Greenhopes-Amlapowder
Greenhopes-
myherbals
Myherbals-Capsules

පොල් ගසට දෙවෙනි වන කිතුල් ගස

You are currently viewing පොල් ගසට දෙවෙනි වන කිතුල් ගස

 

 

ශ්‍රී ලංකාවට ආවේණික නොවූවත් තාල වර්ගයට අයත් ශාක බොහොමයක් මෙරට පවති. පොල් ගස තරම්ම නොවුනත් බොහෝමයක් ප්‍රයෝජන සහිත  ශාකයක් ලෙස මෙම ශාකය හැදින්විය හැකිය. ඈත අතීතයේ පටන්ම ශ්‍රී ලාංකීය ජනතාවගේ ජන ජීවිතය සමඟ බැඳුණු සුවිශේෂී ශාකයක් ලෙස කිතුල් ගස හැදින්විය හැකිය. කිතුල් ගසෙන් නිෂ්පාදිත කිතුල් පැණි, හකුරු, කිතුල් පිටි මෙන්ම තවත් බොහෝ පානයන් පවා ශ්‍රී ලාංකේය ජනයා තුළ ඉහල ප්‍රසිද්ධියක් උසුලයි. වර්තමානය වන විට කිතුල් ගස ආශ්‍රිතයෙන් කරන ලද වෙනත් නිෂ්පාදන බොහොමයක් විදෙස් රටවල පවා ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙරට ආර්ථිකය නගා සිටුවීමට කිතුල් ගස තුළින් ලබාගත හැකි ප්‍රයෝජන අති මහත්‍ ය.

කිතුල් ගස

කිතුල් ගසේ තතු

කිතුල් ශාකය මේ වන විට මෙරට බොහෝ ප්‍රදේශවල දැකිය හැකි අතර තවමත් මෙම ශාකයෙන් තම ජීවිකාව ගෙන යන ගැමියන් බොහෝමයි. කිතුල් ශාකය අයත් වන්නේ Arecaceae  යන palm කුලයටයි. Caryota urens යනු කිතුල් ශාකයේ විද්‍යාත්මක නාමයයි. ආසියාතික රටවල් බොහොමයක මෙම ශාකය ව්‍යාප්තව පවතින අතර ශ්‍රී ලංකාවේ මෙම ශාකය බොහෝ වශයෙන් දක්නට ලැබෙන්නේ තෙත් කලාපවල සහ ස්වාභාවික වනාන්තර වලය. විශේෂයෙන්ම කෑගල්ල, බදුල්ල, රත්නපුර  සහ මහනුවර වැනි දිස්ත්‍රික්ක ගතහොත්, එම ප්‍රදේශ ආශ්‍රිතව ඇති ගෙවතු වල කිතුල් ගස් බොහෝ ප්‍රමාණයක් දක්නට ලැබේ. එපමණක් නොව, වෙනත් ප්‍රදේශ වල ද ඉතා පහසුවෙන් වැවෙන ශාකයක් ලෙස කිතුල් හැඳින්විය හැකිය.

 කිතුල් ශාකයේ වැදගත්ම කොටසක් ලෙස එහි පුෂ්ප මංජරිය නම් කළ හැකියි. මෙම පුෂ්ප මංජරිය කපා, ලබා ගන්නා ලද සාරයෙන් පැණි සහ හකුරු නිපදවීම, ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ පටන්ම පැවතුණු දේශීය කර්මාන්තයක් ලෙස දැක්විය හැකියි.  මීට අමතරව කිතුල් ශාකයේ කදෙන් නිපදවන කිතුල් පිටි වලට ද විශාල ඉල්ලුමක් වෙළඳපල තුළ තිබේ. තවත් බොහෝමයක් නිෂ්පාදන මේ කිතුල් ශාකය හරහා දැනට සිදු කෙරේ. කිතුල් අයිස් ක්‍රීම් යනු කිතුල් ශාකයෙන් නිපදවන තවත් රසවත් ආහාරයකි. එබැවින් කිතුල් ශාකය යනු ඔබ, අප සිතනවාට වඩා බොහෝ වටිනා ශාකයක් බව වටහාගත යුතුය. 

