ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් සමග ඉතා සමීප කුළු බඩු ගණයට අයත් ශාක අතරින් ප්‍රධාන වන ශාකයක් ලෙස කුරුදු හැඳින්විය හැකිය. මනා සුවඳකින් යුක්ත කුරුඳු පොතු විවිධාකාර අයුරින් යොදා ගනියි. ශ්‍රී ලාංකීය දකුණු වෙරළ බඩ කලාපයේ ද හොඳින් වැවෙන මෙම ශාකය, අධික වර්ෂාව ලැබෙන ප්‍රදේශවල ද වගා කළ හැකිය. එයට හේතුව වන්නේ මෙම ශාකය වර්ධනය සඳහා මනා ජල වාෂ්ප ආර්ද්රවතාවයක් අවශ්‍ය වීමයි. අතීතයේ සිටි මිනිසුන් රත්රන් වලටත් වඩා කුරුදු වටිනා බව විශ්වාස කල බව පැවසේ. ප්‍රධාන වශයෙන් කුරුඳු වර්ග දෙකක් ලෝකය තුළ වගා කෙරේ. ඉන් එකක් ශ්‍රී ලංකා කුරුඳු ලෙසත්, අනෙක චීනයේ වැවෙන කුරුඳු වර්ගය ලෙසත් නම් කෙරේ. මෙම කුරුඳු වර්ග දෙකෙහි ප්‍රධාන වෙනස වන්නේ, චීනයෙන් ලැබෙන කුරුදු වර්ගයේ coumarin නම් රසායන ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වීමයි. එය අක්මාවට අහිතකර වේ. නමුත් ශ්‍රී ලංකාවේ වැවෙන කුරුඳු ප්‍රභේදය ඖෂධීය ගුණ වලින් ඉතා ඉහළ වේ. එසේම ලෝකයේ හොදම කුරුඳු තිබෙනුයේ ශ්‍රී ලංකාවේ වීම පිලිබදව අපි සැවොම ආඩම්බර විය යුතුය.
කුරුඳු ශාකය
Cinnamomum verum යනු කුරුඳුවල විද්‍යාත්මක නාමයයි. කුළු බඩු ලෝකයේ ඉහළ තත්වයක් උසුලන කුරුඳු ශාකයේ කදෙහි පොතු, ආහාර පිසීමේදී භාවිත වෙයි. ශ්‍රී ලංකාවට ආවේණික සදා හරිත ශාකයක් වන මෙය “Luraceae” කුලයට අයත් වේ. උසින් 10m -15 m වන මෙම ගස ඕවලාකාර පත්‍ර වලින් යුක්ත වෙයි. පත්‍රයක දිග 7-19 cm පමණ වේ. කුරුඳු ගසෙහි ඵලය කොළ පැහැයක් ගන්නා අතර ඒක බීජ ඵලයක් වෙයි. කදෙහි පොතු වෙන් කර වියළා ගැනීමෙන් පසුව වෙළෙඳපොළ මිලක් ලබාගැනීමට හැකිය. කුරුඳු ශාකයේ විවිධ ප්‍රභේද රැසක් දක්නට ලැබෙයි. පැණි කුරුඳු, පත් කුරුඳු, මාපත් කුරුඳු, නාග කුරුඳු, පැණි මිරිස් කුරුඳු, සෙවල කුරුඳු, කහට කුරුඳු හා පීරිස් කුරුඳු යනු මේවායින් සමහරකි.
කුරුඳු ගසට වයස අවුරුදු තුනක් පමණ වන විට අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය. අවුරුදු 40-50 පමණ කාලයක් අස්වනු ලබාදෙන මෙම ශාකය ඉතාම වටිනා කුළු බඩු ශාකයකි. කුරුඳු ශාකයේ අතු කෙලින් වර්ධනය වීමට වගාකරුවන් සලස්වයි. එමගින් අස්වැන්නේ ගුණාත්මක බව වැඩි කර ගත හැකි බවට ඔවුන් විශ්වාස කරයි. අස්වනු නෙලීමෙන් පසුව වගාකරුවන් නැවතත් කුඩා පැල එම ස්ථාන වල සිටුවනු ලබයි. මෙමගින් ඒකාකාර වගාවක් හා ඒකාකාර අස්වැන්නක් ලබා ගැනීමට පුලූවන. අස්වනු නෙලීම මනා පුහුණුවකින් යුක්තව මිනිස් ශ්‍රමය යොදාගෙන සිදු කරයි. කුරුඳු ගසේ දලූ සාමාන්‍යයෙන් රතු පැහැයක් ගන්නා අතර අස්වනු නෙලන කාලයේ දී ඒවා කොල පැහැයට හැරෙයි. අස්වනු නෙලීමේ දී අමතර අතු රිකිලි කපා දමයි. කුරුඳු කොළ, දළු හා ඇට අඹරා කුරුඳු තෙල් සෑදීම සිදු කරයි.

