කොස් ගස ගැන දැනගනිමු
කොස් පිළිබඳව නොදන්නා කෙනෙක් ශ්‍රී ලාංකේය සමාජය තුළ අසන්නට දකින්නට නොලැබෙන තරමටම කොස් ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිත ය. රසවත් බව, ගුණවත් බව සේම සෑම ගෙවත්තකම වැවෙන නිසා සුලබව මෙන්ම අමතර වියදමකින් තොරව ද සොයාගත හැකි වීම නිසා මෙම අපූරු ආහාරය මෙතරම් ප්‍රචලිත වීමට හේතු වී ඇත. කොස් ගස ‘බත් ගස’ ලෙසින් හැඳින්වීමට අපේ මුතුන්මිත්තන් පෙළැඹී ඇත්තේ, වේලක් පිරිමසා ගැනීමට සාමාන්‍ය පවුලකට කොස් ගෙඩියක් ඕනෑ තරම් ප්‍රමාණවත් වූ බව නිසාම වන්නට ඇත. ශ්‍රී ලංකාව තුළ කොස් වගාව ප්‍රචලිත කිරීමට මෙන්ම කොස් වල වටිනාකම් හා කොස් වගා කිරීමේ අවශ්‍යතාවය ජනතාව අතරට හඳුන්වා දීමට අපරිමිත සේවාවක් සිදු කළ පුද්ගලයකු ලෙස ආතර් වී දියෙස් මහතා හඳුන්වා දීමට හැකිය. එතුමා සිදු කළ මෙහෙවර නිසාම ‘කොස් මාමා’ යන විරුද නාමයෙන් ද හඳුන්වනු ලබයි. දේශීය ව්‍යවහාරයන් තුළ කොස් ගස හෙරලිය ලෙසින් ද හඳුන්වනු ලබයි.
ව්‍යවහාරයේ කොස් ගස යනුවෙන් හඳුන්වනු ලබන්නේ Plantae (ප්ලාන්ටේ) රාජධානියට අයත්, Artocarpus heterophyllus නම් ශාකය යි. මෙය Moraceae ශාක කුලයට අයත් වන අතර මෙහි ගෝත්‍රය වන්නේ Rosales ගෝත්‍රය යි. මල්බෙරි (Mulberry) පවුලට අයත් කොස් ඉංග්‍රීසි භාෂාවෙන් Jack fruit ලෙස හඳුන්වනු ලබන අතර, පෘතුගීසි භාෂාවෙන් එය ජැකා (Jaca) ය. ආසියානු ප්‍රදේශ වල මෙන්ම උගන්ඩාව වැනි අප්‍රිකානු ප්‍රදේශ වල ද කොස් ගස් හමු වේ. බ්‍රසීලයේ කොස් ගස ආක්රමණකාරී ශාකයක් ලෙස ද හඳුන්වනු ලබයි. කොස් ගස නිවර්තන පහත් බිම් වලට වඩාත් උචිත ශාකයකි. මෙහි නිජබිම ලෙස හැඳින්වෙන්නේ බටහිර ඝාට්ස්හි නිරිතදිග වැසි වනාන්තර යි. මෙම ශාකයේ ඵලයන් වන කොස් ගෙඩි දැනට ලොව පවත්නා විශාලතම ඵලයන් බව කියැවේ. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන කොස් ගෙඩි කිලෝ ග්‍රෑම් 8-10 අතර බරින් යුක්ත වේ.
කොස් ලීය ද ගෘහ භාණ්ඩ තැනීමේ දී භාවිත කරන අගනා දැව වර්ගයකි. එහෙත් ශ්‍රී ලංකාව තුළ කොස් ගස් කැපීම නෛතිකව සීමා කර ඇත්තේ මෙහි ඇති නිමක් නොමැති වටිනාකම් නිසාම ය. කොස් කොළය ද දියවැඩියාව වැනි ඇතැම් රෝගී තත්ත්වයන්හි දී ප්‍රතිකාරකයක් ලෙස යොදා ගනු ලබන අතර කොස් ගෙඩි විවිධ කාල සීමාවන් හා වර්ධන අවදීන් තුළ දී නොයෙක් ආකාරයෙන් පරිභෝජනය සඳහා යොදා ගනු ලබයි. මේ එක් එක් ආකාරයෙන් අපගේ ආහාරයට එකතු කරගත හැකි කොස් තුළින් ලැබිය හැකි ප්රතිලාභයන් පිළිබඳව දැනුම්වත් වීම ලොකු පොඩි කාටත් ඉතා වැදගත් ය.