කිතුල් ශාකය සාමාන්‍යයෙන් මීටර් 13-25ක් පමණ උසට වැඩෙන අතර එය ඒක ඒකගෘහී ශාකයකි. මේ ශාකයේ කද ඒකාකාර සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර කඳේ පත්‍ර සංයුක්ත හැඩයක් ගනියි. පත්‍ර සාමාන්‍යයෙන් මීටර් හයක් පමණ දික්ව වැඩේ. මෙම ශාකයේ පුෂ්ප මංජරිය හටගන්නේ සාමාන්‍යයෙන් වසර දහයත් පහළොවත් අතර කාලයකට වරක්‍ ය. මෙලෙසින් වසර ගණනාවකට පසුව පළමුවෙන්ම පුෂ්ප මංජරියක් හට ගත් පසුව වසර කීපයක් පුරාම මෙම පුෂ්ප හට ගැනීම නිරන්තරයෙන් පාහේ සිදු වේ. මල් පිපීම සහ ගෙඩි හට ගැනීමෙන් පසුව පත්‍ර සහ කිතුල් කද මිය යාම කාලයත් සමඟ සිදුවේ .

කිතුල් මල මේ තරම් වැදගත් ඇයි?

කිතුල් ගස-www.herbalvoice.lk-vegetarian

කිතුල් ශාකයේ ඉතාමත් වටිනාම කොටස හෙවත් පුෂ්ප මංජරිය ගැන සැලකීමේදී එය කොපු වලින් ආවරණය වී පවතී. එසේම මල් වල ගැට දක්නට ලැබෙන අතර ඒවායෙන් හටගත් රේණු වැනි ව්‍යුහ  දැකිය හැකිය. පිරිමි මල් දෙකක් සහ ගැහැණු මල් එකක් ඇති මල් පොකුරු වශයෙන් මෙම පුෂ්ප මංජරියේ මල් හට ගනී. ගැහැණු සහ පිරිමි ලෙස මල් වර්ග දෙවර්ගයක් දක්නට ලැබෙන හෙයින් මෙම කිතුල් ශාකය ඒකගෘහී ලෙස හැඳින්වේ.

කිතුල් ශාකයේ ආවේණික ලක්ෂණ එමෙන්ම  අනුගමනය කරන පදම් ක්‍රමය, දේශගුණික ලක්ෂණ ආදිය අනුව එක් එක් ශාකයෙන් ලබාගත හැකි අස්වැන්න වෙනස් වන අතර සාමාන්‍යයෙන් දිනකට බෝතල් බාගේ සිට බෝතල් හැටක් දක්වා තෙලිදිය මෙම කිතුල් ශාකයේ පුෂ්ප මංජරියෙන් ලබාගත හැකිය. එක් මලකින් මාස තුනක් හයක් දක්වා අතර කාලයක් තෙලිදිය අස්වැන්න ලබා ගත හැකිය. කිතුල් ශාකයේ පුෂ්ප මංජරියෙන් තෙලිජ්ජ හෙවත් තෙලිදිය ලබා ගැනීමේ ක්‍රියාවලිය කිතුල් මල් මදින ක්‍රියාවලිය ලෙස හැඳින් වේ .

කිතුල් ශාකය වර්ධනය සඳහා බොහෝ කරුණු පිළිබඳව සැලකිය යුතු නොවේ. ඉතා පහසුවෙන් වගා කරගත හැකි කිතුල් ශාකයේ ප්‍රචාරණය සිදු කරන ක්‍රමයක් ලෙස කිතුල් බීජය දැක්විය හැකිය. එහි ඇති ඵලාවරණය ඉවත් කොට පැළ කිරීම තුලින් කිතුල් ශාකය පහසුවෙන් වගාකළ හැකිය. මෙසේ පැළ කිරීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් ශාකය වර්ධනය වීම ආරම්භ වේ.

