ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරනු ලබන නිර්වචනයට අනුව සනීපාරක්ෂාව යනු මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා හා රෝග පැතිරීම වැලැක්වීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමර්ගයන් වේ. ඒ අනුව ප්‍රජා සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වා ගැනීම උදෙසා සමාජය තුළ ජීවත් වන එක් එක් පුද්ගලයන් තම තමාගේ පෞද්ගලික සනීපාරක්ෂාව ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කල යුතුය. එය තමාගේ මානසික හා කායික යහපැවැත්ම උදෙසා සේම අන්‍යයන්ගේ යහපත උදෙසාද ඉතා වැදගත් වේ. යහපත් සනීපාරක්ෂාවක් පැවතිම කායික සුවතාවය කෙරෙහි සේම මානසික සුවතාවය කෙරෙහි ද බලපාන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.
පෞද්ගලික සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීමේදී සමෙහි සනීපාරක්ෂාව, මුඛ සෞඛ්‍යය, දෑත්වල සනීපාරක්ෂාව, මුහුණෙහි සනීපාරක්ෂාව, හිසකෙස්වල සනීපාරක්ෂාව, කන්වල සෞඛ්‍යය, ලිංගාශ්‍රිත සෞඛ්‍යය ආදි අංශයන් සලකා බැලිය යුතු වේ. මෙම සියළු අංගයන්හි අවසාන පරමාර්ථය තම මානසික හා කායික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගනිමින් තම ආශ්‍රිතයන්ගේ කායික හා මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට දායක වීමයි.
සමෙහි සනීපාරක්ෂාව

සම යනු මුළු ශරීරයම ආවරණය කරගෙන පවතින ශරීරයේ විශාලතම ඉන්ද්‍රියයි. බාහිරකාරක නිසා සිරුරේ අභ්‍යන්තර අවයවවලට ඇති විය හැකි හානිය අවම කිරීම, ශරීරය විජලනයෙන් ආරක්ෂා කිරීම, විෂබීජ ශරීරය තුළට ඇතුළුවීම වැලැක්වීම සමෙහි මූලික කෘත්‍යයන් අතරට එක් වේ. සම පුරා ශ්වේද ග්‍රන්ථි මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් පවතින අතර ඒවා මඟින් නිරන්තරයෙන් ශ්වේදය හෙවත් දහඩිය නිපදවා සම මතුපිටට නිදහස් කරමින් සමෙහි තෙතමනය පවත්වා ගැනීමට දායක වේ. නමුත් එක් රැස්වන ශ්වේදය මත බැක්ටීරියා ක්‍රියාකාරිත්වයක් ඇති වෙමින් දුඟද හැමීමක් සිදුවීම පිරිසක් අතර සිටියදී අපහසුතාවයට පත්වීමට හේතුවක් විය හැකිය.
එබැවින් දිනකට වරක් හෝ දෙවරක් අවශ්‍යතාවය පරිදි ඇඟ සේදීම, සම පිරිසිදු කිරීම සිදු කල යුතුය. විශේෂයෙන්ම කිහිලි, ඉකිලි ආදි දහදිය පහසුවෙන් එක් රැස්විය හැකි හා තැන්පත් විය හැකි තැන් පිරිසිදු කිරීම හරහා අප්‍රසන්න දුඟදක් හැමීම, ඇඳුම්වල දහදිය කහට පැල්ලම් ඇති වීම වලක්වා ගත හැකිවේ. තවද, දහදිය තැවරුණු ඇඳුම් සේදීම හෝ හිරු එලිය මඟින් වියලීම හරහා ඒවායේ තැවරී ඇති ශ්වේදය හා ඒ තුළ වර්ධනය වන බැක්ටීරියා විනාශ කිරීමට පුලුවන. කෙසේ වෙතත් නේවාසිකාගාරයක, බෝඩිම් කාමරයක ජීවත් වීමේදී ඇඳුම් පැලඳුම්, විශේෂයෙන්ම යට ඇඳුම් පොදුවේ භාවිත කිරීම නොකල යුතු අතර පොදුවේ භාවිතා කිරීමට සිදුවන අවස්ථාවලදි ඒවා ඉතා හොඳින් සෝදා වියලා ගත යුතුය.
