කොවිඩ්-19 වසංගතයෙන් ආරාක්ෂා වීමට අප පෞද්ගලිකව එදිනෙදා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග
චීනයේ වූහාන් නගරයෙන් පැතිරීම ආරම්භ වී අදවන විට ලෝකය පුරා රටවල් 214ක පමණ ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 රෝග තත්ත්වය, ලොව පුරා මිලියන හතකට වැඩි ජනතාවක් ආසාදිතයන් බවට පත් කර තිබේ. මෙම වෛරසය හේතුවෙන් මිනිසුන් ලක්ෂ හතරකට පමණ දිවි අහිමි වී තිබෙන අතර මේ මොහොතේ ලොව වැඩිම බලපෑමකට ලක්වී ඇත්තේ ඇමරිකාව, බ්‍රසීලය ආදි ලොව ප්රමුඛ පෙලේ රටවල් ය. වෛරසය ව්‍යාප්තිය සඳහා මුල් වූ හේතුව තවමත් නිශ්චිත නොවුනද, එය වවුලන් හා සර්ප විශේෂ හරහා මිනිස් සිරුර තුළට ඇතුළු වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
රෝගය සාර්ථක ලෙස මැඩ පවත්වමින් මරණ අනුපාතය 0.6% තරම් වූ අවම අගයක පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ මූලික ලෙසම මිනිසුන් තම පෞද්ගලික සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍ය අංශ සඳහා තම දායකත්වය දැක් වූ නිසාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මූලික කාරණා කිහිපයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ තනි පුද්ගලයන් ලෙස තමා රෝගයෙන් ආරක්ෂාවීම හා තමා තුළින් අනෙකාට රෝගය සම්ප්‍රේෂණය වීම වැලැක්වීම තුළින් පහසුවෙන් මෙම රෝගය පාලනය කල හැකි බවයි. මේ වන තුරු සුදුසු ප්‍රතිශක්තිකරණ එන්නතක් නිශ්චිතවම මේ රෝගයට එරෙහිව නිපදවා නොමැති වීමත්, ආසාදිත රෝගින් හට ලබාදීමට කිසිදු සාර්ථක ඖෂධයක් නොමැති වීමත් හේතුවෙන් මෙම රෝගය පැතිර යාම අතිශය භයානක වී තිබේ.
හැකිතාක් දුරට නිවසෙහි රැඳී සිටීම
අත්‍යාවශ්‍ය කටයුත්තක් නොමැතිනම් නිවසින් බැහැර වී නොයා නිවස තුළම රැඳී සිටීම තුළින් සමාජය තුළ සිටින රෝග වාහකයන් හරහා තමාට රෝගය වැලඳීම වලක්වා ගැනීමට හැකිය. නමුත් අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරට යන්නේ නම් නිවසේ එක් අයෙකු පමණක් බැහැර වී යාමත්, නිවසින් පිටත සිටින සෑම අවස්ථාවකදීම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, විෂබීජනාශක යොදා දෑත් සේදීම, මුඛ ආවරණයක් පැලඳීම ආදී සෞඛ්යාරක්ෂිත ක්රමෝපායන් අනුගමනය කිරීමත් අත්‍යාවශ්‍ය වේ. අත්‍යාවශ්‍ය කටයුතු කර ගැනීමෙන් පසු නිවසට පැමිණි වහාම සියළු ඇඳුම් විෂබීජහරණයට ලක් කල යුතු අතර තමා ද හොදින් පිරිසිදුවීම තුලින් නිවැසියන්ට රෝගය බෝවීම වලක්වාලිය හැකිය.

