කපුටා ගැන නොදත් අපූරු තොරතුරු
ආසියාව ආශ්‍රිතව උපත ලබා ලෝකයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වී සිටින කපුටන් නේපාලය, බංගලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, මාලදිවයින වැනි රටවල් තුළ අධික ලෙස ව්‍යාප්ත වී සිටිනු දැකිය හැකිය. Corvus splendens යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කපුටන් ජීවී වර්ගීකරණයේ, සත්ව රාජධානියේ පෘෂ්ඨවංශිකයන්ට අයත් වූ පක්ෂි විශේෂයකි. ලෝකය පුරා Corvus splendensහි උප විශේෂ අටක් පමණ නිරීක්ෂණය කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ මූලික ලෙසම කපුටාගේ උප විශේෂ දෙකක් හමුවේ. සාමාන්‍ය ශරීර ප්‍රමාණය 40cm පමණ වන අතර උප විශේෂය අනුව සිරුරෙහි ප්‍රමාණයේ මද වෙනස්කම් පවතී.

ලංකාවේ කපුටන්
ශ්‍රී ලංකාව තුළ මූලිකවම “කොළඹ කපුටා” සහ “කළු කපුටා” ලෙස හඳුන්වනු ලබන උප විශේෂ දෙකක් දැකිය හැකි අතර “කොළඹ කපුටන්” ගහණය සාපේක්ෂව ඉහළය. කළු කපුටාගේ මුළු ශරීරයම කළු පැහැයකින් යුක්ත වන අතර කොළඹ කපුටාට සාපේක්ෂව ශරීර ප්‍රමාණය විශාලය. කොළඹ කපුටාගේ මුහුණෙහි නළල ප්‍රදේශය, පපුවේ ඉහළ කොටස, පියාපත්, වලිගය, කකුල් කළු පැහැ වන අතර බෙල්ල, පපුවේ පහළ කොටස අළු දුඹුරු පැහැයක් ගනී. කපුටෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 14-15 ලෙස සැලකේ.
රතු දත්ත පොතෙහි Least Concern (LC) හෙවත් අවම ලෙස අවධානය යොමු කරන කොටසට අයත් වන මෙම පක්ෂී විශේෂය ලොව පුරා ඉතා විශාල ගහණවලින් පැවැතීම නිසා වඳවීයාමේ තර්ජනයකට ලක් වී නැත. මිනිසුන් සමඟ බහුල ලෙස ගැවසෙන බැවින් කපුටා සමාජශීලි සත්වයෙකු ලෙස සලකනු ලැබේ.
ආහාර රටාව
මොවුන්ගේ ආහාර රටාව සැලකූ කල මොවුන් කුඩා උරගයන්, පණුවන් විශේෂ, කෘමින්, ධාන්‍ය වර්ග, පළතුරු වර්ග අනුභවයට ගන්නා සර්වභක්ෂකයන් ලෙස හැඳින්වීමට හැකිය. විශේෂයෙන්ම කුණු ගොඩවල්, මාළු වෙළඳසැල්, වෙළෙඳපොළ ආශ්‍රිතව මෙම පක්ෂීන් දැකිය හැක්කේ, එම ස්ථාන ආශ්‍රිතව ඔවුන්ට ආහාර බහුලව ඇති බැවිනි. එබැවින් පරිසර දූෂණය පිළිබඳව මිම්මක් ලබාදීමට ද කපුටන්ගේ ගහනය උපකාරී වේ. යම් පරිසර පද්ධතියක් තුල ජීවත් වන කපුටන්ගේ ඝනත්වය වැදගත් වන්නේ, පරිසර දූෂණය ඉහළ පරිසර තුළ කපුටන් වැඩි වශයෙන් දැකිය හැකි බැවිනි. ආහාර වර්ග සොයා ගැනීමට සහ නව ආහාර වර්ගවලට හුරුවීමට කපුටන්ට ඇති හැකියාව නිසා පරිසරය තුල ඔවුන්ට නොනැසි ජීවත් වීමට වැඩි හකියාවක් තිබේ.