ආසාත්මිකතා හේතුවෙන් ඇතිවන පළු දැමීම්, තුවාල වීම් හා කැළල් මතුවීම් හේතුවෙන්ද සමෙහි පවතින කෘත්‍යයන් අඩාල වීමට හැකි බැවින් තමාට ආසාත්මිකතා ඇතිවන ආහාර වර්ග, ආලේපන භාවිත කිරීම හැකිතාක් අවම කල යුතුය. එසේම අළුහම් ලෙස හඳුන්වන දිලීර හමෙහි වර්ධනය වීම නිසා ඇති වන තත්ත්වයන්ට නිසි පරිදි ප්‍රතිකාර කිරීම හරහා එවන් තත්ත්වයන් සම පුරා ව්‍යාප්ත වීම වලක්වා ගත හැකියි. විශේෂයෙන්ම එවන් තත්ත්වයක් පවතින්නේ නම් කොට්ට, ඇඳ ඇතිරිලි, තුවා, ඇඳුම් පැලඳුම් පොදුවේ පරිහරණය කිරීමෙන් වැලකී සෝදා පිරිසිදුව තබා ගත යුතු වේ.
මුඛ සෞඛ්‍යය

මුඛය යනු ආහාර ඇතුලත් කර ගැනීමට, විශාල ආහාර කැබලි යාන්ත්‍රිකව කුඩා කොටස් බවට පත් කිරීමට, ඛේටය මගින් ඇතැම් පෝෂක ජීර්ණය කිරීම ආරම්භ කිරීමට, ආහාර කුඩා ගුලි බවට පත් කරමින් ගිලීම පහසු කරන ශරීරයේ පවතින වැදගත්ම අවයවයකි. මීට අමතරව කතා කිරීමට, අසාමාන්‍ය තත්ත්වයකදි වමනය ඇති කරමින් ආමාශය හිස් කිරීම වැනි කෘත්‍යන්ද මුඛය මඟින් ඉටු කරනු ලැබේ. මුඛය හරහා ආන්ත්‍රික කොටස් ඔස්සේ රුධිරයට පවතින සම්බන්ධතාවය හේතුවෙන් මුඛ සෞඛ්‍යය කෙරෙහි අවධානය වැඩි වශයෙන් යොමු කිරීම වැදගත් වේ. තවද, කතා කිරීමේදි අන් අය හට දුර්ගන්ධයක් දැනීම තුලින් අප්‍රසන්න බවක් ඇති වීමට ඇති හැකියාව හා කෙළ බිඳිති හරහා රෝග ව්‍යාප්ත වීමේ හැකියාව මත මුඛ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කල යුතු වේ.
මුඛය තුළ පවතින දත්, දිව, තල්ල, හකු ආදි ස්ථානවල ආහාර කැබලි රැඳීම නිසා මුඛය තුළ සිටින බැක්ටීරියා විශේෂ ප්‍රජනනය කිරීම හා පරිවෘත්තිය ක්‍රියා සිදු කිරීම නිසා දුගඳ හැමීම සාමාන්‍යයෙන් සිදු වේ. මෙය අවට සිටින පිරිසට අප්‍රසන්න බවක් ඇති කරන නිසා ආහාර ගැනීමෙන් පසු දත් පිරිසිදු කිරීම සිදුකල යුතුය. එවිට දත්වල රැඳී තිබෙන ආහාර කැබලි ඉවත් වී මුඛයේ ඇති ක්ෂූද්‍ර ජීවි ගහණය නියතව පවතී. දිනකට දෙවරක් ෆ්ලොරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතා කර දත් මැදීමෙන් බොහෝ මුඛ රෝග වලක්වා ගැනීමට හැක. තවද මාස කිහිපයකට වරක් දත් බුරුසුව අළුත් කල යුතු අතර එහි කෙඳි අසාමාන්‍ය තත්ත්වයට පත් වී ඇත්නම් බුරුසුව භාවිතයෙන් ඉවත් කල යුතුය. මීට අමතරව විෂබීජනාශක මුඛ සේදුම් දියරයකින් මුඛය සේදීම, අවම ලෙස ලුණු මිශ්‍ර ජලයෙන් මුඛය සේදීම හරහා මුඛ රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.