කොස් වල පෝෂණීය සහ ඖෂධීය වටිනාකම
කොස් යනු අංග සම්පූර්ණ පෝෂණ ගුණයන් සහිත ආහාරයකි. එමෙන්ම එය ඖෂධීය ගුණයෙන් ද යුක්ත ය. ගසේ පොත්තෙන් හා ගෙඩියෙන් වෑස්සෙන කොහොල්ලෑ ආයුර්වේද වෙදකමේ දී ඔසුවක් ලෙස භාවිත කරයි. ඉදුණු කොස් කොළ තම්බා සාදාගත් පානය දියවැඩියා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ දී භාවිත කරයි. කොස් මුලේ යුෂ, ඇදුම රෝගය හා සමේ රෝග සඳහා ප්‍රතිකාරකයක් ලෙසින් ද භාවිත කරයි.
පර්යේෂණ වලට අනුව කොස් තුළ මාංශජනක ධාතු හා පිෂ්ඨය ප්‍රමාණවත් ප්‍රතිශතයක් අඩංගු නිසා සහ, ඛණිජ ලවණ අඩංගු වීම නිසා එය සෘජුවම බත් සඳහා විකල්පයක් ලෙස ගත හැකි ය. කොස් වසවිසෙන් තොර ස්වභාවික ආහාරයක් වන අතර මළබද්ධය වළක්වයි. කොස් ගෙඩියේ මල් හට ගැනීමේ සිට වැල හෝ වරකා බවට පත් වන තුරු ගත වන සියලුම අවස්ථාවන් පෝෂණ සහ ඖෂධීය ගුණයෙන් අනූන ය. පිත්තාශයේ ගල් ඉවත් කිරීමට මේරූ කොස් කොළ යුෂ ප්රත්යක්ෂ ඖෂධයක් ලෙස සැළකේ. තව ද, තුවාල සුව කිරීමට, අස්ථි ඉදිමීම සමනය කිරීමට, ආසාදිත තත්ත්වයන් හා සැරව ගෙඩි ආදී තත්ත්වයන් සුව කිරීමට හැකි ගුණයක් කොස් තුළ පවතින බව ද කියැවේ. පොදුවේ ගත් කළ කොස් තුළ ඖෂධීය ගුණයන් 32ක් පමණ ඇත. මේ අනුව බලන කල කොස් යනු මෙරට ආහාර අර්බුදය සඳහා ඉතාමත් තාත්ත්වික සහ උචිත පිළියමක් බව හඳුන්වා දිය හැකි ය.
පුංචි කොස් ගෙඩි – පොළොස්

කොස් මලේ සිට වැල වරකා වන තෙක් කොස් ගෙඩියේ විවිධ අවස්ථාවන් ඇති බව ද අවස්ථාව අනුව සියලු අවස්ථාවන් හි දී විවිධ ගුණයන් සහිත බව ද අප ඉහත සඳහන් කළෙමු. කොස් ගෙඩියේ කුඩා අවස්ථාව පොළොස් ලෙස අප හඳුන්වනු ලබන අතර ඉංග්‍රීසි භාෂාවෙන් එය ‘යං ෆෘට්’ ලෙස ද, කේරල භාෂාවෙන් ‘ඉදිචක්ක’ ලෙස ද හඳුන්වනු ලබයි. මෙය බොහෝ විට මස් මාංශ වලට ආදේශකයක් ලෙස යොදාගත හැකි ස්වභාවික ආහාරයකි. සාමාන්‍යයෙන් මෙය පොත්ත ඉවත් කර කුඩාවට කපා පිසගන්නා අතර ඊට අමතරව ද පිළියෙළ කරගත හැකි ආකාර රාශියක් ඇත. පොළොස් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, ඉන්දුනීසියාව, කාම්බෝජය, වියට්නාමය ආදී රටවල ද ප්‍රචලිත ආහාරයකි.