සබන් යොදා දෑත් සේදීම
කොරෝනා වෛරසය ලිපිඩ ආවරණයකින් වට වූ RNA වෛරසයක් ලෙස වර්ගීකරණය කර ඇත. මෙම ලිපිඩ ආවරණය විනාශ වූ පසු සෛලීය න්‍යෂ්ටික ද්‍රව්‍ය පරිසරයට නිරාවරණය වීම හේතුවෙන් වෛරසය පැතිරි යාම හා ශරීරය තුළට ඇතුළු වී ගුණනය වීම වලකි. ලිපිඩ ආවරණය බිඳ හෙලීම සඳහා ලිපිඩ පහසුවෙන් දියවී යන සබන් හෝ විෂබීජනාශක දියරයකින් දෑත් සේදීම කල යුතුය. එවිට අතෙහි තැවරි ඇති වෛරස අංශු වේනම්, ඒවායේ ලිපිඩ ආවරණය බිඳී යන හෙයින් වෛරසය විනාශ වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෙසේ විෂබීජනාශක යොදා තත්පර විස්සක් පමණ දෑත් සේදිය යුතු අතර එහිදි අත්ල, පිට අත්ල, ඇඟිලි, නියපොතු හා මැණික් කටුව දක්වා සේදීම කල යුතුය. ජලය යොදා දෑත් සේදීම අපහසු අවස්ථාවන් වලදී පහසුවෙන් වියලි තත්වයට පත්වන විෂබීජනාශක දියරයක් භාවිත කිරීම සිදුකල හැකිය. බැහැරට ගොස් පැමිණි සෑම අවස්ථාවකම, පොදු ස්ථාන හෝ පොදු භාණ්ඩයක් පරිහරණය කල ඕනෑම අවස්ථාවක සහ පොදු ප්‍රවාහන සේවයක් භාවිත කල අවස්ථාවක අවශ්‍යතාවය පරිදි අත් සේදීමේ වාර ගණන වෙනස් වේ.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම
සෞඛ්‍ය අංශ දැනුම් දෙන පරිදි ඕනෑම ස්ථානයකදී පුද්ගලයන් දෙදෙනෙකු අතර අවම වශයෙන් මීටරයක දුරස්ථභාවයක් පවත්වා ගත යුතුය. මෙම රෝගය ශ්වසන රෝගයක් වන අතර ආසාදිත පුද්ගලයෙකුගේ කෙල බිඳිති හෝ කිවිසුමකදී පිටවන බිඳිති හරහා රෝගය ව්‍යාප්ත වීම සිදුවේ. සාමාන්‍යයෙන් කිවිසුමකදී කෙළ බිඳිති ගමන් කළ හැකි උපරිම දුර මීටරයක් පමණ වන නිසා මෙලෙස දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම වැදගත් වේ. එමඟින් අන් අයගෙන් ඔබටද, ඔබෙන් අන් අයටද රෝගය ව්‍යාප්ත වීම පාලනය වන අතර උපරිම සුරක්ෂිතභාවයක් ඇති කර ගැනීමට හැකිවේ. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේදි තමන් හඳුනන, කලකින් හමුවන පුද්ගලයෙකු වුවද වැලඳ ගැනීමෙන් හා අතට අත දීමකින් තොරව කතාබහ කොට නික්ම යාම අගනා දෙයකි.