ලුණු හැඳි භාගයක් මද රස්නය ඇති උණු වතුර සමඟ මිශ්‍ර කොට ලුණු ද්‍රාවණයක් සකසා ගත හැකි අතර, දිනකට වරක් හෝ දෙවරක් තත්පර දහයක් පමණ මුඛය සේදීම තුළින් අනවශ්‍ය බැක්ටීරියා විනාශ කල හැකිය. ලුණු ද්‍රාවණයක් නිසා බැක්ටීරියා සඳහා අහිතකර පරිසරයක් ගොඩ නැගෙන අතර විජලනයට ලක්වීමෙන් එම බැක්ටීරියා විනාශ වේ. නමුත් ලුණු ද්‍රාවණය නොගිලිමට වග බලා ගත යුතුය. එසේම මාස හයකට වරක් හෝ දන්ත වෛද්‍යවරයෙකු හමු වී තමාගේ මුඛ සෞඛ්‍ය යහපත් මට්ටමක පවතින බව තහවුරු කර ගැනීම වැදගත් වේ. මීට අමතරව තම පෞද්ගලික පරිහරණය සඳහා දත් බුරුසුවක් තබා ගත යුතු අතර කිසිඳු අවස්ථාවක ඒවා පොදුවේ පරිහරණය නොකල යුතුය. තවද තමාගේ දන්ත සෞඛ්‍යයට, දන්ත සංවේදීතාවයට ගැලපෙන දන්තාලේපයක් භාවිතා කිරීම තුළින්ද මුඛ සෞඛ්‍යය ප්‍රශස්තව පවත්වාගත හැකිය.
ජලයෙහි අධික ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණයක් අඩංගු වන ප්‍රදේශවල (විශේෂයෙන්ම අනුරාධපුරය වැනි ප්‍රදේශ ආශ්‍රිතව) පානීය ජලය හරහා ෆ්ලෝරයිඩ් ඇතුළු වීම දන්ත සෞඛ්‍ය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලැබේ. දත් මුල් දිය වීම, දතෙහි පෘෂ්ඨ මත මැලියම් ඇති වීම, දත් අවපැහැ ගැන්වීම, දත් කුහර ඇතිවෙමින් දත් දිරා යාම මෙහිදි නිරීක්ෂණය කල හැකිය. එවන් අවස්ථාවකදී සුදුසු දන්තාලේපයක් භාවිත කිරීමට හා උණු කර නිවා ගත් පෙරන ලද ජලය පානය කිරීම තුළින් ඇතිවිය හැකි සංකූලතා අවම කර ගත හැකි වේ.
දෑතෙහි සනීපාරක්ෂාව

බොහෝ රෝගවලින් ආරක්ෂා වීමට දෑත් සේදීම මූලිකවම වැදගත් වන අතර විෂබීජනාශක යොදා නිසි පරිදි දෑත් සේදීම තුළින් ආහාර විෂවීම, පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවිය හැකි රෝග ආදී රෝග රැසකින් ආරක්ෂා වීමටත් අන් පුද්ගලයන්ට ව්‍යාප්ත වීම වැලැක්වීමටත් හැකිය. නිසි පරිදි දෑත් සේදීමට නිර්දේශිත මද්‍යසාරය මට්ටමක් පවතින විෂබීජනාශකයක් යොදා අවමය තත්පර විස්සක් පමණ දෑත් සේදීම කල යුතුය. එහිදී අත්ල, පිට අත්ල, ඇඟිලි පුරුක්, මැණික් කටුව දක්වා අතෙහි සෑම පෘෂ්ඨයක්ම සේදීම කල යුතුය.