පොළොස් වල ගුණ
පොළොස් ගැට ව්‍යංජනයක් ලෙස හෝ තම්බා ලුණු දමා ආහාරයට ගැනීමෙන් නීරෝගී දරුවකු බිහි කරගැනීමේ හැකියාව ඇතැයි කියයි. පොළොස් යනු ගර්භණී මව්වරුන්ට ඉතාමත් ගුණදායී ශක්තිමත් ආහාරයකි. මෙය කිරි දෙන මව්වරුන් සඳහා ද වටිනා ආහාරයක් බව නොරහසකි. පොළොස්, මව්කිරි වර්ධනය කර ගැනීම සඳහා ඔසුවකි. ආහාර රුචිය වැඩි කරවන ආහාරයක් ලෙස ද මෙය හඳුන්වා දිය හැකි ය. දියර ලෙස මළ පිටවන අවස්ථාවන් හිදී ද පොළොස් ව්‍යාංජනයක් සමඟ බත් ආහාරයට ගැනීමෙන් එම තත්ත්වයෙන් අත්මිදිය හැකි බව දේශීය වෙදකම පෙන්වා දෙයි. මීට අමතරව ලේ වඩවන ආහාරයක් ලෙස හඳුන්වනු ලබන ඉහළ පෝෂණයක් සහිත මෙම ආහාරය නිරක්තිය, මන්ද පෝෂණය ආදී තත්ත්වයන් දුරැලීමට ද උපකාරී වේ. එමෙන්ම මෙමගින් පිත සමනය කරන බව ද දේශීය වෙදකම තුළ සඳහන් ය. මදසරු බව වැළැක්වීමට මෙන්ම ප්‍රජනන ශක්තිය වැඩි දියුණු කරලීමට ද පොළොස් උපකාරී වන බව කියැවේ.

පොළොස් ආශ්රිත නිෂ්පාදන
සාමාන්‍යයෙන් අප පොළොස් ආහාරයට ගනු ලබන්නේ ව්‍යංජනයක් ලෙස හෝ මැල්ලුමක් ලෙසිනි. එහෙත් වර්තමානය වන විට රසය ගා ගුණය රැකෙන පරිදි ඉහළ කල් පැවැත්මක් ද සහිතව පොළොස් පිළියෙළ කරගත හැකි ක්‍රමවේදයන් රාශියක් ඇති අතර එමගින් විදේශ විනිමය රට තුළට ගෙන ඒමේ අවස්ථාවේ ද දේශීය නිෂ්පාදකයන් හට ලැබී ඇත.
මෙමගින් පොළොස් සොසෙජස් සකසා ගත හැකි අතර මේවා ශීතකරණයක් තුළ ගබඩා කර අවශ්‍ය විටක දී භාවිතයට ගත හැකි ය. එමෙන්ම මෙම නිෂ්පාදනයන් ව්‍යාපාරයක් ලෙසින් ද වැඩිදියුණු කරගැනීමේ හැකියාව ඇත.
මීට අමතරව පොළොස් බෝල, ව්‍යාංජනය සඳහා ද නිවසේදීම සකස් කර, ගෘහස්ථ පරිභෝජනයට මෙන්ම ව්‍යාපාරයක් ලෙසින් ද නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ඇත.
මීට අමතරව අපනයනය කළ හැකි අයුරින් පොළොස් ව්‍යාංජනය සැකසීමේ හැකියාව ද ඇත. ටින් කළ හෝ බෝතල් කළ පොළොස් ව්‍යංජනය විදේශ විනිමය හොඳින් උපයාගත හැකි ව්‍යාපාරයකි. මීට අමතරව පොළොස් බැදුමට සහ එයින් සකස් කරන සීනි සම්බෝලයට ද හොඳ ඉල්ලුමක් පවතී. පොළොස් කට්ලට් ආදී දේශීය නිෂ්පාදනයන් බොහොමයක් ද වර්තමානයේ දී වෙළඳසල් වලින් මිලදී ගත හැකි ය.
ස්වභාවික හා ගුණාත්මක භාවයෙන් ඉහළ කාබනික ආහාර පරිභෝජනයට ගැනීමට බොහෝ විදේශ රටවල මේ වන විට ප්‍රවණතාවක් පවතී. එබැවින් පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ පොළොස් නිෂ්පාදනයන්ට අපනයන වෙළඳපළ තුළ ඇත්තේ ඉතාමත් ඉහළ ඉල්ලුමකි.