අනවශ්‍ය ලෙස පුද්ගල ඒකරාශී වීම් වැලැක්වීම
වෙළඳසැල්, බැංකු ආදී සේවා ස්ථාන තුළ අනවශ්‍ය ලෙස පුද්ගල ඒකරාශීවීම් වලක්වා ගත යුතු අතර පවුලේ හිතවතුන්, අසල්වාසීන් අනවශ්‍ය ලෙස එක්රැස් වී කටයුතු කිරීම, උත්සව පැවැත්වීම, සුහද හමු පැවැත්වීම සිදු නොකළ යුතුය. කෙතරම් විශ්වාසදායක, හිතවත් පුද්ගලයෙකු වුවද රෝග ලක්ෂණ නොපෙන්වන රෝගවාහකයෙකු බවට පත්වී ඇත්නම්, තමාද රෝගියෙකුවීමේ ඉහළ අවදානමක් පවතී. විවාහ උත්සවයක්, අවමංගල්‍යයක් වැනි කිහිපදෙනකු එක් රැස්වීම අත්‍යාවශ්‍ය අවස්ථාවකදී රජයේ නිරෝධායන රෙගුලාසිවලට යටත්ව, රැස්විය හැකි උපරිම සීමාව පමණක් එක් රැස්වීමෙන් එම කටයුත්ත සිදුකළ යුතුය. නමුත් එවන් අවස්ථාවන් සඳහා මූලික රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන්, ස්වයං නිරෝධායනයට ලක්වන්නන්, මාස කිහිපයක් ඇතුලත විදෙස් රටක සිට පැමිණි පුද්ගලයන් සහභාගි නොකර ගත යුතුය. එවන් ඒකරාශීවීම් සඳහා හැකිතාක් දුරට සහභාගී වීමෙන් වැලකී සිටීම හරහා තම සෞඛ්‍යාරක්ෂිතබව තහවුරු කර ගත හැකිය.
සුදුසු මුඛ ආවරණ පැලඳීම
මෙයද කෙල බිඳිති හරහා රෝගකාරක විෂබීජ පැතිර යාම වැලැක්වීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ගයකි. වෙළෙඳපොළේ වර්ග කිහිපයක මුඛ ආවරණ පවතින අතර තමා සමාජය තුළ ගැවසෙන ප්‍රමාණය, මුණ ගැසෙන මිනිසුන්, තමාට වෙනත් ශ්වසන රෝග පැවතීම, තමා අත්‍යවශ්‍ය සේවාවක නිරත වීම යන කරුණු මත සුදුසු මුඛ ආවරණයක් පැලඳීම සිදු කල යුතුය. එක් වරක් භාවිතයෙන් පසු විනාශ කළ යුතු මුඛ ආවරණ සේම පිරිසිදු කිරීමෙන් අනතුරුව නැවත නැවතත් භාවිතා කල හැකි මුහුණු ආවරණද පවති. නැවත නැවතත් කිහිප වරක් භාවිතා කල හැකි මුඛ ආවරණ පැලඳීමේදී ඒවා විෂබීජවලට නිරාවරණය වීමේ හැකියාව මත සුදුසු පරිදි බැහැර කල යුතුය. එනම්, එවැනි මුඛ ආවරණයක් විෂබීජවලට නිරාවරණය වූයේ යැයි කිසියම් සැකයක් පවතින අවස්ථාවකදී එම මුඛ ආවරණය ඉවත් කොට නව මුඛ ආවරණයක් භාවිතයට ගත යුතුය. එසේම මුඛ ආවරණයක් පැලඳීමේදී නිවැරදි මුහුණත පැලඳීමට වග බලා ගත යුතුය. තවද, භාවිතයෙන් අනතුරුව මුඛ ආවරණයක් බැහැර කිරීමේදී ආවරණයේ මුහුණත් ස්පර්ශ කිරීමකින් තොරව පටිවලින් අල්ලා ගලවා, සුදුසු ලෙස බැහැරකල යුතුය. එමෙන්ම එසේ බැහැර කරන ලද මුඛ ආවරණයක් නැවත පුද්ගලයෙකුගේ අතට පත්වීමට හෝ පිරිසිදු මුඛ ආවරණ සමඟ මුසු වීම වැලැක්වීමට වග බලා ගත යුතුය. තවද, තමා පැලඳ සිටින මුඛ ආවරණය නිතර නිතර ස්පර්ශ කිරීම, ගැලවීම සහ බෙල්ලේ පැළදීම ආදිය නොකල යුතුය.

