කුංකුම යනු ලෝකයේ පවතින කුළුබඩු වර්ග අතුරින් ඉතාමත්ම වටිනා මිලෙන් අධික වූ කුළුබඩු වර්ගයකි. නමුත් බොහෝ දෙනා මෙහි පවත්නා සුවිශේෂි ගුණයන් හා එහි භාවිතයන් පිළිබඳ දැනුවත් බවක් නොමැති වීම පුදුමයට කරුණකි. කුංකුම ශාකයේ විද්‍යාත්මක නාමය Crocus sativus වන අතර එය Iridaceae කුලයට අයත් වේ. මෙම ශාකයේ මලෙන් හටගන්නා රේණු විශේෂය ඉහත සඳහන් කළ මිලෙන් අධික වූත් වටිනාකමින් වැඩි වූත් කුළු බඩු වර්ගය ලෙස භාවිත කරයි. මෙම ශාකය 10-30cm පමණ උසකට වැඩේ. කුංකුම රේණු වල වර්ණය තැඹිලි පැහැයේ සිට කහ-දුඹුරු පැහැය දක්වා පරාසයක විහිදී ඇත. ඔබ ඉන්දීය ටෙලිනාට්‍ය හෝ සිනමා පටයක් එක වරක් හෝ නරඹා ඇත්නම් කුංකුම වලට ඉන්දීය සමාජයේ හිමිවී ඇති ස්ථානය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකිය. ඉන්දීය සමාජයේ කන්තාවක් විවාහ දිවියට පත් වූ පසු එය පසක් කිරීම සඳහා කුංකුම කුඩු වලින් නිෂ්පාදනය කරනු ලබන, එමෙන්ම සිදූර් නමින්ද හදුන්වනු ලබන විශේෂ අලේපනය තමාගේ හිසෙහි ඉදිරිපස ස්වල්පයක් අලේප කරගනී. මෙම චාරිත්‍රය ලොව වෙසෙන විදේශිකයන් පවා දන්නා චාරිත්‍රයකි. කුංකුම යනු මොනවාද යන්න එක් වරම මතකයට නගා ගැනීමට අපහසු වූවා නම් මෙමඟින් යම් තරමක හෝ මතකයක් ඔබට සිහියට නැගෙනු ඇත.
මොනවද මේ කුංකුම?
කුංකුම පළමු වරට හඳුනා ගැනීමත්, වගා කිරීමත් සිදු වූවා සේ සැලකෙන්නේ ග්‍රීසියෙහිය. නමුත් වර්තමානය වන විට ඉරානය, මොරොක්කෝව සහ ඉන්දියාවෙහිද කුංකුම වගා කිරීම සිදු කරනු ලබයි. ලෝක බලවතා යනුවෙන් හැඳින්වෙන ඇමරිකා එක්සත් ජනපදයේ පවා මේ වන විට සුළු පරිමාණ වශයෙන් කුංකුම නිෂ්පාදනය ආරම්භ කර ඇත්තේ එහි අන්තර්ගතව ඇති වටිනා ගුණයන් නිසාවෙනි.
කුංකුම තුළින් හමන සුගන්ධය අතිශයින්ම අප්‍රකට වන අතර එය මනා සුවඳක් දනවයි. තරමක පැණි රසයකින්ද යුක්ත වී ඇති කුංකුම වල රසය නියත වශයෙන්ම මේ ආකාර යැයි පැහැදිලි කිරීමට තරමක් අසීරුය. නමුත් අහාරයට ගැනීමට හැකි ප්‍රසන්න සුවඳක් හිමිය. ඔබට එහි නියම රසය අත්විඳිය හැක්කේ ඒ පිළිබඳ පැහැදිලි කරනවාට වඩා, ඔබ විසින්ම එහි රසය කෙසේදැයි පිරික්සීමෙනි. කුංකුම සතු ඒ විශේෂිත රසයට හේතු වන්නේ පික්රොක්සින් හා සැෆ්රනල් යන රසායනික ද්‍රව්‍යන් වල ඇති සංයෝගයයි. එමෙන්ම ස්වාභාවික කැරොටිනොයිඩ් අඩංගු වන ක්‍රොසින් යනුවෙන් හඳුන්වනු ලබන රසායනික සංයෝගයක් ද මෙහි අඩංගු වන අතර කුංකුම ලබාදෙන රත්‍රන්-කහ පැහැය සඳහා හේතු වන්නේ මෙම සංයෝගයයි.