කිතුල් ශාකයේ ඇති පෝෂණ ගුණය 

කිතුල් ශාකයේ පුෂ්පවලින් ලබා ගන්නා තෙලිදිය වල මෙන්ම එම ශාකයේ කදෙන් ලබා ගන්නා පිටි වලත් බොහෝමයක් ගුණ අඩංගු වේ. ශරීරයේ ඇති විෂ හරණය සඳහා අවශ්‍ය කරන ප්‍රති ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් කිතුල් ශාකය මගින් ලබා ගන්නා කිතුල් පිටි වල සහ තෙලි දිය වල අඩංගු වේ. එසේම ශරීරයේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වන පොලිෆීනෝල් සංයෝග ද මෙහි වැඩි වශයෙන් අන්තර්ගත වේ. විශේෂයෙන්ම දියවැඩියාව තිබෙන රෝගීන් සඳහා සුවයක් ලබාදීමේ හැකියාවක් මේ කිතුල් ශාකයෙන් ලබා ගන්නා ආහාරවලට තිබෙන බව පර්යේෂණ මගින් ද සනාථ කොට තිබේ. කිතුල් ශාකයේ බොහෝමයක් කාබෝහයිඩ්‍රේට අඩංගු වන අතර ප්‍රෝටීන, තන්තු, මේදය, කැල්සියම්, පොටෑසියම්, සෝඩියම්, යකඩ, සින්ක්, මැග්නීසියම් සහ තවත් බොහෝමයක් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. මේ නිසාවෙන් මිනිස් ශරීරය වර්ධනය සඳහා අවශ්‍ය කරන පෝෂණ ගුණයන් රැසක් අඩංගු ශාකයක් ලෙස කිතුල් හැඳින්විය හැකිය.

කිතුල් වලින් ලබගන්නා විවිධ ආහාර වල විටමින් වර්ග බොහොමයක් ද අඩංගු වේ. විටමින් සී,තයමින්, රයිබොෆ්ලේවින්, නියැසින්, පැන්ටොතනික් අම්ලය, විටමින් බී6, ෆෝලේට්, කෝලයින්, විටමින් ඒ, බීටා කැරොටීන්, විටමින් කේ සහ විටමින් ඊ වැනි විටමින් වර්ග බොහෝමයක් ද  කිතුල් වල අඩංගු වේ. මේ නිසාම මිනිස් ශරීරය බොහෝමයක් රෝග වලින් ආරාක්ෂා කිරීමට කිතුල් ශාකයෙන් ලබාගන්නා ආහාර පරිභෝජනය ඉවහල් වෙයි. 

කිතුල් මල් කැපීම

Kithu Tree-www.herbalvoice.lk-

කිතුල් ගසක මලක් හට ගැනීම ඈත අතීතයේ ජීවත් වූ ජනයා සහ ගැමියන් හඳුන්වන්නේ කිතුල පීදීම යනුවෙනි. ඉන් පසුව මෙසේ පීදුනු කිතුල් මල දෙස ගැමියන් තම අවධානය යොමු කරමින් සිටින්නේ සුදුසු අවස්ථාවේදී කිතුල් මලට බෙහෙත් තැබීම සඳහායි. ඕනෑම කිතුල් මලක් මේ සඳහා තෝරා නොගන්නා අතර තම අත්දැකීම් අනුව සුදුසු කිතුල් ගසකින් පීදෙන කිතුල් මලක් පමණක් මේ සඳහා ගැමියන් විසින් තෝරා ගනු ලබයි. මෙසේ තෝරාගත් කිතුල් මලට විවිධ ඖෂධ ගැල්වීම ගැමියන් විසින් සිදුකරන අතර මෙය “බෙහෙත් තැබීම” යනුවෙන් ව්‍යවහාර වේ. බෙහෙත් තැබීමට ප්‍රථමයෙන් ගැමියන් කිතුලට ගොඩ වීම සඳහා ආධාරකයක් සෑදීම සිදු කරයි. මෙලෙසින් ආධාරකයක් සෑදීම සඳහා බොහෝ විට යොදා ගන්නේ ගැට ඉවත් නොකර ලද උණ ගස් ය. මෙසේ සාදා ගන්නා උණ ගස් කිතුල් ගසට හේත්තු කොට, කිතුල් රෑන්, මදුවැල් හෝ තිත්ත වැල් යොදාගනිමින් ගැට ගසන අතර මේ ලෙසින් කිතුල් ගසට නැගීම සඳහා ආධාරකයක් සාදා ගැනීම ගැමියන් හඳුන්වන්නේ “හැර බැඳීම” ලෙසිනි.