හැමෝම දන්න කොස් මඳුළු
සාමාන්‍යයෙන් කොස් ලෙස හැඳින්වූ විට අපට මතක් වන්නේ පැසුණු කොස් ගෙඩිය සහ කොස් මදුළු තම්බා ආහාරයට ගැනීමයි. මෙහිදී ප්‍රධාන වශයෙන් ආහාරයට ගනු ලබන කොටස, කොස් ගෙඩියේ මදුළු වන අතර මෙම මදුළු තුළ අඩංගු රසවත් භාවය මෙන්ම මෙහි අඩංගු වී ඇති පෝෂණ ගුණය ද, වස විසෙන් තොර බව ද වැදගත් වේ. ඒ පිළිබඳව දැනුම්වත් වීම, මෙම ස්වභාවික ආහාරය අපගේ පරිභෝජනය සඳහා යොදා ගැනීමේ ඇති වටිනාකම පිළිබඳව අවබෝධ කරගැනීමට ඔබට වැදගත් වේ.

කොස් මදුළු වල පෝෂණීය වටිනාකම
කොස් මදුළු කාබෝහයිඩ්රේට් වලින් පොහොසත් ය. එමෙන්ම මේ තුළ කැල්සියම්, පොස්පරස්, පොටැසියම් සහ යකඩ අඩංගු බව හඳුනාගෙන ඇත. මීට අමතරව තයමින්, රයිබොෆ්ලේවින් ඇතුළු ඇමයිනෝ අම්ල 11ක් මේ තුළ අඩංගු බව ද අප ඉහතදී පෙන්වා දී ඇත. කොස් මදුළු බීටා කැරොටින්, විටමින් ඒ, සැන්තීන්, ලුටෙලීන් හා බීටා ක්‍රිප්ටොසැන්තීන් වැනි ෆ්ලේවනොයිඩ වලින් ද පොහොසත් ය. මේවා ප්‍රතිඔක්සිකාරක ලෙස ද, පෙනීම වැඩිදියුණු කිරීම ආදී ක්‍රියාවලීන් සඳහා ද වැදගත් වන අතර විටමින් ඒ, සම නිරෝගීව පවත්වා ගැනීම සඳහා වැදගත් වේ. එමෙන්ම පෙනහළු සහ මුඛ පිළිකා ඇති වීමේ අවදානම පහත හෙළීමට ද විටමින් ඒ දායක වේ. පැසුණු කොස් පිත සමනය කරයි.
කොස් මදුලුවල තන්තු අඩංගු අතර මළබද්ධය වළකාලීමට උපකාරී වේ. එමෙන්ම මෙහි ඇති තන්තු මහා ප්රාචීරයේ දී පිළිකාකාරක මැඬලීමේ යාන්ත්‍රණයක නිරත වන බව ද හඳුනාගෙන ඇත. එසේම මෙහි වැඩි වශයෙන් ඇති සරල සීනි වර්ග පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත හැකි ය. එමඟින් වැය වූ ශක්තිය ක්ෂණිකව නැවත ශරීරයට ලබා දීමේ හැකියාව ඇත.
කොස් මදුළු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ විටමින් සී වලින් අනූන වන අතර මේවායින් ග්‍රෑම් 100ක් තුළ විටමින් සී ග්‍රෑම් 13.7ක් හෙවත් දිනකට නිර්දේශ කර ඇති ප්‍රමාණයෙන් 23%ක් අඩංගු ය. මෙවැනි විටමින් සී බහුල ආහාර ගැනීමෙන් ශරීරයට ඇතිවන ආසාදන වලට ප්‍රතිරෝධයක් ගොඩනැඟේ. මේවා සිරුරට හානිකර මුක්තඛණ්ඩක ඉවත් කිරීමෙහිලා ද සැලකිය යුතු මෙහෙයක් ඉටු කරනු ලබයි. මීට අමතරව කොස් මදුළු විටමින් B සංකීර්ණය අතින් ද පොහොසත් ආහාරයකි. කොස් මදුළු තුළ විටමින් B6, නියැසින්, ෆෝලික් අම්ලය ආදී පෝෂක රාශියක් ද අන්තර්ගතව ඇත. වස විසෙන් තොර ස්වභාවික කාබනික ආහාරයක් ලෙස ඔබේ ආහාර වේලට එක් කරගත හැකි රසවත් ගුණවත් ආදේශකයක් ලෙස කොස් හඳුන්වා දිය හැකිය.