මිලෙන් අධික කුංකුම
කුංකුම මිලෙන් අධික වීමට හේතුවන කාරණා පිළිබඳව නම් සඳහන් කල යුතුමය. මෙයට හේත්ව වන්නේ, මේ වන විටත් කුංකුම පරිභෝජනය කරන්නන් මෙන්ම, කුංකුම මිලදී ගැනීමට බලපොරොත්තු වන්නන් අතර පැන නැගී තිබෙන ගැටලුවයි. ඉතා කුඩා බවින් යුතු කුංකුම රේණු මෙතරම් මිලෙන් අධික ඇයිදැයි යන්න පිළිබඳ බොහෝ දෙනෙක් ප්ර්ශ්න කරයි. එලෙස පැන නැගෙන සියලු සැකයන්ට පිළිතුර මෙලෙස ලබා දිය හැකිය.
කුංකුම ශාකයේ එක් පුෂ්පයක හටගන්නේ රේණු තුනක් පමණි. මෙම මල් පිපෙන්නේ සෑම වසරකම ඔක්තෝම්බර් හා නොවැම්බර් දෙමස අතර සතියක කාලයක් පමණි. අනෙක් විශේෂිත කරුණ වන්නේ මෙහි අස්වැන්න දෑතින් පමණක් නෙළිය යුතු වීමයි. මෙහෙදී කිසිඳු අයුරකින් උපකරණ භාවිතයක් සිදු නොවෙයි. අස්වැන්න නෙළිය යුත්තේ උදෑසන 9-10 ත් අතර කාලයේදීය. මල් තුල ඇති රේණු ආරක්ෂා කිරීම පිණිස අස්වැන්න ලබා ගන්නා තුරු කුංකුම මල් ආවරණය කර තබනු ලබයි. රේණු අවුන්සයක ප්‍රමාණයක් ලබාගැනීමට නම්, මල් 1000 ක් පමණ අවශ්‍ය වේ. මෙම හේතුන් සැලකීමේදි කුංකුම රේණු අධික මිලෙන් යුතු වීම පුදුමයට කරුණක් නොවන බව ඔබට පසක් වනු ඇත.
කුංකුම රේණු ගබඩා කර තැබිය යුත්තේ සිසිල්, වියළි හා අඳුරු ස්ථානයකයි. අධි ශීතකරණයේ තබන්නේ නම් වසරක පමණ කාලයක් භාවිතයට ගත හැකිය. කුංකුම රේණු භාවිතයෙන් විශාල පරාසයක් තුළ සිදු කළ බොහෝ නිෂ්පාදන ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. කුංකුම හෝ මේ ඇසුරින් කරන ලද නිෂ්පාදන එක් වරක් හෝ භාවිත කල අයෙක් එය කිසිදිනයක අත් නොහරින්නේ, එමගින් ලැබෙන්නාවූ විශ්මයජනක ප්‍රතිඵල නිසාවෙන්මය.
කුංකුම සතු පෝෂණ ගුණයන්
කුංකුම සතු පෝෂණීය ගුණයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී එමගින් අත්වන්නා වූ ඇදහිය නොහැකි ප්‍රත්ඵල බොහෝමයක් තිබේ. ස්වභාවික නිෂ්පාදන කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන පාරිභෝගිකයින් ඒ සඳහා වැඩි ඉල්ලුමක් දක්වයි. කෘතිම නිෂ්පාදන භාවිත කර අතුරු ආබාධ අත් විඳිනවාට වඩා, මෙවැනි ස්වභාවික නිෂ්පාදන ජීවිතයට සමීප කර ගැනීම තුළින් කිසිදු ගැටළුවකට මුහුණ පෑමට සිදු වන්නේ නැත.
ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ගුණය පවතින කුංකුම සතුව රෝගයන්ට එරෙහිව සටන් කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින අතර එමගින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් උරුම කර දීමේ විශේෂ හැකියාවක් පවතී. කුංකුම වලට ආවේණික වූ කහට රසයක්ද හිමිවී ඇත්තේ මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙනි.