නිතර නාසය හා ඇස් ස්පර්ශ කිරීමෙන් වැලකීම
කොරෝනා වෛරසය පමණක් නොව ඕනෑම ශ්වසන රෝගයක් පැවතීමේදී තම නාසය, මුඛය, ඇස් අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම සිදු නොකල යුතුය. තමා නොදැනුවත්වම හෝ රෝගියෙකු හෝ රෝගවාහකයෙකු බවට පත්ව සිටී නම් එසේ නාසය, මුඛය ස්පර්ශ කිරීම හරහා රෝගකාරක වෛරසය සහිත කෙල බිඳිති තම අතෙහි තැවරෙන අතර නොදැනුවත්වම හෝ යම් කිසි පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් රෝගකාරකය වෙනත් පුද්ගලයෙකු වෙතත් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවති. තවද, නොදැනුවත්වම එවන් විෂබීජ තැවරුණු පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් පසු රෝගකාරක තම අතෙහි තැවරි, එය තම මුඛය හා නාසය ස්පර්ශ කිරීමේදී තම ශරීරයට ඇතුළු වී තමා රෝගියෙකු බවට පත් කිරීමට ඉඩ ඇත. එබැවින් අනවශ්‍ය ලෙස තම මුහුණ අතපත ගෑම සිදු නොකල යුත්තකි. එය ශ්වසන රෝග පමණක් නොව බොහෝ රෝගවලින් ආරක්ෂාවීමට අප විසින් ඇති කර ගත යුතු යහපත් සෞඛ්‍ය පුරුද්දකි.

උණ, ශ්වසන රෝග ආදී සැක සහිත ලක්ෂණ පවතින්නේ නම්,
ඔබට කොවිඩ් 19 රෝග ලක්ෂණ පවතින්නේ නම් ඒ බව සැඟවීමකින් තොරව සෞඛ්‍ය අංශ කෙරෙහි දන්වා සිටිය යුතුය. මෙම රෝගයෙහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව පවතින අතර හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමු වීම තුළින් රෝගය උත්සන්නවීම හා රෝගය පැතිර යාම වලක්වා ගත හැකිය. එසේම තමා ස්වයං නිරෝධායනයකට යොමු වන පුද්ගලයෙකු නම් නිවැසියන්ගෙන්, විශේෂයෙන්ම කුඩා දරුවන්ගෙන් හා වැඩිහිටි පුද්ගලයන්ගෙන් වෙන්වී ඔවුන්ට රෝගය සම්ප්‍රේෂණය වීම වැලකෙන පරිදි කටයුතු කල යුතුය. ස්වයං නිරෝධායන කාලසීමාව තුළදී සැකකටයුතු රෝග ලක්ෂණ පහළ වන්නේනම් හැකි ඉක්මනින් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැනුවත් කිරීම ද කල යුතුය. තවද, කිවිසුම් යැවීමකදී ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිත කල යුතු අතර ලේන්සුවක්නම් එය භාවිතයෙන් අනතුරුව හොඳින් සෝදා වියලා පිරිසිදු කර ගත යුතුයි. ටිෂූ කඩදාසියක් භාවිත කරන්නේ නම්, එය භාවිතයෙන් පසු නිසි පරිදි බැහැර කල යුතුය. ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීමට නොහැකි අවස්ථාවකදී වැලමිටෙහි ඇතුළු පැත්තෙන් නාසය හා මුඛය ආවරණය කර ගත හැකි අතර කිසිඳු අවස්ථාවකදී අත්ල භාවිත නොකල යුතුය. මන්ද, හදිසියේ හෝ විෂබීජ අත්ලෙහි තැවරුණහොත් ස්පර්ශ කිරීමකදී ඒවා වෙනත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැකි අතර අතෙහි වෛරස අංශු තැවරී තිබුණහොත් ඒවා නාසය හා මුඛය හරහා ශරීරය තුළට ඇතුළු විය හැකිය.