කුරුඳු තැලීම
කුරුඳු ගස් වල පිට පොත්ත ගලවා වියලා වසුනක් ලෙස භාවිත කරයි. ගසෙහි ඇතුල් පොත්ත පිත්තල දණ්ඩකින් ලිහිල් කර ගත හැකිය. පසුව, පිත්තල හෝ මල නොබැඳෙන වානේ වලින් සෑදු තියුණු පිහියක් යොදා ගෙන ඒවා කැබලි වලට කපා ගැනේ. මෙම විශේෂ පිහිය, කෝ කැත්ත නම් වේ. අස්වනු නෙළා ගැනීමෙන් පසුව කුරුඳු කෝටු (quills) සම්මත වශයෙන් 105 cm දිගින් යුතු 25 kg පමණ වන පරිදි මිටි බැඳ වෙළඳපොලට යැවීමට සූදානම් කරයි. වෙළඳපොලට යැවීම සඳහා නෙලාගත් කුරුඳු පොතු වල තෙතමනයය 14% පමණ වන තෙක් පවනේ වියළා ගත යුතුය. වෙළඳපොළ ඉල්ලූම වැඩි වනුයේ නොකැඩුණු කුරුදු කෝටු වලට ය. කෙසේ වුව ද කැඩුණු කොටස් දිගු කෝටු අතරට පිරවීම සිදු කරයි.
කුරුඳු වලින් බොහොමයක් නිෂ්පාදන කළ හැකිය. කුරුඳු තෙල්, කුරුඳු කුඩු, කුරුඳු අඩංගු ඖෂධීය පානයන්, කුරුඳු තේ, කුරුඳු අඩංගු පෙති වර්ග ද මෙමගින් නිෂ්පාදනය කරනු ලබයි. තවද, කුරුඳු ආශ්රිත නිෂ්පාදන වෙනත් රටවලට අපනයන කිරීම ද සිදුකරයි. ඒ මඟින් ලැබෙන විදේශීය මුදල් ශ්‍රී ලංකා ආර්ථිකයට මහඟු පිටුවහලකි. කුරුඳු ආශ්රිත නිෂ්පාදන වර්ගීකරණ රාමුවකට යටත්ව සිදු කරයි. එම වර්ගිකරණය යටතට ඇල්බා සහ C5-SP අයත් වෙයි. ඇමරිකා එක්සත් ජනපදය හා මෙක්සිකෝව වැනි රටවල් වලට කුරුඳු නිෂ්පාදන ප්‍රධාන වශයෙන් මෙරටින් අපනයනය කරනු ලබයි.

ප්‍රයෝජන
කුරුඳු යනු ඉතාම ඉහල ඖෂධීය ගුණාංග අඩංගු කුළු බඩු ශාකයකි. අතීතයේ පටන්ම රජවරුන්ට තෑගි ලෙස ද මෙම කුරුඳු නිෂ්පාදන ලබාදීම සිරිතක්ව පැවතුණි. ශ්‍රී ලංකාව මෙන්ම ඊජිප්තුව වැනි රටවල ද අතීතයේ පටන් කුරුඳු නිෂ්පාදන භාවිත කළ බවට සාක්ෂි ලැබී ඇත. මෙහි ඇති ඉතාම ඉහළ ඖෂධීය ගුණය නිසා නිරතුරුවම වෙදකම් ආශ්රිත කටයුතු වලදී කුරුඳු යොදා ගනී.
කුරුඳුවල ඇති ආවේණික සුවඳ හා රසය එහි ඇති තෙල් සහිත කොටස් නිසා ලැබෙන අතර සිනමල්ඩිහයිඩ් නම් රසායන ද්‍රව්‍ය වැඩි වශයෙන් අඩංගු වේ. විද්‍යාඥයින්ගේ මතය අනුව කුරුඳු වල ඇති බොහෝ ගුණයන් වලට මෙම රසායනික ද්‍රව්‍ය හේතු වේ.
කුරුදු ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් ඉහළ කුළුබඩු වර්ගයකි. මෙම ප්‍රතිඔක්සිකාරක මගින් නිදහස් ඉලෙක්ට්‍රෝන වලින් ශරීරයට සිදු කරන හානිය අවම කරයි. කුරුඳු වල පොලිෆීනෝල් නම් සංයෝගය ඉතාමත් ඉහල ප්‍රමාණයෙන් අඩංගු වෙයි. එම නිසා කුරුඳු, ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙසද භාවිත කෙරේ. කුරුඳු වල ඇති තවත් බොහොමයක් සංයෝග නිසා ශරීරය විවිධ ආසාදන වලින් ආරක්ෂා කරයි. එමෙන්ම ශරීරයේ පේශි සකස් කිරීමට ද ඉවහල් වෙයි.