පිළියෙල කරගත හැකි ආකාර
සාමාන්‍යයෙන් කොස් මදුළු කුඩාවට කපා තම්බාගෙන, කිරි හොදි හෝ සුදුසු ව්‍යංජනයන් සමඟ ප්‍රධාන ආහාර වේලක් ලෙස භාවිත කළ හැකි අතර, පැසුණු කොස් වලින් බත් සමඟ ආහාරයට ගත හැකි ලෙස පිළියෙළ කරනු ලබන ඉතා රසවත් ව්‍යංජනයක් ලෙසින් කිරි කොස් ව්‍යංජනය ශ්‍රී ලාංකික සමාජය තුළ ප්‍රචලිත ය. ඊට අමතරව අතීතයේ සිට මුතුන්මිත්තන් විසින් අවාරයේ වුව ද පරිභෝජනය කළ හැකි පරිදි කල් තබා ගැනීමේ ස්වභාවික පරිරක්ෂණ ක්‍රම භාවිතයෙන් සකසා ගත් අටු කොස් වැනි ආහාර ද ඇත. එහෙත් වර්තමානය වන විට කොස් පිළියෙළ කිරීම නව ආරක් ගෙන ඇති අතර එය දේශීය ආහාර රටාව තුළ දක්නට ලැබෙන ඉතා හොඳ ප්රවණතාවයකි. මෙයට හොඳම නිදසුන් ලෙස තම්බාගත් කොස් මදුළු වලින් සකස් කරනු ලබන කොස් කොත්තුව, කොස් භාවිතයෙන් සාදනු ලබන කට්ලට්, රොටී වර්ග ආදී රසවත් සහ ගුණවත් ආහාරයන් ලෙස දැක්විය හැකි ය. මීට අමතරව කොස් තීරු බැද උණු කරන ලද සීනි දමා රසවත් ආහාරයක් සකසා ගැනීමේ හැකියාව ද ඇත. එමෙන්ම බදින ලද කොස් තීරු වලට ලුණු, මිරිස් ආදිය යෙදීමෙන් කොස් මුරුක්කු සාදාගත හැකි ය. කොස් මදුළු පුරවා ඉවීම සහ කොස් මදුළු පුරවා බැදීම ද කොස් ආහාරයට එක් කරගත හැකි ඉතා රසවත් ආකාරයන් ය.
නිෂ්පාදනයන්
වර්තමානය වන විට ඉතා අඩු පිරිවැයක් සහිතව දේශීය වෙළඳපළ පමණක් නොව විදේශීය හෙවත් අපනයන වෙළඳපළ ද සාර්ථක ලෙස ජයග්‍රහණය කර ඇති නිෂ්පාදනයන් බොහොමයක් කොස් ආශ්රිත නිෂ්පාදන නාමාවලිය තුළ ඇත. රසවත් බව මෙන්ම ගුණවත් බවත්, වස විසෙන් සහ කෘමිනාශක, පළිබෝධනාශක, රසායනික පොහොර ආදියෙන් තොර බවත් නිසාම මෙම ගුණාත්මක නිෂ්පාදනයන් පරිභෝජනය කිරීම සඳහා ජනතාව පෙළැඹී ඇති අතර එම නිසාම මෙම නිෂ්පාදනයන් සඳහා ඉතා හොඳ ඉල්ලුමක් ලබා ගැනීමට මෙමඟින් මහඟු අවස්ථාවක් උදා වී ඇත.
කොස් ගෙඩිය කටුව ඉවත් කර කපා සකසාගැනීම සඳහා බොහෝ වේලාවක් ගතවන නිසා ද, කොහොල්ලෑ ඇලීම නිසා ද ඇතැම් ගෘහණියන් කොස් භාවිතයට මැලිකමක් දක්වයි. මෙයට පිළියමක් ලෙස වෙළඳපළ තුළ වෙන් කරන ලද කොස් මදුළු මෙන්ම, පිසීමට සුදුසු ආකාරයෙන් කුඩාවට කපා ඇති කොස් මදුළු ද විකිණීම සඳහා ඇත. මෙය කොස් ආශ්රයෙන් දේශීය වෙළඳපළ ජය ගැනීමට ඇති ඉතා ලාභදායි ක්රමවේදයකි. මීට අමතරව කොස් මදුළු ආශ්රයෙන් රොටී, පිට්ටු, මුරුක්කු වැනි සෞඛ්‍යයට හිතකර ආහාර නිෂ්පාදන කිරීම ද සාර්ථක ව්‍යාපාරික ක්රමවේදයකි. මීට අමතරව විජලනය කරන ලද කොස් මදුළු, වියළන ලද කොස් මදුළු තෙලේ බැදීමෙන් සකසන බයිට් ආදී කල් තබාගත හැකි නිෂ්පාදනයන් බොහොමයක් ශ්‍රී ලංකාව තුළින් අපනයන වෙළඳපළ තුළට ද ඉදිරිපත් වේ.