තවද, අත්‍යවශ්‍ය වාෂ්පශීලී තෙල් වර්ග රැසක් මේ තුල අඩංගු වෙයි. මේ අතරින් සැෆ්රනල් යනුවෙන් හඳුන්වන රසායනික සංයෝගය කුංකුම සඳහා ප්‍රසන්න රසයක් දෙයි. කුංකුම තුල අන්තර්ගත වාශ්පෂීලී තෙල් වර්ග ලෙස සිනෙඕල්, බෝනිඕල්, ගෙරනිඕල්, ලිනලෝල්, ටර්පින්-4 ආදිය දැක්විය හැකිය. මෙම වර්ණවත් රේණු තුළ වාෂ්පශීලී නොවන ක්‍රියකාරි සංයෝගද අඩංගු වේ. ඒ අතරින් ඇල්ෆා-ක්‍රොසින් යන කැරොටිනොයිඩ් සංයෝගය ඉතා වැදගත් වේ. මීට අමතරව, අනෙකුත් කැරොටිනොයිඩ් සංයෝග වන සියාසැන්තීන්, ලයිකොපීන්, බීටා-කැරොටීන් ද මෙහි අඩංගු වේ. මේවා ඉතා විශේෂ වූ ප්‍රතිඔක්සිකාරක වන අතර එමගින් මිනිස් සිරුර තුල ඔක්සිකාරක මගින් ඇති කරන්නා වූ පීඩනය, පිළිකා තත්වයන්, ආසාත්මිකතා වළක්වමින් ප්‍රතිශක්තිය වඩවන සංයෝග ලෙස ක්‍රියා කරයි.
කුංකුම තුල අන්තර්ගතව ඇති ක්‍රියාකාරී සංයෝග ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී වීවිධ චිකිත්සක ප්‍රතිකාර සඳහා යොදා ගනී. මෙම රේණු කොපර්, පොටෑසියම්, කැල්සියම්, මැංගනීස්, යකඩ, සෙලේනියම්, සින්ක් සහ මැග්නීසියම් යන ඛණිජ ලවණ වලින් අනූනය. මේ අතරින් පොටෑසියම්, සෛල හා දේහ තරලයන් තුළ ඇති වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් වන අතර එමගින් රුධිර පීඩනය පාලනය කරයි. තවද, මිනිස් සිරුරට ප්‍රතිඔක්සිකාරක එන්සයිම සඳහා අවශ්‍ය සහ-සාධක වන මැංගනීස් සහ කොපර් මෙහි අඩංගුය. මිනිස් දේහයේ රතු රුධිර සෛල නිපදවීම කෙරෙහි යකඩ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියා කරන අතර සයිටොක්‍රොම් ඔක්සිඩේස් එන්සයිමය සඳහා සහ-සාධකයක් ලෙසද ක්‍රියා කරයි. කුංකුම වල මේ අත්‍යවශ්‍ය යකඩ ද අඩංගු වේ.
මීට අමතරව කුංකුම විශාල විටමින් සංඛ්‍යාවකින් පොහොසත්‍ය. ඒවා නම්; විටමින් A, ෆෝලික් අම්ලය, රයිබෝෆ්ලේවින්, නියැසීන්, සහ විටමින් C වැනි එදිනෙදා පෝෂණය සඳහා උපකාරී වන් විටමින් වර්ගයි. මේ ආකාරයෙන්න් බොහෝ පෝෂණ ගුණයන්ගෙන් අනූන වී ඇති කුංකුම, ඔබේ සිරුරට එක් කරගත හැකි නම් එදිනෙදා වැළදෙන සුළු රෝගයන්ගෙන් පවා ආරක්ෂා විය හැකිය.