ඔබ අත්‍යාවශ්‍ය සේවාවක නිරත වන්නෙකු නම්
සෞඛ්‍ය අංශවල හෝ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවක නිරත වන පුද්ගලයෙකු නම් නිවසේ රැඳී සිටීම අපහසු වන අතර නිතර ජනතාව සමඟ ගැටීමට සිදුවන බැවින් ඒ සඳහා සෞඛ්යාරක්ෂිත ක්රමෝපායන් භාවිත කල යුතුය. ඒ සඳහා මුඛ ආවරණ හා අත්වැසුම් පැලඳීම, සෞඛ්යාරක්ෂිත ඇඳුම් කට්ටල භාවිතා කිරීම, නිතරම සබන් යොදා දෑත් සේදීම, භාවිතයෙන් පසු මුඛ ආවරණ හා ඇඳුම් ආයිත්තම් නිසි පරිදි බැහැර කිරීම හෝ පිරිසිදු කිරීම කළ යුතුය. තවද නිවසේ සාමාජිකයන්ගෙන් හැකිතාක් ඈත් වී සිටීමත්, නිවසින් බැහැරදී හැකි උපරිම මට්ටමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීමට පුලුවන. එසේ අත්‍යාවශ්‍ය සේවාවක නිරත වන පුද්ගලයෙකු නම් සේවය නිමවීමෙන් පසුව මිනිසුන් බහුලව ගැවසිය හැකි වෙළඳසැල්, බැංකු, මහාමාර්ග අවට ගැවසීමෙන් වැලකී, නිවස බලා ගොස් පිරිසිදුවීම අත්‍යාවශ්‍ය වේ. කෙතරම් අත්‍යාවශ්‍ය සේවාවක් වුවද තමා තුළ කොවිඩ් 19 රෝගයෙහි මූලික රෝග ලක්ෂණ පවතින්නේ නම් සේවයට වාර්තා නොකර, වෛද්‍ය උපදෙස් පිලිපදිමින් විවේකයෙන් නිවසේ රැඳී සිටිය යුතුය. තම සේවා ස්ථානයේ පුද්ගලයෙකු හට මෙම මූලික රෝග ලක්ෂණ පවතින්නේ නම් ඔහු හට සේවයට වාර්තා නොකිරීමේ නිදහස ලබාදීම ආයතන ප්‍රධානීන් සතු වගකීමක් වන්නේය.
සේවා ස්ථානය තුළදි
තම සේවා ස්ථානය තුළදී ඉහත කී සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතු අතර ඊට අමතරව තම පෞද්ගලික ආරක්ෂාව හා සේවකයන්ගේ හා සේවාලාභීන්ගේ ආරක්ෂාව පිළිබඳව මූලික අවධානයක් යොමු කල යුතු වේ. එහිදී තමා පෞද්ගලිකව භාවිත කරනු ලබන කෝප්ප, පිඟන් ආදිය හවුලේ භාවිත කිරීම සිදු නොකල යුතු අතර එසේ හවුලේ භාවිත කිරීමට සිදු වූ අවස්ථාවක ඒවා විෂබීජනාශක යොදා පිරිසිදු කිරීම සිදු කල යුතුය. තවද සේවකයන් හා සේවාදායකයන් නිතර ස්පර්ශ කරනු ලබන උපකරණ විෂබීජහරණය කිරීමද සිදු කල යුතුය. ලිපිද්‍රව්‍ය සියළුදෙනා පොදුවේ පරිහරණය කිරීමකින් තොරව එක් එක් පුද්ගලයාට පෞද්ගලිකව භාවිත කිරීමට හැකි උපකරණ එසේ භාවිත කිරීම තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගත හැකිය.