හැර බැඳීමෙන් අනතුරුව ගැමියන් අට්ටාලයක් සකස් කිරීම සිදු කරයි. මෙසේ සිදු කිරීමට හේතුව වන්නේ කිතුල් ගසේ මල බෙහෙත් තබන ස්ථානයේ රඳවා තැබීමයි. මෙම අට්ටාලය ද ඉතා ශක්තිමත් ආකාරයෙන් සකසා ගන්නා ගැමියන් එහි ආරක්ෂාව සඳහා එය ඉහළ අත්තක ගැට ගසා වැලක් සකස් කරන අතර එය හඳුන්වනු ලබන්නේ  ඔත් වැල යනුවෙනි. මෙහි සවිමත් බව සඳහා තවත් ආධාරක පොලු කීපයක් කිතුල් ගසට තබා ගැට ගැසීම ද සිදු කරයි.

කිතුල් මල පුපුරා යන්නට ආසන්න තත්ත්වයේ පවතින විට කිතුල් මලට බෙහෙත් ගැල්වීම සිදු කරන අතර මල පුපුරා ගියහොත් කිතුල් මදින්නා තම කාර්යය අතහැර දමයි. මෙලෙස බෙහෙත් බැදීමට සුදුසු තත්ත්වයට පත් වූ මල, ගැමියන් හදුන්වනු ලබන්නේ “අක් මල” යනුවෙනි. මල පුපුරා යෑමට නොදී බෙහෙත් තැබීම මගින් එය පදම් කර ගැනීම සිදු කරයි. මෙම මල බෙහෙත් බැදීමේ ක්‍රියාවලිය ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතු අතර ඒ සඳහා හොඳ අත්දැකීමක් තිබිය යුතු බවට ගැමියන් විශ්වාස කරයි. කිතුල් මලට බෙහෙත් බැදීමේදී එහි හිස කොටසේ පුරුක් කීපයක් ඉවත් කොට පිටතට වන සේ සිදුරු කළ යුතු අතර ඉන්පසුව එහි ඇතුලත ඇති දිව මදයට හානි නොවන සේ බෙහෙත් ගැල්වීම සිදුකල යුතුයි. මෙලෙසින් බෙහෙත් ගැල්වීම සඳහා අතීතයේ ගැමියන් විසින් යොදාගෙන තිබෙන්නේ ගම්මිරිස්, මිරිස්, කොච්චි, ඇඹුල් වර්ග, සුදුලූනු, සූදුරු, මාදුරු ආදියයි. කිතුල් මල හරි ආකාරයෙන් සකස් නොවුණහොත් ඒ සඳහා පිළියමක් ලෙස ඇතැමුන් පොල් හෝ අළුහුණු යොදා යළිත් යළිත් මල බෙහෙත් තබන අවස්ථාද තිබෙන අතර සමහර පුද්ගලයන් කිතුල් මල නාහා නැමැති වැල් වර්ගයකින් බැඳ තැබීම ද සිදු කරනු ලබයි.

තවත් සමහරුන් කිතුල් මල කඩා වැටීම වැළැක්වීම සඳහා ඔට්ටු වැල බැඳීම යනුවෙන් හඳුන්වනු ලබන කිතුල් මලේ තවත් අත්තක එය ගැටගසා තැබීම සිදුකරනු ලබයි. දින කීපයක් ගත වූ පසු මල පදම් වන අතර එහි අග කොටස කපා හැරීම සිදු කරයි. කිතුල් මලේ අග කොටස “අග් මල” ලෙස හැඳින්වෙන අතර එවිට කිතුල් මලෙන් ලැබෙන පළමු තෙලිජ්ජ හෙවත් මුල්ම තෙලිදිය වෑස්සීමට පටන් ගනී. මෙම මුල්ම කොටස ගැමියන් විසින් හදුන්වනු ලබන්නේ “කහට කදුලු” ලෙසිනි.