කුංකුම භාවිතයේ ප්‍රයෝජන
කුංකුම ‘sunshine spice’ලෙස අනුවර්ත නාමයකින්ද හඳුන්වන බව බොහෝ දෙනා නොදන්නා කරුණක් විය හැකියි. එම නාමය භාවිත කරන්නේ රේණු වල පැහැය නිසා පමණක් නොව, එමඟින් ඔබේ මුහුණට දීප්තිමත් බවක් ද මුසු කළ හැකි බැවිනි. මානසික පීඩනයෙන් හා විශාදයෙන් පෙලෙන්නන් හට ප්‍රතිකාර කිරීම සඳහාද කුංකුම භාවිත කරනු ලබයි. මානසික පීඩනය අඩු කිරීම සඳහා අනුමත කරනු ලබන ප්‍රතිකාර වලින් ලැබෙන ප්‍රතිඵල හා සමාන ප්‍රතිඵලයක් කුංකුම වලින්ද ලබා දෙන බව සමීක්ෂණ වාර්තා වලින් අනාවරණය කර ඇත. නමුත් එය අනුමත කිරීම සඳහා තවදුරටත් රෝගීන් යොදා ගනිමින් පරීක්ෂණ සිදු කරනු ලබයි.
කුංකුම සතු ප්‍රතිඔක්සිකාරක හැකියාව නිසා සාමන්‍ය සෛල වලට හානියන් නොවන සේ පිළිකා කාරක සෛල වර්ධනය මැඩ පැවැත්වීමට විශේෂ හැකියවක් ඇත. ක්‍රොසින් යන ප්‍රතිඔක්සිකාරකය මේ සඳහා දායක වන ප්‍රධානතම සංයෝගය වන බව තහවුරු වී ඇත.
මෙමඟින් කාන්තාවන්ට සුවිශේෂී වූ වාසි රැසක් අත් කර දෙයි. ඒවා අතරින් කාන්තාවකගේ මාසික ඔපස් වීමට පෙර හටගන්නා භෞතික හා මානසික වෙනස්වීම්, එනම්; හිසරදය, නොරිස්සුම් සහගත බව, වේදනාව වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමට කුංකුම යොදා ගනියි. කුංකුම ආහාරයට ගැනීමෙන් හෝ එහි සුවඳ දැනීමට සැලැස්වීමෙන් මෙම අපහසු තත්වයන් අවම කරමින් කාන්තාවන්ට සහනයක් සැලසිය හැකි බව සනාථ කොට ඇත.
කුංකුම සතු තවත් ලක්ෂණයක් වනුයේ, එය සතුව පවතින මිනිසාගේ ආහාර රුචිය අවම කිරීමට ඇති හැකියාවයි. එමඟින් අඩු ආහාර ප්‍රමාණයක් ලබාගැනීමට නැඹුරු වීම හරහා ශරීරයේ බර අඩු කර ගැනීමට මෙම රේණු විශේෂය පරිභෝජන දායක වෙයි.
තවද, මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක හැකියාව මඟින් රුධිර කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අඩු කිරීමට, රුධිර නාල කැටි ගැසීම හා හෘද රෝග සඳහා පවතින අවදානම අවම කිරීමටද මනා හැකියාවක් ලැබේ.
එලෙසින්ම ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය ඉහල නංවමින් රුධිර සීනි මට්ටම පාලනය කිරීමටද කුංකුම සතුව විශේෂ හැකියාවක් පවතී.
වැඩිහිටියන්ගේ වයස්ගත වීමත් සමඟ ඇස් වල ඇතිවන දුර්වලතා මගහරවා ගනිමින්, ඇස් වලට හොද පෙනීමක් ලබාදීමත්, වයස්ගත වීමත් සමඟ ඔවුන්ගෙන් මතකය ගිලිහී යාමේ ප්‍රවණතාව අවම කිරීමටත් කුංකුම රේණු වලින් සපයන්නා වූ දායකත්වය අතිමහත්‍ය.
කුංකුම ආශ්‍රිත නිෂ්පාදන
ස්වභාවික කුංකුම රේණු
කුංකුම වැඩි වශයෙන් ඍජුවම භාවිත කරනු ලබන්නේ රූපලාවණ්‍ය කටයුතු සඳහාය. මෙම නිෂ්පාදන වලින් හිමිවන 100% ප්‍රතිඵල නිසාවෙන්ම දිනෙන් දින කුංකුම සඳහා පවතින ඉල්ලුම වැඩි වීමක් මිස අඩු වීමක් සිදු නොවේ.