කාර්යාලයක හෝ බැංකුවක සේවය ලබා ගැනීමට යෑමේදී පෑන්, පැන්සල් ආදී තමාට අත්‍යාවශ්‍ය දේ රැගෙන යාම තුළින් අන් අය ස්පර්ශ කල උපකරණ ස්පර්ශ කිරීමෙන් ඈත්වීමට අවකාශ ලැබේ. තවද, සේවකයා හා සේවාදායකයා අතර මීටරයක සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසු අවස්ථාවකදී (උදා: කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථාන නිර්වින්දන වෛද්‍යවරයෙකුගෙන් හෝ දන්ත වෛද්‍යවරයෙකුගෙන් සේවය ලබාගැනීම) මුහුණු ආවරණයක් හෝ මුඛ ආවරණයක් හා ඇස් ආවරණයක් පැලඳීම අනිවාර්යයෙන්ම සිදුකල යුතුය.
ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම
මෙම රෝගයට එරෙහිව තවමත් සාර්ථක ඖෂධයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති වීම කනගාටුදායකය. මෙම වෛරස් රෝගය පහසුවෙන් බෝවිය හැකි රෝගයක් වන නිසා ඉන් ආරක්ෂාවීම සඳහා තම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගත යුතුය. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, සුදුසු පරිදි ගෘහස්ථව ව්‍යායාමවල යෙදීම සහ හැකිතාක් තම මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කිරීම සිදුකල යුතුය. නිවස තුළම රැඳී සිටින බැවින් ඒකාකාරි බව හේතුවෙන් මානසික ව්‍යාකූලතා ඇති විය හැකි නමුත් නිවැසියන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, ගෙවතු වගා සඳහා යොමුවීම, තම දක්ෂතා වර්ධනය වන ක්‍රියාකාරකම්වල නිරතවීම, ආගමික කටයුතුවල නිරතවීම ආදිය හරහා තම මානසික සහනය පවත්වා ගැනීමට හැකිවේ.
යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම තුළින් තම සිරුරෙහි ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගත හැකි අතර එමගින් රෝග බෝවීමේ අවදානම හා හැකියාව අවම වේ. මීට අමතරව ප්‍රතිශක්තිකරණය වර්ධනය වන කොත්තමල්ලි, වෙනිවැල්ගැට ආදී ස්වාභාවික පාන වර්ග ලබාගැනීම හරහාද සිරුරේ රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කර ගත හැකිය. නමුත් මධ්‍යසාර පානය තුළින් රෝගයෙන් ආරක්ෂාවක් ලැබේය යන්න හුදු මිත්‍යා මතයක් වන අතර මධ්‍යසාර හා දුම්වැටි භාවිතය ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන කරන්නක් බැවින් පහසුවෙන් රෝගවලට ගොදුරුවීමේ හැකියාවක් ඇති වේ.

මිත්‍යා මතවලින් බැහැර වී කටයුතු කිරීම
මෙම රෝගය මුළුමහත් පෘථිවි තලයටම නව අත්දැකීමක් වන හෙයින් මේ වටා මිත්‍යා මත, අසත්‍ය ඇදහිලි හා විශ්වාස ගොඩ නැගීමට වැඩි ඉඩකඩක් පවතී. නමුත් ඒවා විද්‍යාත්මකව හා බුද්ධිමත්ව සලකා බලා අනවශ්‍ය කරුණු බැහැර කිරීම තුළින් අපගේ සෞඛ්‍ය තත්තවය යහපත් මට්ටමක පවත්වා ගැනීමට හැකිවේ. එවන් මිත්‍යා මත කිහිපයක් සැකෙවින් සලකා බලමු.
- ශල්‍ය මුඛ ආවරණ (surgical face mask) පැළඳීමේදී කාබන්ඩයොක්සයිඩ් වායුව එකතු වීම හා ඔක්සිජන් වායුව අවම ලෙස ලැබේ යැයි විශ්වාස කිරීම. ශල්‍ය මුඛ ආවරණ නිපදවා ඇත්තේ පරිසරයේ පවතින ඔක්සිජන් වායුව පෙරීමකින් පසු නාස් පුඩු තුළට ඇතුළු වන පරිදි හා කාබන්ඩයොක්සයිඩ් වායුව පෙරීමකට ලක් කොට නාස් පුඩුවලින් ඉවත්වන පරිදිය. මෙහිදි කිසිඳු ලෙසකින් වායු මට්ටම්වල වෙනසක් සිදු නොවන අතර මුඛ ආවරණ පෙරණයක් ලෙස පමණක් ක්‍රියා කරමින් ඇතුළුවන හා පිටවන වාතය විෂබීජහරණයට ලක් කරයි.