වර්ගයා බෝ කිරීම
ජීවිත කාලය පුරා බොහෝ විට එක් සහකරුවෙකු පමණක් සිටින කපුටන් තම බල ප්‍රදේශය තුළ තම අණසකට නතු වන ගැහැණු සත්වයා සමඟ සංසර්ගයේ යෙදේ. ගස් මුදුන් මත අපිළිවෙළ කූඩු තනා ඒවායේ බිත්තර දැමීමත්, පැටවුන් බිහිවන තුරු එම බිත්තර රැකීමත්, පැටවුන් යම්තාක් දුරකට වර්ධනය වන තුරු දෙමාපිය පක්ෂීන් විසින් පැටවුන් පෝෂණය කිරීමත් දැකිය හැකිය. නිශ්චිත කාල සීමාවක් නොමැති වුවද වැඩි වශයෙන් අප්‍රේල් සිට ජුලි දක්වා කාල සීමාවේදී කපුටන් විසින් බිත්තර දැමීම සිදු කරනු ලැබේ. මෙහිදී වරකට බිත්තර 3-5 ප්‍රමාණයක් දමනු ලබන අතර දින 18ක කාලයක් එම බිත්තර රකිනු ලැබේ. දින 28-30 පමණ වන විට කුරුළු පැටවුන්ට කූඩුවෙන් පියඹා යා හැකි වුවද මාපිය පක්ෂීන් විසින් දින 60ක පමණ කාලයක් පැටවුන්ව පෝෂණය කරනු ලැබේ. පක්ෂීන්ගේ ලෝකය තුළ පවතින මව් සෙනෙහසට කදිම උදාහරණයක් ලෙස මෙම කාරණාව දැක්විය හැකිය.

වයස්ගත වූ පසු තම දෙමාපියන් රැකබලා ගනියි
සාමාන්‍යයෙන් කොවුලන් වසරේ යම් කාල සීමාවකදී දී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන අතර කොවුලන් විසින් බිත්තර දමනු ලබන්නේ කපුටන් තනනු ලැබූ කූඩුවලය. බිත්තර හා පැටවුන් බොහෝදුරට සමාන බැවින් කපුටු දෙමාපියන් විසින් කොවුල් පැටවුන් පෝෂණය කරනු ලබන අතර පැටවුන් වර්ධනය වූ පසු කෑ ගැසීමේදී ශබ්දය වෙනස් බව හදුනාගත් විගස, කපුටෝ එම පැටවුන් කූඩුවෙන් නෙරපා දමන බව මිනිසුන්ගේ මතයයි. කපුටන් බිත්තර දමා පැටවුන් ලැබුණු පසු ඔවුන් පෝෂණය කිරීම සඳහා එම දෙමාපියන්ගේ කලින් පැටවුන් පැමිණෙන අතර කපුටන් වයසට ගිය පසු තම දරුවන් විසින් වැඩිහිටි කපුටන් පෝෂණය කිරීමට පැමිණෙන බව විශ්වාස කරනු ලැබේ. දැනට ලෝකයේ සිදුකොට ඇති විවිධ පර්යේෂණවලින් පවා මේ කරුණු පිලිබදව සත්‍යතාවයක් නිරීක්ෂණය කොට තිබේ.
කපුටා හා බැඳුනු ජන විශ්වාසයන්
කපුටා යනු සාමාන්‍ය පරිසරය තුළ නිතර දැකිය හැකි, මිනිසාට සමීප පක්ෂියෙකු බැවින් කපුටා වටා ගෙතුණු ජනශ්‍රැති, ජනප්‍රවාද, ජනකතා සහ අනාවැකි බහුල ලෙස පවතී. අතීතයේ ගැමියන් විශ්වාස කල පරිදි කපුටෙකුගේ කෑ ගැසීම නිවසට අමුත්තන් පැමිණෙන බව කියනා අපූරු අනාවැකියකි. එම ප්‍රවාදයේ ප්‍රාදේශීය වශයෙන් යම් යම් වෙනස්කම් පවති. ඒ ඇඹුල් ගසක සිට කපුටෙකු හඬ නැගීම, නිවස දෙස බලා කපුටෙකු හඬ නැගීම, නිවස අසල ගසක සිට කපුටෙකු හඬ නැගීම, උදෑසන කාලයේ නිවස ආසන්න ගසක සිට කපුටෙකු හඬ නැගීම ආදී වශයෙනි. නමුත් පොදුවේ ගත් කල කපුටෙකු කෑගැසිම අමුත්තන්ගේ පැමිණීමක් සනිටුහන් කරන අනාවැකියක් සේ ඔවුහූ සැලකූහ.