අපගේ දෑත් නිරන්තරයෙන්ම නොදැනුවත්වම හෝ කිසියම් පෘෂ්ඨයක් ස්පර්ශ කරමින් පවතින නිසා ඉතා පහසුවෙන් ඒවායේ විෂබීජ තැවරී තිබුණහොත් අපගේ දෑත්වල තැවරීමට ඉඩ ඇති අතර නොදැනුවත්වම අප මුහුණ, දෑස්, මුඛය ස්පර්ශ කිරීමේදී හානිදායක බැක්ටීරියා, වෛරස ශරීර ගත වීමට ඉඩ ඇත. එවිට පහසුවෙන්ම ආසාදන, ආහාර විෂවීම, ශ්වසන රෝග ඇති විය හැකි අතර මේවායින් සමහරක් අඩු ප්‍රතිශක්තිකරණයක් පවතින පුද්ගලයන්ට ජීවිත අවදානමක් ඇති කරන්නක් බැවින් දෑත්වල මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
මේවාට අමතරව ආහාර ගැනීමට ප්‍රථම දෑත් සබන් යොදා සේදීම, අවශ්‍යතාවය පරිදි අත්වැසුම් භාවිත කිරීම, පොදු ප්‍රවාහන සේවයක් හෝ පොදු ස්ථානයක් භාවිතා කිරීමෙන් අනතුරුව විෂබීජනාශක දියරයකින් දෑත් පිරිසිදු කිරීම සිදු කළ හැකිය. විශේෂයෙන්ම නිතර මහජනයා ගැවසෙන ස්ථානයක සිටින අයෙකු හෝ සේවය කරන අයෙකුනම් නිරතුරුවම දෑත් පිරිසිදු කිරීම තුළින් ඔබගේ ආරක්ෂාව සේම අන්‍යන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව ද තහවුරු කර ගත හැකි වේ.
මුහුණෙහි සනීපාරක්ෂාව

පුද්ගලයෙකු තවත් අයෙකු හඳුනා ගන්නේ එම පුද්ගලයාගේ මුහුණෙන් බැවින් මුහුණ ප්‍රසන්න පෙනුමකින් පවත්වා ගැනීම අතිශය වැදගත් වේ. තවද, ශරීරයේ වැදගත් අවයව කිහිපයක් මුහණෙහි හා මුහුණ සම්බන්ධව පවතින බැවින් ඒ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. දෑත් මඟින් නිරතුරුවම මුහුණ ස්පර්ශ විය හැකි නිසා දෑත්වල පවතින විෂබීජ මුහුණෙහි තැවරීමට හෝ මුහුණෙහි ඇති විෂබීජ දෑත්වල තැවරී ආහාර ජීර්ණ පද්ධතියට හෝ ශ්වසන පද්ධතියට ඇතුළු වීමට ඉඩකඩ පවතින හෙයින් ශරීරයේ අනෙක් අවයවයන් සේම මුහුණෙහි සෞඛ්‍යාරක්ෂිත බව කෙරෙහි ද අවධානය යොමු කල යුතු වේ.
විශේෂයෙන්ම අප ගන්නා ආහාර තුළින් ඇතිවිය හැකි ආසාත්මිකතා මුහුණෙහි පළු දැමීමක් ලෙස පෙන්විය හැකි බැවින් අප ගන්නා ආහාර පිලිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. තමාට ආසාත්මික ප්‍රතික්‍රියා ඇති විය හැකි ආහාර භාවිතයෙන් වැලකීමත්, එවන් ආහාරයක් ශරීරගත වූ විට සුදුසු පරිදි වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ප්‍රතිකාර ගැනීමත් වැදගත් වේ. එමෙන්ම අධික ලෙස තෙල් සහිත සමක කුරුළෑ ඇති විය හැකි අතර අසීමාන්තික ලෙස කුරුලෑ ඇති වීම අපහසුවක් සේම අප්‍රසන්නබවක්ද ඇති කරයි. ඉහත කී පරිදි මුහුණෙහි සම පුද්ගලයාගෙන් පුද්ගලයාට වියළි, සාමාන්‍ය හෝ තෙල් සහිත සමක් ආදි ලෙස වෙනස් විය හැකි බැවින් මුහුණ සේදීමට භාවිතා කරනු ලබන සේදුම් දියර (face wash) භාවිතා කිරීමේදි තමාට ගැලපෙන වර්ගය තෝරා ගැනීම ඉතා වැදගත් වේ. එසේ නොවුනහොත් ආසාත්මිකතා ඇති වී මුහුණෙහි පිලිස්සුම්, තුවාල, කැළල් ඇති වී ආසාදන ඇති විය හැකිය. විශේෂයෙන්ම රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමේදී තම මුහුණේ සමට ගැලපෙන ද්‍රව්‍ය පමණක් භාවිතා කිරීම හරහා ඇතිවිය හැකි අහිතකර තත්වයන් මගහරවා ගත හැකිවේ. මේ සඳහා ප්‍රවීණ, සුදුසුකම් ලත් අයෙකුගේ උපදෙස් පැතීම වැදගත් වේ. තවද ස්වභාවික සත්කාර සිදු කිරීමේදී වුවද ඒවා තම මුහුණට ගැලපෙන්නේද යන්න සැක හැර දැන ගැනීමෙන් පසු භාවිතා කිරීම සෞඛ්‍යාරක්ෂිත වේ.