- මද්‍යසාරය භාවිතයෙන් කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීමට හැකියැයි විශ්වාස කිරීම. මෙහි සත්‍ය කරුණ නම් මද්‍යසාර ප්‍රතිශතය නියමිත මට්ටමක පවතින විෂබීජනාශකයක් යොදා නිරතුරුව දෑත් සේදිය යුතු බවය. නමුත් මද්‍යසාර පානය කිරීම නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවන බැවින් පහසුවෙන් රෝගවලට ගොදුරුවීමේ අවදානමක් පවති. එබැවින් මද්‍යසාර හා දුම්වැටි භාවිතයෙන් හැකිතාක් ඈත්විය යුතුය.
- හිරු එළියට හෝ අධික උෂ්ණත්වයකට නිරාවරණය වීම හරහා ශරීරයේ පවතින විෂබීජ විනාශ වේයැයි විශ්වාස කිරීම. මෙයද ජීවිත අවදානමක් ඇතිවිය හැකි ක්‍රියාවකි. අධික උෂ්ණත්වවලදී විෂබීජහරණයක් සිදු වුවද ශරිරයේ පවතින විෂබීජ විනාශ කිරීමට එම ක්‍රමය භාවිතා කල නොහැකිය. එමඟින් පිලිස්සුම් තුවාල හා විජලන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් එවන් ක්‍රියාවන් සිදු කීරීමෙන් වැලකිය යුතුය.
- පිරිසිදුකාරක භාවිතයෙන් (disinfectant, bleaching) ශරීරය සේදීම හරහා විෂබීජ විනාශ වේයැයි විශ්වාස කිරීම. මෙය ද ශරීරයේ පිළිස්සුම් තුවාල ඇතිවී එමඟින් විජලන තත්ත්වයක් ඇතිවිය හැකි අනුවණ ක්‍රියාවකි. ඇතැම් විෂබීජනාශක ශරීරය පිරිසිදු කිරීමට යොදාගත හැකි නමුත් ඇතැම් විෂබීජනාශක පවතින්නේ ද්‍රව්‍ය පිරිසිදු කිරීමට පමණි. මේවා ව්‍යාසාධක හා ප්‍රතිපූතික ලෙස දෙකොටසකි. එවන් නොගැළපෙන විෂබීජනාශක යොදා ශරීරය පිරිසිදු කිරීම අනතුරුදායක වන අතර ජීවිත අවදානමක්ද ඇතිවේ.
මීට අමතරව මෙම වසංගත රෝගයෙන් අපව ආරක්ෂා වීමටත්, මෙම රෝගයෙන් පීඩා විදින සියලුම දෙනා හට නිරොගි බව ලැබීමටත් සෙත් පැතීම, මනුෂ්‍යයන් වශයෙන් අපට කළ හැකි තවත් විශේෂ කරුණක් ලෙස හැදින්විය හැකිය .
නිවැරැදි ක්‍රියා පිලිවෙත් අනුගමනය කළහොත් ශ්‍රී ලංකාවෙන් මෙන්ම මුලු මහත් ලෝකයෙන්ම මෙම භයානක වසංගත රෝගය නෙරපා දැමිය හැකිය. නමුත් මේ පිලිබදව නිරන්තර අවධානය යොමු නොකළහොත්, ඔබේ ජීවිතය පමණක් නොව, ඔබේ දෙමාපියන්ගේත්, දූ දරුවන්ගේත්, අනෙකුත් ආදරණීයන්ගේත් ජීවිත අනතුරේ වැටෙනු නොඅනුමානය.