කුරුඳු මගින් හදවත් රෝග අඩු කිරීමක් ද සිදුවේ. සමාජයේ මේ වන විට ඉතාම සීඝ්රයෙන් පැතිරී යන බෝ නොවන රෝගයක් වන හදවත් රෝග වලට විවිධාකාර ප්‍රතිකාර තිබුණද, ඒවායින් වැළකී සිටීමට හොඳ සෞඛ්‍ය රටාවක් හා මනා ආහාර පරිභෝජනයක් තිබිය යුතුමය. කුරුඳු අඩංගු ආහාර හා නිෂ්පාදන එදිනෙදා ආහාර වේලට එක්කර ගැනීම තුළින් හදවත් රෝග වලට ඇති අවදානම අඩුකරගත හැකිය. මෙය අතීතයේ පටන් භාවිත වන්නකි.
දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන අයට කුරුඳු කුඩු තේ හැන්දක් දිනකට පානය කිරීම ශරීරයට හිතකර බව සොයාගෙන ඇත. තවද, කුරුදු වලින් ශරීරයේ ඇති අහිතකර කොලෙස්ට්‍රෝල් හෙවත් LDL කොලස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ මට්ටම අඩු කිරීම සිදු කෙරේ. ඒත් සමගම හිතකර කොලෙස්ට්‍රෝල් හෙවත් රුධිරයේ ඇති HDL මට්ටම වැඩි කර ප්රශස්ත මට්ටමකින් පවත්වාගෙන යෑමට ද කුරුඳු ඉවහල් වේ. මෙම හේතු සියල්ලම නිසා හදවත් රෝග අවදානම අඩු කිරීමට කුරුඳුවලට විශාල හැකියාවක් තිබේ.

කුරුඳු වල ඇති සෞඛ්‍ය ආරක්ෂිත රසායන ද්‍රව්‍ය මඟින් ස්නායු පද්ධතිය ආශ්රිත රෝග හා ආබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි. පාකින්සන් හා ඇල්සෙම්හියර් වැනි රෝගවලට වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව කුරුඳු මගින් ලබාදෙයි. ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග වලටද ඖෂධයක් ලෙස කුරුඳු භාවිතා කෙරේ.
දියවැඩියාවට එරෙහිවන කුරුඳු
කුරුඳු වලින් ඉන්සියුලින් හෝමෝනයට ඇති සංවේදී භාවය වැඩි කරයි. ඉන්සියුලින් යනු රුධිර සීනි මට්ටම පාලනයට මෙන්ම ශරීරයේ බොහෝ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ද වැදගත් වන හෝමෝනයකි. ශරීරයේ රුධිර ධාරාවන් හරහා රුධිර ගත සීනි මට්ටම යාමනය සඳහා ශරීරගත සෛල වලට ඉන්සියුලින් සැපයීම වැදගත් වෙයි. වර්තමාන සමාජයෙහි විශාල ගැටලූවක් වී ඇති දියවැඩියා තත්වයේදී ශරීරයේ ඇති ඉන්සුලින් ප්‍රමාණවත් නොවේ. මෙය ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය ලෙස හඳුන්වයි. කුරුඳුවල ඉන්සියුලින් වලට ඇති සංවේදී බව නිසා ඉන්සියුලින් ප්‍රතිරෝධී භාවය අඩු කරයි.
රුධිරගත සීනි මට්ටම යාමනය කිරීමට ඇති හැකියාව නිසා දියවැඩියාව වැනි රෝග රැසක් පාලනයට කුරුඳු යොදාගත හැකිය. ආහාර වේලක් ලබා ගැනීමෙන් අනතුරුව රුධිර ධාරාවට ඇතුළු වන ග්ලූකෝස් ප්‍රමාණය අඩු කිරීමට කුරුඳු වලට හැකියාවක් ඇත. මෙම ක්‍රියාව සිදු කරනුයේ විවිධ ජීරණ එන්සයිම වල උපකාරයෙනි. එමගින් ආහාර ජීර්ණ පද්ධතියේ කාබෝහයිඩ්රේට බිඳ දැමීම අඩු කරයි. තව ද, කුරුඳු වල ඇති රසායන ද්‍රව්‍ය මඟින් ශරීරයේ සෛල තුලට ලබාගන්නා ග්ලූකෝස් මට්ටම අවම කිරීමද සිදු කරයි.