ස්වභාවික කුංකුම රේණු මෙරටේදීද පහසුවෙන්ම මිලදී ගැනීමේ හැකියාවක් පවතී. මෙම රේණු ඉරානය වැනි රටවලින් ආනයනය කරන අතර ඉතා ආරක්ෂිත ලෙස අසුරා, මුද්‍රා තබා, විශ්වාසදායී ලෙස මෙරට තුල බෙදා හරිනු ලබයි. අයුර්වේද වෙලදසැල්වල, ඔසුසල් වල, සුපිරි වෙලඳ සැල් වලින් මෙන්ම යම් බෙදාහැරීමේ මධ්‍යස්ථාන මගින් නිවසටම මේවා බෙදා හැරීම සිදු කරනු ලබයි. අන්තර්ජාලය ඔස්සේ ද මේවා ඇණවුම් කිරීම කල හැකිය. මෙම ඇසුරුම් වල කුංකුම රේණු ඉතා සුලු ප්‍රමාණයක් අඩංගු බව එය භාවිත කරන්නන් හොඳින්ම දන්නා කරුණකි. නමුත් එය දෙමසකට අධික කාලයක් භාවිත කල හැකිය. මෙම නිෂ්පාදනය භාවිත කල යුතු විශේෂ ක්‍රමවේදයන් පවතී.
ඔබ පානය කරන උණුසුම්, නැවුම් එලකිරි හෝ සුදු කිරි සමග මේවා නිර්දේශිත අයුරින් පානය කළ හැකිය. මෙහිදී කිරි රත්‍රන්-කහ පැහැයක් ගනී. නමුත් මෙය කහට කිරි වලට දමා පානය කිරීම සුදුසු නැත. මෙලෙස දිනකට වරක් උදේ හවස කුංකුම නිවරදි අයුරින් පානය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිය. කුංකුම ඌෂ්ණ අධික බැවින් සිසිල් සංයෝග සමග මිශ්‍රකොට පරිභෝජනය සුදුසුය. මෙලෙස පානයන් සඳහාම සකසන ලද කුංකුම මේ වන විට වෙළදපොලේ මිලදී ගැනීමට තිබේ.
මුහුණේ ආලේපනය කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයන් සදහා ද ස්වාභාවික කුංකුම ඒ අයුරින්ම භාවිත කළ හැකිය. මේ වන විටත් ලෝකයේ බොහෝ පිරිස් කුංකුම අඩංගු ආලේපන වර්ග භාවිතයට දැඩි කැමැත්තක් දක්වයි. මීට අමතරව ස්වාභාවිකව සැකසීමෙන් ද කුංකුම ඔබේ මුහුණේත්, ශරීරයේත් ආලේප කළ හැකිය. සති තුනක් පමණ ගතවන විට ඔබටම මෙහි විශ්මිත ප්‍රතිඵල දෑසින්ම දැක ගත හැකිය. ඔබට කාන්තිමත් සමක් අත්වනවා නිසැකය.
කුංකුම පානය කිරීමෙන් ඉහතදී සඳහන් කල පරිදී මතක ශක්තිය වැඩිවීම, හෘද රෝග අවම වීම, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව, ස්නායු රෝග හා පිළිකා වැලදීම කෙරෙහි පවත්නා අවදානම අවම වීම, දිදුලන ඒකාකාරී සිරුරක් ලැබීම, හිසකෙස් ගැලවී යාම අවම වීම වැනි විවිධාකාර වූ ප්‍රයෝජන රාශියක් අත්විඳිය හැකිය. ඔබ නුදුරේදීම විවාහ වීමට පෙරුම් පුරන තැනැත්තියක් නම්, කෘතිම නිෂ්පාදන වලින් තරමක් මිදී මෙවැනි ස්වභාවික නිෂ්පාදනයන් කෙරෙහි නැඹුරු වීම තුළින් ඇතිවිය හැකි අනපේක්ෂිත අතුරු ආබාධ රාශියක් වලක්වාගත හැකිය.
