂ්පාදනය කොට තිබේ. තවද කොහොඹ ශාකයෙන් උකහා ගන්නා ලද මැලියම් ආහාර පිළියෙළ කර ගැනීම සඳහා යොදා ගෙන තිබේ.
කොහොඹ සබන් සහ ශැම්පූ
බිලිදු සමට ආරක්ෂාව සැලසීමටත්, පෝෂණය සැපයීමටත් නිරන්තරයෙන්ම උත්සාහ ගැනීමට මව්වරුන් කැපවී සිටියි. එනිසා ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට බිලිදු සමට සුදුසු ද්රව්ය යෙදූ සබන් වර්ග භාවිතයට ඔබට දැන් ඉඩකඩ පවතියි. කොහොඹ සාරය මිශ්ර, බිලිදු සමට සුදුසු සබන් වර්ග මෙන්ම වැඩිහිටි සමට සුදුසු සබන් වර්ග ද මේ වන විටත් වෙලදපොලෙන් මිලදීගැනීමට ඔබට හැකියාව තිබේ. මිට අමතරව බොහෝ දෙනෙක් පීඩා විදින ඉස්හොරි කරදරය පාලනය කරගැනීමට උපකාරී වන කොහොඹ වල අඩංගු සංඝටක යොදා සකසන ලද කොහොඹ ශැම්පූ මේ වන විට පහසු මිලට ලබාගැනීමට ඔබට පුලුවන. නීරොගිමත්, පිරිපුන් කෙස් කලඹක් ලබාගැනීමට ඔබට මේ තුලින් අනිවාර්යයෙන් හැකිවනු ඇත.
කොහොඹ තේ
විවිධ තේ වර්ග ගැන ඔබ අසා ඇති නමුත් “කොහොඹ තේ” ගැන ඔබ වැඩිපුර නොදන්නවා විය හැකිය. නමුත් විවිධ රටවල් පුරා ප්රසිද්ධ මෙම කොහොඹ ශාක සාරය පිරි ස්වාභාවික තේ වලට බොහෝ දෙනෙකුගේ ඉහල ඉල්ලුමක් පවතියි. මීට හේතුව වන්නේ මෙම පානය තුලින් ශරීරයට ලබාගත හැකි නිරෝගි බවයි. ශරීරයේ ඇති වඩිපුර මේදය, සීනි ආදී තත්ව මග හැර, යහපත් සෞඛ්ය තත්වයක් පවත්වාගැනීමට මෙම තේ පානය තුලින් ඔබට හැකිවනු ඇත. ඔබේ ජීවන රටාව වෙනස් කිරීම සඳහා මෙම නිෂ්පාදන බෙහෙවින් උපකාරී වනු ඇත.
කොහොඹ කරල්
කොහොඹ කරල් නිෂ්පාදනය කොට තිබෙන්නේ වෛද්ය නිර්දේශය මත වන අතර ඒවා නිවැරදිව පරිභෝජනය තුලින් නීරෝගි සම්පන්න සෞඛ්ය තත්වයක් අත් කරගැනීමට ඔබට හැකි වනු ඇත. වෙනත් කෘතීම, හෝර්මෝන වර්ග අඩංගු බෙහෙත් කරල් භාවිතය තුලින් ශරීරයට ලැබිය හැකි අවදානම් තත්ව වෙනුවට ස්වාභාවික කොහොඹ සාරය පිරුණු මෙවන් නිෂ්පාදන භාවිතය තුලින් බියෙන් සැකෙන් තොර සැහැල්ලු දිවි පෙවෙතක් උරුම කරගත හැකිය. කොහොඹ බෙහෙත් කරල් පහසු මිලට ඔබට මෙරටින් මිලදීගැනීමට දැන් අවකාශය තිබේ. නමුත් ඒවා පරිභෝජනය සඳහා වෛද්ය උපදෙස් ලබගැනීම සිදු කළ යුතුය.
වර්තමානය වන විටත් කොහොඹ ශාකය ආශ්රිතව සිදුකරන ලද නිෂ්පාදන බොහෝමයක් පවතින අතර ඒවා ඔබේ දිවියට ළං කරගැනීම හරහා විශ්වාස කළ නොහැකි අන්දමේ සුවදායි ප්රතිඵල රාශියක් ලබාගැනීමට පුලුවන.