හිසකෙස්වල සනීපාරක්ෂාව

හිසකෙස් යනු පුද්ගලයෙකුගේ විශේෂයෙන්ම කාන්තාවකගේ රූ සපුව විදහා දක්වන එක් සාධකයකි. එමෙන්ම හිස්කෙස් කෙනෙකුගේ පිරිසිදුකම, සෞඛ්‍යමත් බව, පෝෂණය ලැබීම විදහා දක්වන සාධකයක් බවටද පත්ව ඇති බැවින් ඒ කෙරෙහි අවධානය යොමු කිරීමද අත්‍යාවශ්‍ය වේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට හිසකෙස්වල ස්වභාවය වෙනස් වන බැවින් ඒ සඳහා සත්කාර කිරීමේදී හා හැඩතල යෙදීමේදි තම හිසකෙස්වල ස්වභාවය සලකා බලා අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වේ.
හිසකෙස් පිරිසිදු කිරීමේදි හැකිනම් දිනක් හැර දිනක්, අවම ලෙස සතියකට දෙවරක් සුදුසු සේදුම්කාරකයක් යොදා හිසකෙස් සෝදා හැරිය යුතුය. එසේ සේදීමේදි හිස්කබල මනා ලෙස සම්බාහනය කොට සේදිය යුතු අතර හිස්කබලෙහි පවතින මැරුණු සෛල, අනවශ්‍ය තෙල්, කුණු, විෂබීජ සේදී යන ආකාරයට සේදීම කල යුතුය. හිසකෙස් සේදීමට පැය 2-3කට පෙර හිසට තෙල් යොදා සම්බාහනය කල හැකි අතර අපිරිසිදු හිසකෙස් මතට තෙල් යෙදීම ඵල රහිත බව පැවසේ. එබැවින් හිස කෙස් පිරිසිදු කිරීමෙන් පසු හිසට සුදුසු තෙල් වර්ගයක් යොදා සම්බාහනය කිරීම තුළින් හිස්කබලෙහි රුධිර සංසරණය ක්‍රමානුකූල කොට හිස් කබල පෝෂණය කිරීමෙ තුළින් නීරෝගි කෙස් කළඹක් ලබා ගත හැකිවේ. නමුත් අනවශ්‍ය ලෙස තෙල් යෙදීම ආසාත්මිකතා හෝ අහිතකර බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ සලස්වන බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වේ.
හිස් කබලෙහි තෙතමනය ඉවත් වී අධික ලෙස වියළුණු පසු සම ගැලවී යාමේ තත්තවය සාමාන්‍ය ව්‍යවහාරයේදී හිස්හොරි ලෙස හඳුන්වනු ලබන අතර මෙය අතිශය දරුණු ලෙස වර්ධනය විය හැකි තත්ත්වයකි. එබැවින් සුදුසු වෛද්‍ය උපදෙස් මත හිස්හොරි විනාශ කරනු ලබන ෂැම්පු වර්ගයක් යොදා හිස්කබල පිරිසිදු කල යුතු අතර හිස් කබලෙහි පෝෂණය හා තෙතමනය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. තවද, උකුණන් වැනි සන්ධිපාදකයින් කෙස්ගස් අතර වර්ධනය විය හැකි අතර බිත්තර හා අතරමැදි අවධි හිස්කෙස්වල පෝෂණය අඩාල කරනු ලබන අතර වැඩිහිටි උකුණන් රුධිරය උරාබීම හේතුවෙන් ශරීර සෞඛ්‍යය කෙරෙහිද බලපෑමක් ඇති කරනු ලැබේ.