පෝෂණ ගුණයෙන් පිරි කොස් ඇට

කොස් ඇටයක ගුණය බිත්තරයක පෝෂණ ගුණයට සමාන අතර පෝෂණ ගුණය රැකෙන පරිදි කළ හැකි නිෂ්පාදනයන් ද බොහොමයකි.
කොස් ඇටවල ගුණ
කොස් ඇටයක වියළි බරින් 80%ක් පමණ අඩංගු වන්නේ කාබෝහයිඩ්රේට් ය. 13%ක් පමණ ප්‍රෝටීන් ද, 3%ක් පමණ තන්තු ද ඇත. මීට අමතරව 1%ක පමණ මේද ප්‍රමාණයක් ද මේ තුළ අඩංගු වීම සුවිශේෂී කරුණකි. මේ තුළ සැලකිය යුතු ප්‍රමාණයක් පොටෑසියම් අන්තර්ගත අතර මේ තුළ සෝඩියම් ද අන්තර්ගත ය. සින්ක්, කැල්සියම්, මැංගනීස් සහ තඹ ද මේ තුළ සුළු වශයෙන් අඩංගු ය.
මෙහි අංශුමාත්‍රික ප්‍රමාණයන්ගෙන් ඇති ඛණිජ ලවණ මානසික ආතතිය අඩු කරවීමට උපකාරී වන බව අනාවරණය කරගෙන ඇති අතරම එය සමේ සෞඛ්‍යය රැකගැනීම සඳහා මෙන්ම තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා ද උපකාරී වේ. මෙමඟින් හිසකෙස් වල ශක්තිය ද වැඩි දියුණ කරයි. කොස් ඇට තුළ යකඩ බහුල ලෙස අඩංගු ය. එබැවින් එය ශරීරය තුළ හිමොග්ලොබීන් නිෂ්පාදනය සඳහා ඉතා හොඳ දායකත්වයක් සපයයි. යකඩ හෘදය සහ මොළයේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා ද බලපායි. විශේෂයෙන්ම නිර්මාංශ හෙවත් ශාක ආහාර පමණක් ගන්නා පුද්ගලයන් සඳහා නිසි අයුරින් කොස් ඇට ආහාරයට එක් කර ගැනීමෙන් රුධිරගත ගැටළු හා සංකුලතා මෙන්ම නිරක්තිය ආදී තත්ත්වයන්ගෙන් මිදීමට එය උපකාරී වේ.
කොස් ඇටවල විටමින් B සංකීර්ණයට අයත් තයමින් හා රයිබොෆ්ලේවින් අන්තර්ගත අතර සමෙහි සහ හිසකෙස් වල නීරෝගීභාවය පවත්වා ගැනීම සඳහා මේවා උපකාරී වේ. රයිබොෆ්ලේවින් තුළ ප්‍රතිඔක්සිකාරක ගුණ ද ඇත. කොස් ඇට තුළ ශරීරයට වැදගත් වන රසායනික ද්‍රව්‍ය කිහිපයක්ම අඩංගු ය. පොලිෆීනෝල් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු අතර පිළිකා ඇති කළ හැකි මුක්තඛණ්ඩක විනාශ කර දැමීමේ හැකියාවෙන් ද යුතු ය. සැපොනින් වල ද පිළිකා නාශක ගුණ අන්තර්ගත ය. ෆ්ලේවනොයිඩ රුධිරය කැටි ගැසීමේ අවදානමෙන් මිදීමට උපකාරී වන අතර තන්තු බහුල නිසා මළබද්ධය වැළැක්වීම සඳහා ද, ප්‍රෝටීන බහුල නිසා මාංශපේෂි වර්ධනය සඳහා ද භාවිත කිරීමේ හැකියාව ඇත. කොස් ඇටවල සිරුරේ උෂ්ණත්වය අඩු කරන (පිත්තාශායිමක) ගුණයක් අඩංගු ය. කිරි දෙන මව්වරුන් සඳහා ද ගුණදායක ය. මෙය මුත්‍රා රෝග පාලනයට සහ දියවැඩියාව පාලනය කිරීම සඳහා ද ගුණදායක ය.