දින තුනකට පමණ පසුව රා හෝ හකුරු නිෂ්පාදනයට අවශ්‍ය තෙලිජ්ජ පෙරීම සිදු කරනු ලබයි. මල් පිහිය නම් සියුම් පිහි තලයක් මගින් ඉතා ප්‍රවේශමෙන් මෙම කාර්යය සිදු කරන අතර එම තෙලිජ්ජ එකතු කරගනු ලබන්නේ පුවක් අත්තේ තිබෙන “කළං කොලය” නම් කොටසටයි. මැටි මුට්ටි ද තෙලිජ්ජ එකතු කිරීම සදහා යොදාගත හැකිය.

ප්‍රවේශමෙන් කිතුල් ගසෙන් බා ගන්නා තෙලිජ්ජ මුට්ටිය පැය ගණනාවක් හැඳි ගාමින් උණූ කිරීමෙන් පසුව අවශ්‍ය පදමට පැමිණෙයි. ඉන් අනතුරුව කිතුල් පැණි හෝ හකුරු නිෂ්පාදනය කර ගත හැකිය.

ඇතැම් පුද්ගලයන්ගේ ඇස් වහ, කට වහ වැනි අයහපත් ක්‍රියා වලින් කිතුල් මල් ආරක්ෂා කර ගැනීම සඳහා එකල ජීවත් වූ ගැමියන් විවිධ කෙම් ක්‍රම අනුගමනය කළහ.

කිතුල් පැණි 

වර්තමානය වන විට කිතුල් පැණි සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළ ය. නමුත් ස්වභාවිකව සකසන ලද පිරිසිදු කිතුල් පැණි ලබා ගැනීම සඳහා මේ වන විට බොහෝ දෙනෙකුට අවස්ථාවක් නොපවතින්නේ, කිතුල් පැණි යනුවෙන් හදුන්වන සීනි පැණි ඇතැම් වෙළඳුන් විසින් විකිණීම හේතුවෙනි. ඉතා හොඳ කිතුල් පැණි බෝතලයක මිල වර්තමානයේදී නම් රුපියල් 700ක් හෝ ඊට වඩා වැඩි අගයක් ගන්නා අතර එහි රසය සීනි පැණි රසයට වඩා බොහෝ වෙනස් වේ. එසේම කිතුල් පැණි වලට ආවේණික සුවඳක් ද, පැහැයක් ද  පවතී.

ඉහත සඳහන් කළ ආකාරයෙන් සකසන ලද පිරිසිදු කිතුල් පැණි වල ඔබ නොසිතන ආකාරයේ ඖෂධීය ගුණාංග රැසක් තිබේ. එසේම මෙම ඖෂධීය ගුණාංග භාවිතයෙන් හෙළ වෙදකමේදී මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී ද බොහෝ රෝග වලට ප්‍රතිකාර කිරීම ද සිදුවේ. එසේම පිරිසිදු කිතුල් පැණි භාවිතයෙන් සකසා ගන්නා ආහාර වර්ග බොහෝමයක් ද ආසියාතික රටවල් ආශ්‍රිතව තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සාදන කැවුම් වර්ග වැනි රස කැවිලි වර්ග පිළියෙල කිරීම සඳහා කිතුල් පැණි අනිවාර්යයෙන් ම පාහේ යොදා ගැනේ.