මුහුණු ආලේපන
කුංකුම ආශ්‍රයෙන් කරනු ලබන සුලබ නිෂ්පාදනයක් වනුයේ මුහුණු ආලේපනයි. මේවා දහවල් කාලයේදී මෙන්ම රාත්‍රී ආලේපන ලෙස වෙන් වෙන් වශයෙන් වෙලඳසැල් වල පවතින අතර ඇනවුම් ලබා දීම මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියවද පවතී. මෙම ආලේපන දිනපතා මුහුනේ ආලේප කිරීම තුළින් කාන්තාවන්ට වැඩි වශයෙන් පීඩා දෙන කුරුලෑ, ලප කැළැල්, දැඩි හිරු රශ්මියට ආවරණය වීම නිසා ඇතිවන අවපැහැ වීම් ආදිය අවම කරගැනීමට ඇදහිය නොහැකි දායකත්වයක් ලැබේ. ස්වභාවික කුංකුම රේණු ආශ්‍රයෙන් මෙම ආලේපන නිෂ්පාදනය කරන බැවින් ආසාත්මිකතා ඇතිවීමක් සිදු නොවන තරම්‍ය. සමෙහි තෙතමනය රැකදීම කෙරෙහි කුංකුම විශාල කර්‍යභාරයක් ඉටු කරයි. එමෙන්ම අහිතකර හිරු කිරණ අවශෝෂණය කරමින් සමට හිරු කිරණින් වන හානිය ද වළක්වයි.
කුංකුම ෆේස් පැක් හා ස්ක්‍රබ්
කුංකුම අඩංගු නිෂ්පාදන කෙරෙහි පවතින දැඩි අවධානය හා ඉල්ලුම නිසා වර්තමාන වෙලඳපලේ කුංකුම මගින් සැකසූ ෆේස් පැක් විවිධාකර නිෂ්පාදන ලෙස නිකුත් කර ඇත. එනම් කුංකුම තවත් පෝෂණ ගුණයෙන් යුතු ස්වභාවික අමුද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර වටිනාකමින් හා සාර්ථකත්වයෙන් ඉහල ප්‍රතිඵල ගෙන දෙන නිෂ්පාදන ලෙස පවතී. එය තව දුරටත් පැහැදිලි කරතොත්, කුංකුම වලට මෙහිදී සුදුහදුන්, ඔලිව් තෙල්, මී පැණි, ආමන්ඩ් ආදී වූ ස්වාභාවික දෑ ද මිශ්‍ර කරයි.
කුංකුම ෆේස් වොෂ්
ඉතා වටිනාකමක් ඇති කුංකුම ආශ්‍රයෙන් කරනු ලබන නිෂ්පාදන අතුරින් කුංකුම ෆේස් වොෂ් පාරිභෝගිකයින් අතර ප්‍රකටය. එමගින් මුහුණ නැවුම්ව හා සිසිල්ව තැබීම සිදු කරන අතර අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි. මුහුණට පැහැපත් බවක් එක් කරමින් සුමුදු බවක් ඇති කරයි. මෙම සියළු නිෂ්පාදන මෙරටේදී ද පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව ඇත.
කුංකුම සබන්
කාන්තාවන් සම ගැන දක්වන අවධානය අතිශයින්ම ඉහලය. එනිසාම විවිධ නිෂ්පාදන අත්හදා බැලීමට ඔවුන් දෙවරක් සිතන්නේ නැත. නමුත් වර්තමානයේ බොහෝ කෘතිම නිෂ්පාදන පවතින අතර නිවැරදි අවබෝධයකින් තොරව ඒවා භාවිත කිරීමෙන් හානි වන්නේ තමාටමය. තම සමේ පැහැය වැඩි කර ගැනීමට උත්සහා දරා, අවසනාවන්ත ලෙස එය අසාර්ථක වී තම ස්වභාවික රූපයට හානි කරගත් කාන්තාවන් සහ අවස්ථා සුලබය. එලෙස හානිදායක ප්‍රතිඵල ලැබෙන්නේ ඇතම් නිෂ්පාදන තුල අන්තර්ගත කෘතිම, සමට ඔරොත්තු නොදෙන රසායනික සංයෝග නිසාය. එබැවින් ඔබ සැබැවින්ම ඔබේ සමට, ශරීරයට ආදරය කරන්නෙක් නම් ස්වභාවික නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කල යුතුමය.
