පොල්, කිතුල් වැනි ශාක මෙන්ම ප්‍රසිද්ධියක් උසුලන ශාකයක් ලෙස තල් ශාකය හැදින්විය හැකිය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයෙහි තල් උයන් බොහෝමයක් කරවූ බවට ඉතිහාසයට අනුව විශ්වාස කෙරේ. තල් ශාකයෙන් නිපදවූ හකුරු, කොට්ට කිලංගු වැනි ආහාර ඔබ රස බලා ඇති බවට විශ්වාසයි. නමුත් මෙම ශාකයෙන් මිනිසාට ලැබෙන අපරිමිත වාසි සහ ගුණයන් පිලිබදව ඔබ තවමත් හරි හැටි විස්තර නොදන්නවා විය හැකිය. එසේම තල් හා ඒ ආශ්රිත බොහෝ නිෂ්පාදන මේ වන විට ලෝකය පුරා ඉහල ප්‍රසිද්ධියක් උසුලන අතර ඒ පිලිබදව දැනුම රැස් කරගැනීම වැදගත් වනු ඇත.
තල් යනු Arecaceae කුලයට අයත් Borassus Flabellifer යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකයකි. Ice Palm, Palmyrah ලෙස ඉංග්‍රීසි භාෂාවෙනුත්, “පනායි” යනුවෙන් දෙමළ භාෂාවෙනුත් “තල්” හදුන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බොහෝ ප්‍රදේශයන් වල මෙම ශාකය බහුලව දක්නට හැකිය. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ ආදී පළාත්වල එය පහසුවෙන් වැවේ. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවල කල්ප වෘක්ෂය වශයෙන් තල් ගස හැදින්වීම විශේෂත්වයකි.
වියළි දේශගුණයක හොඳින් වැඩෙන තල් නියං සමයකදී වුව ද මැනවින් වැඩේ. පසේ ජල සංරක්ෂණයට මෙන් ම නිසරු පස සරු කර ගැනීමටත් මෙය වැදගත් වේ. එපමණක් නොව මෙහි පලිබෝධ හානිය අල්පය. මෙය වසර සියයක පමණ ආයු කාලයකට හිමිකම් කියයි. මෙහි වර්ධනය සෙමෙන් සිදුවන අතර සාමාන්‍යයෙන් පැළයක කඳ, පොළොවෙන් ඉහළට මතුවීමට වසර තුන හතරක් පමණ ගතවේ.
සෘජු කඳකින් යුත් “තල්” පරිණත ගසක් බවට පත්වූ පසු මීටර් 8-14 ක් පමණ උසට වැඩේ. මෙහි පත්‍රවල නටුව සාමාන්‍ය ව්‍යවහාරයේ “තල් පිත්ත” ලෙස හැඳින්වෙන අතර ඉතා දිගු වේ. මෙම තල් පිත්ත, අඩි 4-5 ක් පමණ දිගට ගමන් කර මුල ප්‍රදේශයේදී පැතලි අඩි 2- 3 ක් පමණ වූ කොටස් දෙකකට බෙදේ. තල් පිත්ත දෙපැත්තෙහි සීරෙන හා කැපෙන සුළු දාර දෙකක් තිබේ. තල් ගසෙහි පත්‍රිකා අවානක් ලෙස පිහිටමින් තල් පත්‍රය සාදයි. පිරිමි හා ගැහැණු තල් ගස් වෙන වෙනම පිහිටා ඇති හෙයින් එය ද්වීගෘහ ශාකයක් ලෙස හදුන්වනු ලැබේ.
තල් ගෙඩි

දිගු නටුවක් සහිත තල් ගෙඩි පොකුරු ලෙස ඇති වේ. මෙම ගෙඩිවලට පැහැදිලි නටුවක් නොමැති අතර සෘජුවම ගෙඩි පොකුරට සම්බන්ධ වී තිබෙනු දක්නට ලැබෙයි. තල් ගෙඩියක් 10-15 cm ක් පමණ දිගින් හා 10 -15 cm ක් පමණ පළලකින් යුක්ත වන අතර පොකුරක ගෙඩි 8-20 ක් පමණ හටගනියි. තල් ප්‍රභේදය අනුව ගෙඩියේ ප්‍රමාණය වෙනස් වේ. කුරුම්බා ප්‍රමාණයට මේරු තල් ගෙඩියේ ඇට කුරුම්බා ලොඳ ලබා ගැනීමට යොදා ගනී. මෙම ලොඳ හා එහි අඩංගු වතුර පැණි රසින් යුත් රසවත් ආහාරයකි. මේවා සාමාන්‍යයෙන් පොල් කුරුම්බා වලටත් වඩා රසවත් වන බව බොහෝ දෙනාගේ මතයයි. තල් කුරුම්බා කලාතුරකින් විකිණීමට තිබෙනු තවමත් දැකිය හැකිය. තල් ගෙඩි හොඳින් ඉදුණු පසු පොත්ත ඉවත් කර එහි ලාටු ආහාරයට ගත හැකිය. මෙම ඉදුණු තල් ගෙඩිවල මිහිරි සුවඳක් අන්තර්ගත අතර බොහෝ විට යොදා ගනුයේ තල් බීම සෑදීම සඳහාය. තල් ලාටු පැදුරක තට්ටු පරිදි අලවා, අව්වේ වියලා තල් පිනාටු සාදා ගනී. තල් ලාටු, හාල් පිටි හා සීනි සමග මිශ්‍ර කර තල් කැවුම් හා වන්ඩු සාදාගැනීමට උතුරු හ නැගෙනහිර ප්‍රදේශ ආශ්රිත ජනයා පුරුදුව සිටිති.