දේශීය වෙදකමේදී විවිධ කසාය සැකසීම සඳහා කිතුල් පැණි යොදා ගන්නා අතර කලින් සඳහන් කළ ආකාරයට කිතුල් මලෙන් හටගන්නා පළමු කොටස හෙවත් අක් මල් තෙලි දිය, කැඩුම්-බිදුම් වෙදකම සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගැනේ. එසේම සෙංගමාලය වැනි රෝග වලින් පෙළෙන පුද්ගලයන් සඳහා කැඳ වර්ග සකසා ගැනීමටත් කිතුල් පැණි යොදාගනියි. කිතුල් පැණිවල ඇති පැණි රසය සීනි වල ඇති පැණි රසය මෙන් දියවැඩියා රෝගීන්ට අගුණ වන්නේ ද නොමැත. පිලිස්සුම් තුවාල සදහා ප්‍රතිකාර කිරීමට ද කිතුල් පැණි යොදා ගනියි. එසේම ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම ද මෙමගින් සිදු කෙරේ. එහි ඇති “ඉනොසිටෝල්” නම් සංඝටකය මගින් අක්මාව ඉදිමීම පාලනය කෙරේ. කිතුල් පැණි වල විටමින් ඒ බහුල බහුලව අඩංගු හෙයින් ඇස් වල සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමටත් සමේ නිරෝගීතාවය රැකගැනීමටත් කිතුල් පැණි ඉවහල් වේ.

කිතුල් පැණි වලින් සකසා ගන්නා ලද ආහාර හෝ කිතුල් පැණි එලෙසින්ම වුව මේ වනවිට වෙළඳපොලෙන් මිලදී ගැනීම සඳහා තිබෙන අතර ඉතා අනර්ඝ තත්වයේ පැණි ලබාගැනීමට නම් විශ්වාසදායී වෙළඳ නාමයක් සහිත නිෂ්පාදන ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව කිතුල් පැණි වලින් විවිධ රසකැවිලි; කැවුම් වර්ග, වටලප්පන් වැනි බොහෝ ආහාර වර්ග රාශියක් නිවසේදීම සකසා ගැනීමට ඔබට හැකියාව ලැබේ. මීට අමතරව කිතුල් පැණි යොදා සකසන ලද වෙනත් අයිස්ක්‍රීම් වැනි ආහාර වර්ග වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට ඔබට හැකියාව තිබේ.

කිතුල් හකුරු

Kithul-www.herbalvoice.lk

හකුරු ආහාරයට ගැනීම සඳහා බොහෝ දෙනෙක් ප්‍රිය කරන අතර අතීතයේ බොහොමයක් දෙනා තේ කහට පානය සඳහා සීනි වෙනුවට යොදා ගත්තේ කිතුල් හකුරු ය. මේ වන විටත් බොහෝ දෙනෙක් විවිධ ආහාර වර්ග සෑදීම සඳහාත් කිතුල් හකුරු යොදා ගනියි.

නමුත්, වර්තමානයේ තිබෙන විශාලම ගැටළුවක් වන්නේ පිරිසිදු කිතුල් හකුරු වෙනුවට සීනි යොද සකසන ලද ව්‍යාජ හකුරු  වර්ග වෙළඳපොලේ බහුලව තිබීමයි. ඉතා විශාල මුදලක් ගෙවීමෙන් අනතුරුව පවා ව්‍යාජ හකුරු ලබා ගැනීම නිසා පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වන අවස්ථා බොහෝය. නමුත් කිතුල් පැණි වලින් සකසන ලද පිරිසිදු හකුරු හඳුනා ගැනීම පහසුයි. පිරිසිදු හකුරු නම් ඉන් කැබැල්ලක් කටට දමාගත් විට එය නිරායාසයෙන්ම දිය වෙන අතර කිතුල් හකුරු කොටස් වලට කැඩීම සඳහා ඔබට විශාල ප්‍රයත්නයක් යෙදීමට අත්‍යාවශ්‍ය නොවේ. එසේම ඔබ පිරිසිදු කිතුල් හකුරු වල ඉරක් ඇදි සැනින් ඒ ඉර නැවතත් යාවේ නම් ඒවා, සීනි කලවම් නැති පිරිසුදු තත්වයේ කිතුල් හකුරු වේ.