පිළිකාවට එරෙහි කුරුඳු
අද සමාජයේ බහුලව කථා කරන සහ බහුලව හමුවන රෝගයක් ලෙස පිළිකාව හැදින්විය හැකිය. බෝ නොවන රෝගයක් වුව ද පිළිකාව ඉතා සීඝ්රයෙන් සමාජය වෙලා ගන්නා මාරක රෝගයක් බවට පත්ව තිබේ. පිළිකා රෝග ඇති වීම වැළැක්වීම හා පිළිකා සඳහා කරන ප්‍රතිකාර වලට කුරුඳු භාවිත කරන බවට මෑතක දී පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. මෙමගින් පිළිකා සෛල හට ගැනීම හා වර්ධනය වැළැක්වීමට උපකාර වේ. කුරුඳු වල ඇති ක්‍රියාකාරි සංයෝග මගින් පිළිකා සෛල මරා දමන අතර රුධිර සංසරණ පද්ධතියේ ලේ කැටිති ඇතිවීම ද වළක්වයි.
තවත් රෝග නසන කුරුඳු
කුරුදු වල ඇති තවත් ගුණාංගයක් ලෙස බැක්ටීරියා හා දිලීර රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව හැඳින්විය හැකි ය. කුරුඳු ශාකයේ අඩංගු සිනමැල්ඩිහයිඩ් මගින් මෙම හැකියාව ලබා දෙන අතර බොහෝමයක් ආසාදන වලට එරෙහිව ද ක්‍රියා කරයි. කුරුදු තෙල් ස්වසන පද්ධතියේ දිලීර මගින් ඇති කරන ආසාදන වලට ප්‍රතිකාර කිරීමටද යොදා ගනියි. Listeria හා Salmonella වැනි බැක්ටීරියා වර්ග වර්ධනය වීම වැළැක්වීමේ හැකියාව ද කුරුඳුවලට ඇත. තව ද කුරුදු, දත් දිරා යාමට එරෙහිව ද ක්‍රියා කරන බවට සොයාගෙන ඇත. වර්තමානයේ තිබෙන බොහෝමයක් දන්තාලේප නිෂ්පාදනය සඳහා ද කුරුඳු තෙල් භාවිත කරයි.
ඇතැම් විද්‍යාගාර පරීක්ෂණ වලදී කුරුඳු වලට HIV වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇති බවට ද තහවුරු කරගෙන ඇත. මේ රෝගය වැලඳුණු විට අදාල පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීම සිදුවේ. එබැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට ද කුරුඳු උපකාරී වේ. ඇස් පෙනීම ආශ්රිත ආබාධ හා රෝග සුවපත් කිරීම සඳහා කුරුඳු වල ඇති ඖෂධීය ගුණය යොදා ගත් බවට අතීත පොත පතෙහි සඳහන් වෙයි. තවද කුරුදු ස්වභාවික කෘමි විකර්ශකයක් ලෙසත් භාවිත වේ.

ආහාර පාන රසවත් කිරීමට
ඈත අතීතයේ පටන්ම ඉතාමත් ප්‍රචලිත කුළුබඩුවක් ලෙස කුරුදු හැඳින්විය හැකිය.ඒ අතරම විවිධ ආහාර සැකසීම සඳහා ද කුරුඳු යොදාගනියි. පැණි රස සහ මිරිස් රසැති ආහාර වර්ග සකසා ගැනීමට ද මේවා කුලූබඩු ලෙස යොදාගනී. ආහාර තාක්ෂණ කලාවේ වැඩි දියුණුවත් සමඟ එක් එක් ආකාරයේ ආහාර වර්ග නිපදවීමට අද සමාජය පෙලඹී ඇත. කුරුදු වල ඇති ඉතාම සිත් ඇදගන්නා සුලූ සුවඳ නිසා ඕනෑම ආහාරයක් රස ගැන්වීම සඳහා යොදාගත හැකිය. එසේම මෙහි ඇති පෝෂණ ගුණය දන්නා ඕනෑම කෙනෙක් කුරුඳු නිරන්තරයෙන් ම ආහාර පිළියෙළ කිරීම සඳහා භාවිත කරයි.
ශ්‍රී ලංකාවේ වැවෙන කුරුඳු ප්‍රභේදය නොහොත් Ceylon Cinnamon, වඩාත් පැණි රසකින් යුක්ත අතර අතුරුපස වැනි ආහාර සැකසීමේදී යොදා ගන්නේ මෙම වර්ගයයි. චීනයෙහි වැවෙන කුරුඳු වර්ගයට ඉතා හොඳ සුවඳක් ඇති අතර මදක් සැර රසකින් යුක්තය. එම නිසා මිරිස් සැරට ආහාර සකස් කරන අවස්ථා වලදී එම කුරුඳු වර්ගය භාවිත කිරීමට සූපවේදීන් කටයුතු කරයි. ආහාර සකස් කිරීමේදී කුරුඳු කැබලි මෙන් ම කුරුඳු කුඩු ද භාවිත කරයි.