කොස් ඇට ආශ්රිත නිෂ්පාදන
කොස් ඇට මඟින් නිපදවාගනු ලබන කොස් ඇට පිටි කිරි (Jack seed milk) එදිනෙදා භාවිත කරන පොල්කිරි වෙනුවට ඔබට භාවිතයට ගත හැකි ය. පොල්කිරි භාවිත කර සාදනු ලබන ඕනෑම ව්‍යංජනයක් මෙම කොස් ඇට පිටි කිරි ජලයේ දියකර යොදා ගැනීමෙන් සාදාගත හැකි ය. එමෙන්ම කොස් ඇට පිටි ආශ්රයෙන් බිස්කට්, රොටී, පිට්ටු, මුරුක්කු, කේක්, පපඩම්, ටොෆී ආදී නිෂ්පාදනයන් රාශියක් ද සකසා ගත හැකිය. කොස් ඇට අග්ගලා ද පරිභෝජනය සඳහා එකතු කරගත හැකි රසවත් සහ ගුණවත් ආහාරයකි. මීට අමතරව අතීතයේ සිට අපේ මුතුන්මිත්තන් විසින් කොස් ඇට කල්තබා ගැනීම සඳහා වැලි කොස් ඇට දැමීම සිදු කර ඇති අතර එම තාක්ෂණික ක්‍රමවේදයන් වර්තමානයේ දී ද අපට භාවිතයට ගත හැකි ය.
රසවත් ගුණවත් වැල වරකා ගැන දැන ගනිමු

වැල වරකා යනු අතීතයේ සිට ශ්‍රී ලංකාව තුළ භාවිත කරන රසවත් පළතුරකි. සාමාන්‍යයෙන් ලුණු සහ ගම්මිරිස් සමඟ මේවා ආහාරයට ගැනීමෙන් උදරාබාධ ඇති වීම වළක්වාගත හැකි බව කියැවේ.
ගුණාත්මක භාවය
ඉදුණු කොස් වරකා ලෙස හඳුන්වනු ලබන අතර ඉතාමත් ගුණදායක පළතුරකි. එය බංගලාදේශයේ ජාතික පළතුර ය. තන්තු බහුල ආහාරයක් වන වරකා පොටෑසියම්, මැග්නීසියම්, යකඩ, ඛණිජ ලවණ, විටමින් B, විටමින් A සහ O වැනි පෝෂ්‍ය පදාර්ථ ගණනාවකින් සමන්විත ය.
විශේෂයෙන් වරකා ශුක්‍රාණු වර්ධනයට උපකාරී වේ. වැල යනු කොස් ශාකයේ ස්ත්‍රී වර්ගය යි. මෙය ශීත මධුර ගුණයෙන් යුක්ත ය. මෙය කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍යය හා සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයන් අවම කිරීමට උපකාරී වේ.
වැල වරකා දෙකෙන්ම ආමාශය සහ බඩවැල් පිරිසිදු කිරීම සහ වියළිභාවය මැඩපවත්වා තෙත් ගතිය ඇති කිරීම සිදු කරයි. මෙමගින් ආහාර ශරීරයට අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලිය පහසු කරයි. අක්මාව ශක්තිමත් කරන අතර ශරීර ශක්තිය ද වඩවයි. ශරීරයේ කෙට්ටු බව අඩු කර පෙනුම වැඩිදියුණු කර ගැනීමට ද මේවා උපකාරී වන අතර කිරි මව්වරුන්ගේ කිරි එරීම වැඩි කිරීම හා කිරි පිරිසිදු කිරීම ද සිදු කරයි. ගැබිණි මව්වරුන්ට අපහසුතාවයකින් තොරව දරුවා බිහි කිරීමේ ශක්තිය ලබා දේ. මෙමගින් මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වැඩිදියුණු කරන අතර ආයුෂ වර්ධනයට ද පිළිකා මර්දනය කිරීමට ද ඉවහල් වේ.