ලිංගාශ්‍රිත සනීපාරක්ෂාව
ලිංගාශ්‍රිත සනීපාරක්ෂාව ඉතා වැදගත් අංගයක් වන අතර එය මවගෙන් දරුවාට වැලඳිය හැකි බොහෝ රෝග හා ලිංගික සංසර්ගයකදී අනෙක් පුද්ගලයාට ඇතිවිය හැකි බොහෝ රෝග වැලැක්වීමේ පියවරක්ද වේ. එසේම මුත්‍රා මාර්ග ආසාදන, යෝනි මාර්ග ආසාදන වැනි තත්ත්වයන්ටද ලිංගික සෞඛ්‍යය දැඩි බලපෑමක් ඇති කරනු ලැබේ. කුඩා කල සිට දරුවෙකුට තම ලිංගික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගන්නා අන්දම කියා දිය යුතු අතර එය දෛනික ජීවිතයේ සාමාන්‍ය පුරුද්දක් බවට පත් කර ගත යුතුය. විශේෂයෙන්ම යට ඇඳුම් පොදුවේ පරිහරණය කිරීමෙන් වැලකිය යුතු අතර තමා භාවිතා කරනු ලබන යට ඇඳුම් විෂබීජනාශක යොදා හොඳින් සෝදා හිරු එළියෙන් වියලා ගැනීම සිදු කල යුතුය.
ලිංගික ඇසුරකින් පසු ලිංගික අවයව, ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය හා අත් සබන් යොදා සේදිය යුතුය. එය අහිතකර බැක්ටීරියා ශරීර ගතවීම වැලැක්වීමේ හා ආසාදන අවම කිරීමේ උපක්‍රමයක් වුවද ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග නිවාරණය කිරීමට එය යොදා ගත නොහැකි වේ. ලිංගික අවයව ආශ්‍රිතව පවතින්නේ ඉතා සංවේදී සමක් බැවින් ඇතැම් රසායනික ද්‍රව්‍ය යොදා ලිංගික අවයව පිරිසිදු කිරීම අනුමත කල නොහැකිය. අධික වියළි බවක් හෝ අධික තෙතමනයක් පැවතීම නිසා අහිතකර බැක්ටීරියා වර්ධනය, කැසීම් හා තුවාලවීම ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමද වැදගත් වේ.
මුත්‍රා කිරීමකින් පසු ඒ අවට ප්‍රදේශය පිරිසිදු කල යුතු අතර යට ඇඳුම්වල මුත්‍රා තැවරී ඇත්නම් ඒවා ඉවත් කිරීම සිදුකල යුතුය. මන්ද මුත්‍රා තැවරුණු ඇඳුම් නිරතුරුවම සමෙහි ස්පර්ශ වීම හේතුවෙන් ආසාත්මිකතා හා ආසාදන ඇතිවිය හැකි බැවිනි. එක් වරක් භාවිතා කල යට ඇඳුමක් සේදීමකින් තොරව නැවත නැවතත් භාවිතා කිරීම සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි අනිසි බලපෑම් ඇති කරනු ලබයි. තවද තෙත යට ඇඳුම් ඇඳීමට අහිතකර බැක්ටීරියා වර්ධනය කෙරෙහි ප්‍රශස්ත පරිසරයක් ගොඩ නගනු ලබන බැවින් ඒවා පිරිසිදුව තබා ගැනීම වැදගත් වේ. මුත්‍ර මාර්ගයේ ආසාදන පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන් තුළ ඉහල වන්නේ යෝනි මාර්ගය හා ගුද මාර්ගය ආසන්නව පැවතීම හේතුවෙනි. එබැවින් ලිංගික අවයව සේම මලපහ කිරීමකින් පසුව ගුද විවරය ආශ්‍රිත ප්‍රදේශය ද මනා ලෙස පිරිසිදු කිරීම හරහා ආසාදන වලක්වා ගත හැකි වේ.
කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී යම් යම් අපහසුතා පැවතියද ලිංගික අවයව පිරිසිදු කිරීම ඉතා වැදගත් වේ. කුඩා අවදියේ පටන් එය හරියාකාරව පවත්වා නොගැනීම පසු කාලීනව යෝනි මාර්ග ආසාදන, මද සරු බව හෝ අවසානයේ වඳ බවට ද හේතුවිය හැකි කාරණා වේ. මාසික ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ සුදුසු සෞඛ්‍යාරක්ෂිත සනීපාරක්ෂක තුවා භාවිත කිරීම සේම, අවශ්‍යතාවය පරිදි පැය හයකට වරක් හෝ භාවිත කරන ලද සනීපාරක්ෂක තුවා ඉවත් කොට නව සනීපාරක්ෂක තුවායක් භාවිතයට ගැනීම සිදු කල යුතුය. නමුත් සනීපාරක්ෂක තුවා වෙනුවට අපිරිසිදු රෙදි භාවිතා කිරීම, ඒවා නිතර නිතර සෝදා ඇඳීම සිදු නොකල යුතුය. එසේම පහසු යට ඇඳුම් භාවිතා කල යුතු අතර ඒවායේ රුධිරය තැවරුණු විට ඉතා හොඳින් සේදා වියලා විෂබීජහරණය කර ගත යුතුය. හොඳින් යෝනි විවරය ආශ්‍රිත ප්‍රදේශය සෝදා සෞඛ්‍ය සම්පන්නව කටයුතු කිරීම මෙම කාලයේදී අත්‍යාවශ්‍ය වේ. මෙම කාල සීමාව තුළ ස්නානය කිරීම නොකල යුතුයැයි යම් යම් මත පැවතියද තම පෞද්ගලික සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.
කන්වල සෞඛ්‍ය

සාමාන්‍යයෙන් කන යනු නිරන්තරයෙන් පිරිසිදු කල යුතු අවයවයක් නොවුන ද එහි සෞඛ්‍ය සම්පන්න බව කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. මන්ද යත් කන යනු ශ්‍රව්‍ය අවයවය පමණක්ම නොවන අතර සිරුරෙහි සමබරතාවය පවත්වා ගැනීමෙහිලාද වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබන බැවිනි. කනෙහි ඇති වන කලාඳුරු තත්ත්වය සාමාන්‍ය වන අතර අධික ලෙස කලාඳුරු ශ්‍රාවයවීම වෛද්‍ය උපදෙස් පැතිය යුතු කරුණක් වේ. එහිදී cotton bud ලෙස අප හඳුන්වන පුළුන් භාවිතයෙන් සාදන ලද ද්‍රව්‍ය කණට ඇතුළු කිරීම අහිතකර වේ. මීට අමතරව අධික ශබ්දවලට සවන්දීම, හැට්ට කටු ආදි දෑ මඟින් කණ පවිත්‍ර කිරීම, කණෙහි අධික තෙතමනයක් පවත්වා ගැනීම සිදු නොකල යුතුය.
පොදුවේ සැලකූ කල

තම නිවස තුළ කුඩා දරුවන් සිටීනම් ඔවුන් අපිරිසිදු වීමේ ඉහළ සම්භාවිතාවයක් පවති. තමා අවටම මලපහ හා මුත්‍රා බැහැර කිරීම, ආහාර ද්‍රව්‍ය හලා ගැනීම නිසා ඔවුන්ව නිරතුරුවම පිරිසිදු කිරීමේ වගකීම මව හට පැවරේ. එවන් අවස්ථාවලදී පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ උපදෙස් පැතීම යෝග්‍ය වේ. තවද, නිවසෙහි වැඩිහිටි පුද්ගලයෙකු සිටීනම් මෙයට සමානම තත්තවයන් ඇති විය හැකි අතර මෙම දෙපිරිසම ප්‍රතිශක්තිකරණය අතින් පහළ මට්ටමක පසු වන නිසා පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු වීමේ හැකියාවක් පවතී. එබැවින් තම සෞඛ්‍යය සේම ඔවුන් පිළිබඳව සැලකීම වැදගත් වේ.
තම පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගන්නා අතරතුර සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, මනා මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම, සුදුසු පරිදි ව්‍යායමවල යෙදීම, ලෙඩ රෝග සඳහා සුදුසු වෛද්‍ය උපදෙස් පැතීම, සැහැල්ලුවෙන් දෛනික කටයුතු සිදු කිරීම ආදී කරුණු මඟින් මනා සනීපාරක්ෂාවක් පවත්වා ගැනීමෙන් අප සැම බලාපොරොත්තු වන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලඟා කර ගැනීමේ හැකියාව පවතී.