ලෝකයේ හකුරු නිෂ්පාදනයෙන් 70% ක්ම සිදුකරන්නේ ඉන්දියාවේ වන අතර ඒ උක් ශාකය හරහාය. නමුත් ශ්‍රී ලංකාව වැනි රටවල ඉහල ඉල්ලුමක් පවතින්නේ කිතුල් ශාකයෙන් නිෂ්පාදනය කරන ලද හකුරු වලටය. කිතුල් පැණි පදමට උණු කිරීමෙන් අනතුරුව පොල් කටු වලට වක් කර සිත් ඇදගන්නා සුලු හැඩයකින් සමන්විත හකුරු බෑ නිපදවා ගත හැකිය. රන් පැහැයේ සිට ලා රතු පැහැය දක්වා විහිදෙන වර්ණ වලින්  හකුරු යුක්ත වේ. ලා පැහැයෙන් යුත් හකුරු වලට ඇති ඉල්ලුම ඉහල වන අතර එහි පෝෂණ ගුණය ද ඉතා ඉහල වේ. හකුරු වල මන්ඩි හෙවත් molasses බොහෝ ලෙස අඩංගු හෙයින් සීනි වලට වඩා ඉතා ගුණදායි වේ. ෆෘක්ටෝස්, සුක්‍රෝස් සහ ග්ලූකෝස් වලට අමතරව ප්‍රෝටීන, මේදය, යකඩ, මැග්නීසියම්, පොටෑසියම් සහ මැන්ගනීස් වලට අමතරව තවත් බොහෝ පෝෂණ ගුණයන් මෙහි අඩංගු වේ. තවද, විටමින් බී, සින්ක්, තඹ වැනි පෝෂ්‍ය  කොටස් ද මෙහි අඩංගු වේ.

දේශීය රසකැවිලි පිළියෙල කිරීමට පමණක් නොව, රෙදි වර්ණක හා වයින් නිපදවීමට ද කිතුල් හකුරු යොදා ගැනේ. බොහෝ තන්තු ප්‍රමාණයක් ද, ඛනිජ ලවණ ද, විටමින් වර්ග බොහොමයක් ද අඩංගු හෙයින් කිතුල් හකුරු ආහාරයට ගැනීම තුලින් ඔබේ සෞඛ්‍ය තත්වය යහපත් වේ. ආහාර මාර්ගය පිරිසිදු කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී කිතුල් හකුරු යොදා ගන්නා අතර කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්ව සමනය සඳහා ද ඒවා ප්‍රයෝජනවත් වේ. එසේම එහි අඩංගු යකඩ ප්‍රමාණය හේතුවෙන් රක්තහීනතාවය අවම කරන අතර අක්මාවෙ විෂහරණය ද සිදු කරයි. මීට අමතරව හකුරු ආහාරයට එකතු කර ගැනීම මඟින් ශරීරයේ ප්‍රතිශක්තිය දියුණු වේ. වෙනත් විවිධ කායික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ද කිතුල් හකුරු යොදා ගන්නා අතර කැඩුම්-බිදුම් වෙදකමේ පවා කිතුල් හකුරු ප්‍රතිකාර සදහා ඇතැම් අවස්ථාවලදී යොදා ගන්නා බව පතපොතෙහි සඳහන් වේ.