මීට අමතරව කපුටෙකු ශරීරයට මලපහ කිරීම, ලොතරැයි දිනුමක් වැනි වාසනාවක් උදාවීමට හේතු වන බව ගම්වාසිහු විශ්වාස කලහ. මෙයද කපුටෙකු උදෑසන කාලයේ ඇඟට මලපහ කිරිම, ගස් මුදුනක සිට ඇඟට මලපහ කිරිම, පියාඹමින් සිටින කපුටෙකු ඇඟට මලපහ කිරිම ලෙස ප්‍රාදේශීය වශයෙන් යම් යම් වෙනස්කම් පවති. වර්තමානය වන විට මෙම විශ්වාස යම්තාක් දුරකට සමාජයෙන් බැහැර වී තිබුණ ද මෙම අනාවැකි විශ්වාස කරන්නන් තවමත් සමාජයේ සිටිති. “කළු කපුටා සුදු වෙන තුරු” ලෙසද සමාජයේ අප අතර ප්‍රසිද්ධ වැකියක් පවතින්නේ කිසිදා සැබෑවක් නොවන, කිසිදා උදා නොවන අවස්ථාවන් පිළිබඳව ඇඟවීමටය. නමුත් ඇලිබව නිසා පියාපත් සුදු පැහැ වූ සුදු කපුටන් ලොව පුරා කලාතුරකින් දැකිය හැකිය.
තනිව කිසිවිටෙක ආහාර නොගනියි
කපුටන් තනි තනි වශයෙන් පරිසරය තුළ දක්නට ලැබුණද, ඇතැම් අවස්ථාවලදී විශේෂයෙන්ම ආහාර බහුල ස්ථානයකදි කපුටන් රංචු ලෙස සිටිනු දක්නට ලැබේ. එක් කපුටෙකුට ආහාරයක් ලැබුණු විට එය තනිවම අනුභව කිරීම පසෙකලා, හඬ නගමින් තම රංචුවේ අනෙකුත් සාමාජිකයන්ටද හඬ ගැසීමේ අගනා පුරුද්දක් කපුටෝ සතු වෙති. එමඟින් ආහාර නොමැතිව සිටින අනෙක් කපුටන්ට ද ආහාර හිමිවන බැවින් ඔවුන්ගේ ද කුසගිනි නිවෙන නිවේ. මෙම කරුණ උපයෝගි කරගෙන විශ්ව විද්‍යාල තුළ නිවසින් රැගෙන එන ආහාර පාර්සලයක් “කාක්කා” ලෙස හැඳින්වීමටත්, ඒ ආශ්‍රිතව කාක්කෙක් ගෙනාවා, කාක්කෙක් කනවා ආදී වාග් ප්‍රකාශන ඇති වීමටත් හේතු වී තිබේ.

කපුටු නුවණ
කපුටා යනු තරමක සියුම් බුද්ධියක් හා මතකයක් හිමි සත්වයෙකු ලෙස සලකනු ලැබේ. ජෛව විද්‍යාත්මක වශයෙන් එයට හේතුව ලෙස සලකන්නේ සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව විශාල මොළයක් කපුටාට පැවතීමයි. එනම් මොළයේ ප්‍රමාණය ශරීර ප්‍රමාණයට දරණ අනුපාතය ඉහළ අගයක් ගැනීමයි. සාමාන්‍යයෙන් කපුටෙකුගේ මොළයෙහි ස්කන්ධය, ශරීර ස්කන්ධයෙන් 27% ලෙස සලකනු ලැබේ. යම් අවස්ථාවකදි තමාට හිරිහැර කල හෝ තර්ජනයක් වන පුද්ගලයෙකුගේ මුහුණ කපුටාට ජීවිත කාලය පුරාම මතක තබා ගත හැකි බවත්, එම මතකය ඔස්සේ තම සහෝදර කපුටන් හට එම පුද්ගලයා කෙරෙහි අප්‍රසන්න බවක් හා අකමැත්තක් ඇති කිරීමට ක්‍රියා කිරීමට තරම් එම මතකය ප්‍රබල බවත් පිලිගනු ලැබේ.
මේ නිසා ඒ වටා ගොඩ නැගුණු ජනකතා හා කියමන් රාශියක් සමාජය තුළ තවමත් පවති. “නුවණක්කාර කපුටා”, “කපුටා වතුර බීපු හැටි” ආදි ලෙස ගොඩ නැගුණු ජනකතා සිංහල සාහිත්‍යය තුළ පවති. අධික පිපාසයකින් පෙළුණු කපුටෙකු කළයක පතුලේ ජලය තිබෙනවා දැක එය පානය කිරීමට ක්‍රමයක් කල්පනා කල බවත්, පසුව එම කපුටා අසල පිහිටි ගල් ගෙනැවිත් කළය තුළට දමා ජල මට්ටම ඉහළ පැමිණි පසු ජලය පානය කල බවත් එම කතාවෙන් කියවේ. මේ නිසා කපුටා යනු බුද්ධිමත් සතෙකු ලෙස සලකනු ලැබේ. කපුටා හට ද්‍රව්‍ය භාවිත කිරීමේ හා හැසිරවීමේ සහජ හැකියාවක් පවතින බව පර්යේෂණ මගින් තහවුරු වී තිබෙන අතර මෙවන් ජනකතා මගින් එම කරුණු විද්‍යාමාන වේ. ඊට අමතරව “කපුටා කේජු කාපු හැටි” ආදි කතාවන්ද සිංහල සාහිත්‍යය තුළ ප්‍රචලිතය.