සුප් වර්ග,සෝස් වර්ග, චට්නි වර්ග වැනි ආහාර සකස් කිරීමේදී රසකාරකයක් ලෙස කුරුඳු භාවිතා කරයි. මේ සඳහා කුරුඳු කුඩු සහ කුරුඳු පොතු යොදා ගත හැකිය. සයිඩර්, කෝපි, තේ, කොකෝවා වැනි පාන වර්ග සඳහා ද කුරුඳු එකතු කරගත හැකිය. වට්ටක්කා සමග සාදන පෑන් කේක් සෑදීමේදී කුරුඳු භාවිත වේ. ඇපල් සහ ඕට්ස් ඇට කුරුදු සමග එක්කර රසවත් ආහාරයක් සකසා ගත හැකිය. කුරුඳු එක් කිරීමෙන් ආහාර රුචිය වැඩි වෙයි.
තවද මෙහි ඇති ප්රතික්ෂුද්ර ජීවී හැකියාව නිසා ආහාර කල් තබා ගැනීමට කුරුඳු යොදා ගනියි. මෙමගින් ආහාරයේ සුරක්ෂිතතාවය වර්ධනය වන අතර මිනිස් පරිභෝජනය සඳහා සුදුසු ආකාරයෙන් ආහාර කල් තබාගැනීමට හැකි වේ. ආහාර නරක් කරන බැක්ටීරියා සහ පාන වර්ග මත වෙසෙන රෝග කාරක බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියා කිරීමට ඉතා ප්‍රබල හැකියාවක් කුරුඳු සතු වෙයි.
කුරුඳු තේ
ලෙඩ රෝග රාශියකින් ඔබව ආරක්ෂා කිරීමට හැකියාව ඇති කුරුඳු වලින් සාදන ස්වාභාවික කුරුඳු තේ දැන් වෙළදපොලේදී පහසු මිලට ලබාගැනීමට ඔබට හැකියාව පවතියි. මෙම තේ පානය තුලින් ඔබේ ශරීරයේ නිධන්ගත රෝග බොහෝමයකට සහනය ලබාගත හැකි අතර ඔබේ ශරීරයේ බර අඩු කිරීමට ද කුරුඳු තේ පානය තුළින් හැකි වේ. එසේම කාන්තාවන්ට සිහින් සිරුරක් ලබාගැනීමටත් කුරුඳු තේ පානය ඉවහල් වේ. ශරීරයේ ඇති මස් පිඩු වේදනාව සමනය කොට දිනපතා ඔබව ශක්තිමත්ව සහ නිරෝගිව තැබීමට මෙම තේ වර්ගයට හැකියාව පවතියි. මේ වන විටත් බොහෝ රටවල පුද්ගලයින් කිරි පිටි භාවිතයට තිත තබා මෙවැනි ශාක සාර පානයන් භාවිතයට පුරුදුව සිටියි. කුරුඳු විශාල වශයෙන් වැවෙන ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වීමට ලැබීම ඔබ අප සැම ලද භාග්‍යයක් වන අතර එයින් සියලූම දෙනා උපරිම ප්‍රයෝජනය ලබාගත යුතුය.

කුරුඳු වලින් සාදන පෙති
තම ශරීර සෞඛ්‍ය පිළිබඳව නිරන්තරයෙන් සිතන කෙනෙකුට කුරුඳු ආශ්‍රිතව නිෂ්පාදනය කරන ඖෂධීය පෙති විශේෂයක් මේ වන විට වෙලදපොලෙන් මිලදී ගත හැකිය. කොලෙස්ටරෝල් හා දියවැඩියාව වැනි රෝග වලින් පෙලෙන රෝගීන්ට ද මෙය අගනා ඖෂධයකි. ශ්‍රී ලංකානු කුරුඳු වර්ගය යොදා ගනිමින් සකස් කරන මෙම පෙති වර්ගය සන්සුන් මනසක් ඇති කිරීමට ද, දැඩි ආතතියෙන් මිදීමට ද, මොළයෙහි ක්‍රියාකාරිත්වය වැඩි කිරීම වැනි ක්‍රියාකාරකම් වලට ද උපකාරී වේ. එම නිසා මෙම පෙති වර්ගය මේ වන විට ලොව පුරා ප්‍රචලිත ඖෂධයක් බවට පත්ව තිබේ. 100% ක්ම කාබනික නිෂ්පාදනයක් වන මෙම නිෂ්පාදන මගින් රුධිර සීනි මට්ටම යාමනය කරන අතරම එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් ශරීරයට ආරක්ෂාව ලබා දෙයි. තවද කුරුඳු, සන්ධි වේදනාව සඳහා ද සුදුසු ඖෂධයකි. කුරුදු ශාකයේ ඇති සියලූම ඖෂධීය ගුණයන් මෙම පෙත්තෙහි අඩංගු වෙයි. එනම් විවිධ ආසාදන වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන්ට එරෙහිව ක්‍රියා කරන ඖෂධයක් ලෙස ද භාවිත කළ හැකිය. එසේම තවත් බොහොමයක් ප්‍රයෝජන මෙම නිෂ්පාදනය මගින් ලබාගත හැකිය. මෙම පෙති වර්ග වෙලදපොලෙන් පහසු මිලට ලබාගැනීමට ඔබට හැකියාව ඇති අතර ඒවා ලබාගැනීමේදී වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම අනිවාර්ය වේ.