බොහෝ පාරිභෝගිකයන් සාර්ථක ප්‍රතිඵල අත්විඳි තවත් නිෂ්පාදනයක් ලෙස කුංකුම සබන් හැඳින්විය හැකිය. සම පැහැපත් වීම හා දීප්තියක් ලැබීම, සමෙහි තෙතමනය රැඳීම, සම සුමුදු වීම ආදී වශයෙන් ලැබෙන ඇදහිය නොහැකි වෙනස්කම් නිසා මෙම නිෂ්පාදන වලට පවතින ඉල්ලුම දිනෙන් දින ඉහල යෑම විශ්මයට කරුණක් නොවන බව පිළිගැනීමට, එක් වරක් හෝ කුංකුම අඩංගු නිෂ්පාදනයක් භාවිත කර ඇති අයෙක් පසුබට නොවෙයි.
කුංකුම සුවද විලවුන්
කුංකුම තුල අන්තර්ගත වී ඇති ආවේණික සුවඳත් ,ඒ තුල අඩංගු වී ඇති වාෂ්පශීලී තෙල් වර්ගත් භාවිතයෙන් කුංකුම සුවඳ විලවුන් නිෂ්පාදනය කර ඇත .මෙය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භාවිතා කල හැකිය.පෙර සඳහන් කල පරිදී කුංකුම අප්‍රකට වූත් ප්‍රසන්න වූත් සුවඳකට උරුමකම් කියන බැවින් මෙය භාවිතයෙන් තමාටද ආවේණික වී සුවඳකට හිමිකම් කියමින් සියලු දෙනා අතරින් සුවිශේෂී වූ පුද්ගලයෙකු වීමට වාසනාව හිමිවනු නියතය.
ආහාර වර්ග
විශේෂයෙන්ම කුංකුම රේණු කැවිලි වර්ග සෑදීමේදි, යම් ව්‍යංජන පිලියෙල කර ගැනීමේදී මෙන්ම බත් පිස ගැනීමෙදීද ඒ සමඟ මිශ්‍ර කරනු ලබයි. කුංකුම තුළ අන්තර්ගත විවිධ රසායනික සංයෝග හේතුවෙන් ආහාරයට ආවේණික රසයක් හා සුවඳක් එමගින් එක් කර ගත හැකිය. ගුලාබ් ජමුන්, රස්ගුල්ලා වැනි රසකැවිලි සෑදීමේදී ඒවාට අලංකාරයක් එකතු කිරීමටත් මෙම කුංකුම රේණු භාවිත කෙරේ.
කුංකුම වලින් නිෂ්පාදිත ඖෂධීය පෙති
කුංකුම ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීම, රූපලාවණ්‍ය කටයුතු සඳහා පමණක් නොව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද අත්හදා බැලීම සිදුවෙමින් පවතී. වෛද්‍ය පරීක්ෂණ වාර්තා වලට අනුව එක් එක් තත්වයන්ට අදාලව අනුමත කර ඇති කුංකුම ප්‍රමාණය වෙනස් වේ. ඇතැම් පෙති වර්ග නිෂ්පාදනය කර ඇත්තේ කුංකුම පමණක් යොදාගනිමින්‍ය. විශාදය වැනි රෝගි තත්වයන්ට ද, කාන්තාවන්ට මාසික ඔපස්වීමට පෙර ඇතිවන අපහසුතාවයන්ගෙන් මිදීමට ද විවිධ මාත්‍රා වලින් යුතු කුංකුම පෙති වෙලදපොලේ අන්තර්ගත වේ. මෙම මාත්‍රාවන් පරීක්ෂණ සිදුකිරීම සඳහා භාවිත කරනු ලැබ ඇති අතර තව දුරටත් පරීක්ෂණ මට්ටමේ පවතී. මෙම නිෂ්පාදන වලට ද නුදුරේදීම වෛද්‍ය අනුමැතිය ලැබී වෙළඳපලට නිකුත් කිරීම පිළිබඳ විශ්වාසයක් තැබිය හැකිය.
කුංකුම වලින් නිෂ්පාදිත කරල්
මෙම නිෂ්පාදනයද මෙරට තුලදී මිලදීගැනීමට හැකියාව ඇත. මෙම කරල් නිෂ්පාදනය කර ඇත්තේ අමතර පෝෂණ සත්කාරයක් ලෙසටය. එම කරල් නිෂ්පාදනයේ අරමුණු ලෙස; පාරිභෝගිකයන්ගේ මානසික සෞඛ්‍ය ඉහල නැංවීම, ශරීරයට ශක්තිය ලබාදීම, මිනිස් සිරුර තුල සිදුවන පරිවෘත්තිය ක්‍රියාදාමය ඉහල නැංවීම හා සිරුරේ බර අඩු කිරීම යන කාරණා සඳහන් වේ.