කිතුල් පිටි

කිතුල් පිටි වල ඇති ගුණයන් බොහෝමයක් තිබෙන අතර මිනිස් ශරීරය ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා කිරීමට කිතුල් පිටි පරිභෝජනය ඉවහල් වේ. කිතුල් පිටි ලබාගන්නේ කිතුල් ශාකයේ බොඩෙනි. කිතුල් පිටි වල කාබෝහයිඩ්‍රේට් වලට අමතරව ප්‍රෝටීන්, කැල්සියම්, පොටෑසියම්, ඛනිජ ලවණ, මේදය සහ පොස්පරස් වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ අඩංගු වේ. කිතුල් පිටි වලින් සැකසූ ආහාර වර්ග පරිභෝජනය මගින් බොහෝමයක් සෞඛ්‍ය වාසි ලබා ගැනීමට හැකිය. විශේෂයෙන්ම ගැස්ට්‍රයිටිස් වැනි රෝග පාලනය සඳහා කිතුල් පිටි මගින් සැකසූ කිතුල් තලප වැනි ආහාර යොදාගත හැකිය. කුඩා ළමුන් සදහා ඉතා ගුණදායි ආහාරයක් වශයෙන් කිතුල් පිටි මගින් සැකසූ ආහාර ලබාදිය හැකිය. කිතුල් පිටි මගින් සැකසූ ආහාර පරිභෝජනය මගින් වැඩ කරන පුද්ගලයින් සඳහා බොහෝ ශක්තියක් ලබාදෙන අතර දෙන අතර සිරුරට සෞම්‍ය බවක් ද ලබාදේ. එසේම නිතර ක්ලාන්ත ගතියෙන් පෙළෙන අයට කිතුල් පිටි කැඳ ලබා දීම මගින් සහනයක් අත් කර ගත හැකිය. මීට අමතරව රක්තහීනතාවය, අධි රුධිර පීඩනය සහ පාණ්ඩු රෝග ආදියෙන් පෙලෙන පුද්ගලයන් හට කිතුල් පිටි මගින් සැකසූ ආහාර ලබාදීම මගින් එම රෝග තත්ත්වයන් සමනය කරගත හැකිය. 

කිතුල් පිටි ස්වල්පයක් මගින් වුවද බොහෝ ගුණදායි ආහාර වර්ග රැසක් සකසාගත හැකිය. කිතුල් පිටි කැද, කිතුල් පිටි තලප, වැනි ආහාර මේ සදහා උදාහරණ වේ. කිතුල් පිටි නිෂ්පාදන වර්තමානය වන විට වෙළෙඳ පොළෙන් පහසු මිලට ලබාගත හැකි අතර ඒවා මගින් ඉතා රසවත් ආහාර ඔබට නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.

ශ්‍රී ලංකාවේ පහත රට කලාපවල පොල් ගස මෙන්ම, උතුරු පළාත් වලට තල් ගස ද වැදගත් වේ. එසේම කඳුකර පළාත්වල මෙන්ම ශ්‍රී ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල ජීවත් වන ගැමි ජනයාට තම එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යාමට වැදගත් වන ශාකයක් ලෙස කිතුල් ශාකය හැදින්විය හැකිය. වර්තමානය වන විට කිතුල් ශාකය ආශ්‍රිතව නිශ්පාදන කිරීමට තරුණ  පිරිස් අකමැත්ත පල කිරීමත්, නීතිමය ගැටලු නිසාවෙනුත් කිතුල් ගසෙහි වටිනාකම මේ වන විටත් සමාජයෙන් දුරස් වෙමින් පවතී.  නමුත් මෙම කර්මාන්තය කෙරේ යහපත් අවධානයක් ලබාදී, එම කර්මාන්තය නව තාක්ෂණික ක්‍රම ඔස්සේ ඉහල නැංවීම සිදු කල යුතුය. බොහෝමයක් ගැමි ජනයා මෙම කර්මාන්තයේ නියැලීම නිසා තම ජීවිත අනතුරට පත් කරගෙන සිටිනුයේ මෙතරම් දියුනු ලෝකයේ වුවද ඒ සදහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමයන් නොමැති අඩු පාඩුව නිසාවෙනි.

නමුත් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ප්‍රසිද්ධ නමක් දැරිය හැකි කර්මාන්තයක් ලෙස කිතුල් ශාකය ආශ්‍රිත නිෂ්පාදන දැක්විය හැකිය. මෙම නිෂ්පාදන මෙරට සහ වෙනත් රටවල් වල ප්‍රසිද්ධියට  පත් කිරීම මගින් ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් විශාල ශක්තිමත් බවක් ලබාගත හැකිය. එසේම විවිධ කෘතීම ආහාර පාන වෙනුවට කිතුල් ශාකයෙන් සෑදූ පැණි, හකුරු සහ අයිස්ක්‍රීම් ආදිය භාවිතය තුලින් නිරෝගිමත් ආහාර රටාවකට හුරු වීමට අපට හැකියාව තිබේ.

මේ හා සම්බන්ද නිෂ්පාදන

අදහස් දක්වන්න