රූපලාවණ්‍ය කටයුතු සඳහා කුරුඳු
කුරුඳු ශාකයේ නිෂ්පාදන ප්‍රයෝජනයට ගන්නා තවත් කර්මාන්තයක් ලෙස රූපලාවණ්‍ය ක්ෂේත්රය හැඳින්විය හැකිය. අතීතයේ පටන්ම කාන්තාවන් තම රූප සම්පත්තිය රැක ගැනීමට ස්වභාවික දෑ වලින් එක් එක් ආකාරයේ ප්‍රතිකාර ක්‍රම යොදා ගත් අතර එසේ යොදා ගත් එක් ස්වභාවික ද්‍රව්‍යකි කුරුඳු. වර්තමානය වන විටද නොයෙකුත් රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා කුරුඳු අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනුයේ මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය හා ප්‍රති බැක්ටීරියා ගුණය නිසාය. කුරුඳු කඳෙන් නිස්සාරණය කරගන්නා කුරුඳු තෙල් රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා යොදා ගැනීමෙන්, එම නිෂ්පාදන වල කල් තබාගැනීමේ හැකියාව වැඩි කෙරේ. ඒ අතර එම නිෂ්පාදනය භාවිත කරන්නන්ට හානියකින් තොරව ඒවා භාවිතය සඳහා ද කුරුඳු තෙල් උපකාරී වේ.
මෑතකදී සොයා ගත් කරුණුවලට අනුව විවිධ ක්‍රීම් සහ ආලේපන වර්ග වලට තෛලෝදධකය වශයෙන් කුරුඳු තෙල් යොදාගත හැකි බව මේ වන විට සොයාගෙන ඇත. කුරුඳු, රාත්‍රී සත්කාරක ආලේපන හා දිවා සත්කාරක ආලේපන වර්ග යන දෙකෙහිම ඉතා සාර්ථක ව භාවිත කළ හැකිය.

නමුත් තවමත් බීමට ගන්නා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා කුරුඳු යොදාගත හැකි බවට පර්යේෂණ තහවුරු කොට නැත. ඇතැම් පුද්ගලයන්ට කුරුඳු මුහුණෙහි ආලේප කිරීමෙන් අසාත්මිකතා ඇති විය හැකිය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එම නිසා තම සමේ ස්වභාවය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කිරීම සුදුසුය. කුරුලෑ නොමැති සමකට මුහුණ පිරිසිදු කරන Scrub ලෙස කුරුඳු කුඩු භාවිත කළ හැකිය. තවද, ඇතැම් විද්‍යාඥයින්ගේ මතය අනුව කුරුඳු කුඩු වලින් සමෙහි කොලජන් මට්ටම ඉහළ දමන අතර එනිසා සම රැලි වැටීම පාලනය කොට ඔබේ තරුණ පෙනුම දිගු කාලයක් රැක දෙයි.
කුරුඳු තෙල්
කුරුඳු තෙල් යනු ඵලදායි ප්‍රතිඔක්සිකාරක බොහොමයක් අඩංගු ප්‍රභවයකි. කුරුඳු තෙල් භාවිතය ඉතාමත් ඈත ඉතිහාසයක් දක්වා විහිදේ. ඈත ඊජිප්තුවෙහි එකල වාසය කළ කුරුඳු තෙල් ලඟ ඇති ඕනෑම කෙනෙක් ධනවතකු ලෙස ඔවුන් සැලකුවේය.
කුරුඳු පොතු සහ කුඩු වලට වඩා කුරුඳු තෙල් වල ඇති ගුණාංග ඉහළ වේ. සාදාගන්නා ප්‍රභවයන් අනුව කුරුදු තෙල් වර්ග දෙකකි. එනම්, එහි කඳින් ලබා ගන්නා කුරුඳු තෙල් සහ පත්‍ර වලින් ලබා ගන්නා කුරුදු තෙල් ය.
කුරුඳු කදෙහි පිට පොත්තෙන් තෙල් සකස් කරගන්නා අතර එහි ඇති සුවඳ ඉතාම ප්‍රබල සුවඳකි. කුරුඳු කොළ වලින් ලබාගන්නා තෙල් තරමක් සැර සහිත වන අතර කස්තුරි වැනි සුවඳක් ඇත. කුරුඳු කදෙන් ලබා ගන්නා තෙල්, තද රතු දුඹුරු පැහැති වන අතර කුරුඳු කොළෙන් ලබා ගන්නා තෙල් තරමක් ලා පැහැයක් ගනියි.