ගිනි වරකා නැමැති වරකා විශේෂය ද බොහෝ ලෙඩ රෝග සමනය කළ හැකි ඖෂධීය වටිනාකමකින් යුක්ත ය. විටමින් වර්ග බොහොමයක් මේ තුළ අඩංගු අතර ගිනි වරකා මදුළු කෝප්පයක කැලරි 155ක ප්‍රමාණයක් ඇත.
වැල වරකා ආශ්රිත නිෂ්පාදන
සාමාන්‍යයෙන් ආහාරයට ගැනීමට අමතරව වැල වරකා වයින්, බීම, සීනි සිරප්වල සංරක්ෂණය කළ ඉදුණු වරකා මදුළු, විජලනය කරන ලද වරකා මදුලු, ජෑම්, කෝඩියල් ආදී නිෂ්පාදනයන් ගුණාත්මක භාවයෙන් මෙන්ම ඉහළ ප්‍රමිතියකින් ද යුක්තව වර්තමානයේ දී වෙළඳපළ තුළ ඇත.
කොස් භාවිතයේ දී සැලකිලිමත් වෙමු
අධික ලෙස කොස් ආහාරයට ගැනීමෙන් උපද්‍රව ඇති විය හැකි ය. වාතයට අහිතකර බැවින් ශරීරයේ වේදනා ඇති විය හැකි ය. එමෙන්ම කොස් සහ වැල රාත්‍රියට ආහාරයට ගැනීම එතරම් ගුණදායී නැත. මෙහි පිෂ්ඨය අධික වීම සහ තන්තුමය ගුණය වැඩි නිසා රාත්‍රී කාලයේදී වැඩිපුර ආහාරයට ගැනීමෙන් ජීරණයේ අපහසුතා ඇති වීමේ හැකියාවක් පවතී. වැල ඉදුණු පසු ශීත ගුණයෙන් යුතු නිසා රාත්‍රියට ආහාරයට ගැනීමෙන් සෙම් කෝප වීම් ඇතිවිය හැකි ය. එබැවින් ශරීරය සෞඛ්‍යයට අහිතකර නො වන පරිදි කොස් භාවිත කළ යුතු ය.

රස ගුණ දෙන කොස් අපතේ නො හරිමු
ශ්‍රී ලංකාවේ බොහෝ ගෙවතු තුළ කොස් ගස් දක්නට ලැබෙන අතර සෞඛ්‍යයට අහිතකර පිටි කෑම ආහාරයට ගැනීමත්, කොස් ගෙඩි ගස් යටම විනාශ වී යාමත් සුලබව දක්නට ලැබෙන අවසනාවන්ත තත්ත්වයකි. මෙම ආහාර සුදුසු ආකාරයෙන් ආහාරයට එකතු කරගැනීම තුළින් ඔබට ලැබිය හැකි පෝෂණීය මෙන්ම ඖෂධීය ප්රතිලාභයන් රාශියක් ද ඇති බව ඉහත සඳහන් කර ඇත. මෙමඟින් බොහෝ නිෂ්පාදනයන් සිදුකර ලාභ ලැබීමේ හැකියාව තිබියදීත් මේවා අපතේ හැර රැකියා නොමැතිකමින් පීඩා විඳීම වෙනුවට නිසි දැනුම්වත් වීම් මගින් ගුණාත්මක නිෂ්පාදනයන් තුළින් වෙළඳපළ ජයගැනීමට ජනතාව හුරු වීම රටක් වශයෙන් අපට ඉතාමත් වැදගත් වේ. එමෙන්ම ඉහළ පෝෂණ මට්ටමකින් හෙබි නීරෝගී ජනතාවක් බිහි කිරීමෙහිලා ද කොස් මගින් සිදු කළ හැකි මෙහෙය අතිමහත් ය. අපේ මුතුන්මිත්තන් සිටවූ කොස් ගස් වලින් අපි සියල්ලෝම මහත් විශාල ප්‍රයෝජනයක් ලබන්නෙමු. එලෙසින්ම, අනාගත පරපුර අහාර අර්බුදයකින් වළක්වනු වස්, අප ද වැඩි වැඩියෙන් කොස් පැළ සිටුවීම යුතුකමක් කොට සලකමු.