කුංකුම තේ
කුංකුම තේ පානය තුළින්ද අනිකුත් කුංකුම නිෂ්පාදන වලින් ලබන්නාවූ ප්‍රතිඵල එලෙසින්ම අත්විඳිය හැකිය. මෙය නිෂ්පාදනය කිරීම සඳහා මී පැණි හා කුළුබඩු කිහිපයක් භාවිත කරනු ලබයි. සුවදායී නින්දක් ලබාදීම සඳහා කුංකුම සතුව ඇති හැකියාව ප්‍රබලය. වෙලඳපොලේ මෙම නිෂ්පාදනය මිලදී ගැනීමට ඇත්තෙ තේ බෑග් ලෙස අසුරාය. නිවසේදී මෙම පානය පිළියෙල කර ගැනීමට අපහසු නම් එම නිෂ්පාදනය පහසුවෙන්ම මිලදීගත හැකිය. නිවසේදී කුංකුම තේ පිලියෙල කරගෙනීමට ද ඔබට හැකියාව පවතියි.
ව්‍යාජ කුංකුම වලට නොරැවටෙන්න
ඇතැම් වෙළඳුන් කුංකුම යයි පවසමින් සැබෑ කුංකුම රේණු වල වර්ණයට සමාන වර්ණක එක් කර රත් හඳුන් රේණු විකිණීමට සිදු කරයි. එය හඳුනා ගැනීමට යම් උපක්‍රම භාවිතා කරයි. සැබෑ කුංකුම රේණුවක් හොඳින් හපන විට කහට රසයක් දැනෙන අතර ව්‍යාජ කුංකුම වලින් කහට රසයක් නොදැනේ. එමෙන්ම පිරිසිදු ජල බඳුනකට සැබෑ හා ව්‍යාජ කුංකුම වෙන වෙනම දමා හොඳින් මිශ්‍ර කර මිනිත්තු 10 කින් පමණ නිරීක්ෂණය කල විට සැබෑ කුංකුම තිබෙන ජලය කහ පැහැයක් ගන්නා අතර එහි රේණු වල රතු වර්ණය එලෙසම පවතී. නමුත් ව්‍යාජ කුංකුම ඇති ජලය රතු පැහැ වන අතර වර්ණක දියවීම නිසා රේණු සුදු පැහැයක් ගනි. සැබෑ කුංකුම වල සුවඳ ඔබට ඉතා සමීප නම් ව්‍යාජ කුංකුම හා සැබෑ කුංකුම පහසුවෙන්ම වෙන් කරගත හැකි වනු ඇත. එයට හේතුව වන්නේ සැබෑ කුංකුම වලින් හමන එම ආවේණික සුවඳ ව්‍යාජ කුංකුම තුලින් නොපැමිණෙන බැවිනි. එබැවින් ස්වභාවික කුංකුම රේණු මිලට ගැනීමේදී පාරිභෝගිකයන් ලෙස මේ පිළිබඳව ඔබ අනිවාර්‍යයෙන්ම සැලකිලිමත් විය යුතුමය.
කුංකුම භාවිත කළ ලක්ෂ ගනනක් වූ පිරිස්, එය භාවිතය අත් නොහරින්නේ ඒ තුළ අඩංගු විශිෂ්ට වූ ප්‍රතිඵල නිසාවෙන්මය. මෙවැනි වටිනාකමකින් යුතු ස්වභාවික නිෂ්පාදන පසෙකලා කෘතිම නිෂ්පාදන භාවිතයෙන් සෞඛ්‍යයට අහිතකර තත්වයන් ඇතිකරගන්නවාද, නැතහොත් සෞඛ්‍යයට කිසිඳු හානියකින් තොර කුංකුම වැනි ස්වභාවික සංයෝග වලින් ලැබන්නා වූ විශ්මිත ප්‍රතිඵල අත්විඳිනවාද යන්න ඔබ විසින්ම තීරණය කළ යුතුව ඇත.