කුරුඳු තෙල් මගින් හදවතේ සෞඛ්‍ය ආරක්ෂා කරයි. කුරුඳු මගින් රුධිරයේ ඇති LDL කොලෙස්ටරෝල් අගය අඩු කර HDL කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය වැඩි කෙරේ. එසේම ශරීර ක්‍රියාකාරිත්වය මෙන්ම හදවතෙහි ක්‍රියාකාරිත්වය ද ඉහළ නංවයි. හදවත් රෝග වලින් පෙළෙන්නන්ට සුවපත් වීම සඳහා මනා ක්‍රියාකාරිත්වයක් කුරුඳුවලින් ලබා දෙයි. කුරුදු තෙල් වල ක්‍රියාකාරී සංඝටක ලෙස සිනමල්ඩිහයිඩ්, ඉයුජිනෝල් හා ලිනලෝල් වැනි සංයෝග අඩංගු වේ. මෙම අන්තර්ගතය කුරුඳු තෙල් සාදා ගන්නා ප්රභවය අනුව වෙනස් වෙයි. කුරුඳු ශාකයේ කදෙන් සිනමල්ඩිහයිඩ් ද, පත්‍ර වලින් ඉයුජිනෝල් ද, මුල් වලින් කෙම්පර් නම් සංයෝග ද ලබා ගත හැකිය.
කුරුඳු තෙල් වලින් ද රුධිර ගත සීනි මට්ටම යාමනය කරයි. විවිධ ආසාදන වලට එරෙහිව ද ක්‍රියා කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. කුරුඳු තෙල් ස්වභාවික කාම ශක්ති වර්ධයකි. මෙය බොහෝ සෙයින් ආයුර්වේද විද්‍යාවේ දී භාවිත වේ. කුරුඳු තෙල් සමේ මෙන්ම හිසකෙස් හා දෙතොල් වල සෞඛ්‍යයට ද වැදගත් වේ. හිස් කබලේ පෝෂණීය ගුණය වැඩිකර ගැනීම සඳහා කුරුඳු තෙල් සහ ආමන්ඞ් තෙල් බිංදු සත්කාරය සුදුසුය. එය නිවැරැදි ආකාරයෙන් පිළියෙළ කරගත යුතුය. කුරුඳු තෙල් තොලේ ආලේපනය කිරීමේදී එමගින් තොල්වල රුධිර සංසරණය වේගවත් වී අලංකාර දෙතොලක් ලබා දෙයි.
කුරුඳු තෙල් වල ඇති මේද දහනය කිරීමේ හැකියාව නිසා ශරීරයෙහි බර අඩු කර ගැනීම සඳහා ද යොදා ගත හැකිය. එමගින් ස්ථූලතාවය ද පාලනය කළ හැකි ය.
කුරුඳු මගින් Helicobacter pylori යන ශරීරයට අහිතකර බැක්ටීරියාවේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීම ද සිදු කරයි. කුරුදු තෙල් වල අඩංගු ඉයුජිනෝල් මේ සඳහා දායක වේ. තවද අහිතකර පරපෝෂිතයන්ගේ වර්ධනයද වලක්වයි. උගුරෙහි ඇතිවන ගැටලූ සමනය කිරීම සඳහා ද කුරුඳු යොදා ගත හැකිය. මෙමගින් දිලීර ආසාදන ද අවම කරයි.
කුරුඳු තෙල් වල ඇති මනා සිත් ඇද ගන්නා සුලූ සුවඳ නිසා, සුවඳ මගින් සිදුකරන විවිධ ප්‍රතිකාර සඳහා ද කුරුඳු තෙල් යොදා ගනී.
කුරුඳු වල ඇති දිලීර හා බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව නිසා දන්ත සෞඛ්‍ය සඳහා ඇති නිෂ්පාදන වලට ද කුරුදු තෙල් භාවිත කරයි. දන්තාලේප, මුඛ සෝදන දියර, සබන් වැනි නිෂ්පාදන වලදී ද වැඩි වශයෙන් කුරුඳු භාවිත කරයි. තව ද මනා සුවදකින් යුත් ඉටිපන්දම් නිශ්පාදනයේදී කුරුඳු තෙල් භාවිතය වර්තමානයේ දී සිදු කරයි. වාතය නැවුම් කරන සුවඳකාරකයක් ලෙස ද කුරුඳු තෙල් භාවිත කළ හැකිය. උණු වතුර භාජනයකට කුරුදු තෙල් බින්දු කීපයක් එක් කිරීමෙන් ඇති වන හුමාලයෙන් වාතය සුවඳවත් වේ. නමුත් චීනයේ වැවෙන කුරුඳු වල අධික “කුමරින්” සාන්ද්‍රනයක් අඩංගු වන නිසා එමගින් ලබාගන්නා කුරුඳු තෙල්, වකුගඩු සහ අක්මාවට එතරම් සුදුසු නොවේ.