ශ්‍රී ලාංකිකයන් සේම ඉන්දියානුවන්ද නිවස දෙස බලා කපුටෙකු කෑ ගැසීම නිවසට අමුත්තෙකු පැමිණෙන බවට වූ අනාවැකියක් ලෙස විශ්වාස කරනු ලැබේ. තවද, කපුටා එකමුතුව හඟවන සංකේතයක් ලෙසද සලකනු ලැබේ. බොහෝවිට ආහාරයක් ලැබුණු පසු කපුටන්ගේ හැසිරිම මෙම ඉගැන්වීමට හේතු වන්නට ඇත. මීට අමතරව හින්දු ආගමේ යම් යම් ඉගැන්වීම් තුළ කපුටා යනු අතීත හා වර්තමාන මිනිසුන් අතර සම්බන්ධීකරණයේ සංකේතයක් ලෙස හඳුන්වා දෙනු ලබන අතර කපුටෙකුට ආහාර ලබා දුන් කාන්තාවකගේ මල සිරුර දින කිහිපයකට පසු හිතවතුන්ට හමු වූ බවට ඉන්දීය සාහිත්‍යය තුළ ප්‍රබන්ධයක් පවතී.
කපුටා හා මිනිසා අතර අතීතයේ පටන් පවතින සම්බන්ධතා
දහ අටවන සියවසේදී වියට්නාම වැසියන් කපුටා ගෘහස්ථව ඇති කරමින් දෛනික වැඩ කටයුතු සඳහා යොදා ගත් බව පැවසේ. කපුටා සතුව ඉහළ තීක්ෂණ බුද්ධියක් පැවතීම හා මනා සම්බන්ධීකරණ හැකියාවක් පැවතීම හේතුවෙන් වියට්නාම වැසියන් විසින් කථනය සඳහා කපුටන් හුරු කල බවත්, ස්වාමියා නොමැති අවස්ථාවන්හිදී නිවසේ ආරක්ෂාව සඳහා තබාගත් බවත් කියැවේ. තවද, කපුටන් හට යම් පුද්ගලයෙකුගේ මුහුණ, හැඩරුව මතකයේ තබා ගත හැකි නිසා වියට්නාම් සාහිත්‍යය තුළ ඒ වටා ගොඩ නැගුණු ජනකතාද පවතී.
අතීත රුසියානුවන් කපුටා පූජනීයත්වයෙන් ඇදහූ අතර කපුටෙකු මරා දැමීම අවාසනාව ගෙන එන්නක් ලෙස සලකනු ලැබීය. “යමෙකු තම තුවක්කුවෙන් කපුටෙකු මරා දමන්නේද, එයින් පසු තුවක්කුව ඵල රහිතය” ලෙස අතීත රුසියානු කියමනක් පවතින්නේ ඔවුන් කපුටා එතරම් පූජනීයත්වයෙන් සැලකූ බැවිනි. එසේම කපුටන් සතුව තම භූමිය හා මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ දැනුමක් පවතින බවට වූ විශ්වාසයද මෙම පූජනීයත්වයෙන් සැලකීමට හේතු පාදක වී තිබේ.

ඇතැම් ග්‍රීක විශ්වාසයන් තුළ කපුටා යනු අවාසනාව සංකේතවත් කරන්නෙක් ලෙස මිත්‍යා මත පැවැතියද, බොහෝ සංස්කෘතීන් කපුටා යනු වාසනාවේ හා සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සලකනු ලබයි. නමුත් ඇතැම් කපුටු විශේෂ බෝග වගාවන්ට හානි කිරිමත්, බෝග වගාවන් ආශ්‍රිතව ජීවත් වන වගාවට හිතකර කෘමින්, පණුවන්, වැනි සතුන් කා දැමීමත් නිසා කපුටා, ඇතැම් අවස්ථාවන්හිදී අවාසිදායක සතෙකු ලෙස සලකනු ලැබේ. නමුත් සමස්තයක් ලෙස බැලූ කල කපුටා යනු මිනිසාට සමීපව තම වර්ගයා සමග ඉතා අනගි අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවත්වාගෙන යමින් පරිසරයේ ජීවත් වන වටිනා ජීවී කොට්ඨාසයකි.