කුරුඳු සබන්
කුරුඳු යොදාගෙන කරන තවත් නිෂ්පාදනයක් ලෙස කුරුඳු සබන් හැඳින්විය හැකිය. මෙහි ඇති දිලීර හා බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව නිසා සමට ඉතා සුදුසුය. බොහෝ අවස්ථාවල කුරුලෑ සහිත සමකට නම් මෙය අගනා නිෂ්පාදනයකි. කුරුඳු සබන් ඉතා අගනා පවිත්‍රකාරකයක් මෙන්ම ප්‍රතිපූතික ද වෙයි. මෙම සබන් භාවිත කිරීම තුළින් ඔබේ සමට දිනපතා නැවුම් බවක් අත් කරගත හැකිය. සමෙහි මැරුණු අපිච්ඡද තට්ටු ඉවත් කිරීම සඳහා ද කුරුඳු යොදාගත හැකිය. කුරුඳු සබන් වල ඇති සුවඳ නිසා ආධ්‍යාත්මික සහනයක් පවා ඔබට ලැබේ.
ඔබේ කාමරය නැවුම්ව තබාගැනීමට උපකාරී වෙයි (Air Freshener)
ඔබේ නිවෙස, කාමරය හෝ කාර්යාලය නැවුම්ව තබාගැනීම සදහාම නිපදවන ලද කුරුඳු තෙල් සාරය සහ තවත් ස්වාභාවික ඖෂධ සපිරි ස්ප්‍රේ වර්ග (Air Freshener) දැන් වෙලදපොලේ පවතියි. ඒවා භාවිතය මගින් ඔබේ කාමරයේ වාතය නැවුම්ව තබයි. මේ නිසා මුලු දවස පුරා ඔබට ප්‍රබෝධමත් හැගීමක් නිසැකවම දැනෙනු ඇත. මෙවැනි ස්වාභාවික සුවද සහිත දියර ස්ප්‍රේ කිරීම මගින් අවට වාතය පිරිසිදු කරන අතර කුඩා දූවිලි අංශු වලින් ඔබේ දරුවන්ව ආරක්ෂා කරයි. ශරීර සෞඛ්‍යට මේ මගින් කිසිදු අහිතකර තත්වයක් අත් නොවන අතර මදුරුවන්, මැස්සන් වැනි සතුන්ගේ කරදර වලින් ද මිදීමට හැකියාව ලැබේ. මෙම දියර වර්ග වල විෂ සහිත රසායනික සංයෝග අඩංගු නොවන අතර පරිසර හිතකාමී වේ.
කුරුඳු තෙල් සාරය සහිත බිම සහ මතුපිට සේදුම්කාරක (Floor and Surface Cleaner)
කුරුඳු කොළ තෙල් මගින් නිස්සාණය කරන ලද තෙල් යොදා සෑදූ බිම් පිරිසිදුකාරක භාවිතයෙන් නිවෙස හෝ ඔබේ කාර්යාලය අවට විෂබීජ මුලුමනින්ම පාහේ නැසීමට හැකිවේ. ඔබේ කාමරයේ හෝ නිවසේ ඇති භාණ්ඩ, ජනේල මතුපිට ආදිය ඉතා පහසුවෙන් පිරිසිදු කිරීමට කුරුඳු පවිත්රකාරක උපකාරී වේ. වෙනත් පවිත්රකාරක භාවිතයෙන් පසුව ඇතිවන අසාත්මිකතා ආදීය මෙවැනි ස්වාභාවික පවිත්රකාරක භාවිතයෙන් ඇති නොවීම ද මෙහි ඇති විශේෂත්වයකි. එසේම වෙනත් පවිත්රකාරක භාවිතයෙන් පසුව හමන සැර ගන්ධය වෙනුවට නැවුම් කුරුඳු සුවදක් මේ මගින් වාතයට ලබාදේ. මෙම කුරුඳු සාරය සහිත පවිත්රකාරක පහසු මිලට වෙළදපොලෙන් හෝ අන්තර්ජාලය හරහා මිලදීගැනීමට ඔබට පහසුකම් තිබේ.
ලංකාවේ තිබෙනුයේ ලෝකයෙන්ම අනර්ඝතම තත්වයේ කුරුඳු වන අතර ඒ තුළින් තවත් ඉහළ ගුණාත්මක බවෙන් යුතු නිෂ්පාදන මෙරට ඇති කිරීමෙන් ඉහළ විදේශ විනිමයක් පවා ලබාගත හැකිය. එසේම මෙවන් ගුණ රාශියක් අඩංගු කුරුඳු, දිනපතා සුලූවෙන් හෝ පරිභෝජනය තුලින් ඔබේත් පවුලේත් සෞඛ්‍ය තත්වය මනාව පවත්වාගත හැකිය.