ජලය, ප්‍රෝටීන, මේදය, කාබෝහයිඩ්රේට, තන්තු, කැල්සියම්, පොස්පරස්, යකඩ, තයමින්, රයිබොෆ්ලේවින්, විටෛන් සී, නියැසින් සහ තවත් පෝෂණ කොටස් බොහෝමයක් තල් ගෙඩිවල අඩංගු වන අතර සමේ නිරෝගි පැවැත්මට ඒවා බෙහෙවින් උපකාරී වේ. එසේම අමාශගත රෝග රැසකට ද මෙම පලතුර ආහාරයට ගැනීම ඉවහල් වේ.
තල් ගසෙන් ප්‍රයෝජන රැසක්

පිරිමි තල් මල් මගින් තෙලිජ්ජ ලබාගන්නා අතර එමගින් තල් පැණි හා තල් සුකිරි සෑදීම සිදු කරයි. තල් පැණි පිටි සමග උණු කර තල් හකුරු සාදා තල් කොළවලින්ම වියන ලද ගොට්ට තුලට පුරවා වෙළෙඳපොලට නිකුත් කරනු ලබයි. ව්‍යංජන සකසාගැනීමට තල් ගෙඩි යොදාගන්නා අතර ළපටි තල් පත්‍ර, කොළ කැඳ සෑදීම සඳහාත් යොදා ගත හැකිය. කොට්ට කිලංගු වලින් ලබාගන්නා තල් පිටි ද ප්‍රසිද්ධ ආහාරයකි.
තල් ගසෙහි පත්‍ර කොටස වහල සෙවිලි කිරීමටද, තල් පිති ගෙවල් ඇහිරීමටද උතුරු ප්‍රදේශවල තවමත් භාවිත කරයි. නිවෙල් ආශ්රිත වැට ඇහිරිමටත් තල් අතු යොදා ගනී. තල් ගසෙහි නොමේරු පත්‍ර වියළා වට්ටි-පෙට්ටි, ගමන් මලු ආදිය විවීම සිදු කරයි. තල් ලී යනු පොල් ලී වලට වඩා ශක්තිමත් ලී වර්ගයක් වන අතර පරාල සඳහා යොදා ගත හැකි ලී වර්ගයක් වේ. එපමණක් නොව, තල් කඳ දෘඩ ගතියෙන් හා කල් පැවැත්මෙන් යුක්ත නිසා අතීතයේදී පාලම් සෑදීමට ද ඒවා යොදා ගෙන ඇත. අතීතයේ පටන් ගැහැණු තල් ගස් අවසරයකින් තොරව කපා දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස මෙරට සලකයි.
තල් ආශ්රිත නිෂ්පාදන
තල් ශාකය ආශ්‍රිතව සිදු කරන නිෂ්පාදන රාශියක් තිබෙන අතර තල් සීනි, තල් හකුරු, තල් පැණි, කොට්ට කිලන්ගු, සහ තල් ශාකයේ මුලෙන් ලබාගන්නා තල් පිටි ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනියි. ඊට අමතරව තල් ශාකයට අගය එකතු කළ නිෂ්පාදන ද වෙළෙඳ පොළේ මිලදී ගැනීමට ඇත. ඒ තල් පෝෂ, තල් බිස්කට්, තල් ජෑම්, තල්යෝගට්, තල් පැණි, තල් පලතුරු බීම, ක්ෂණික තල් පාන ආදියයි. මෙම ආහාර, පාන වලට අමතරව එදිනෙදා ජීවිතය සඳහා අවශ්‍ය නිෂ්පාදනයන් ද තල් ශාකය අශ්‍රිතව සිදු කෙරේ. මුළුතැන්ගෙයි ඇසුරුම් පෙට්ටි, කිරිගොටු, මලු, වටාපත්, පැදුරු, තොප්පි, හැඹිලි, අත්බෑග්, ආභරණ පෙට්ටි ආදිය තල් පත්‍ර ඇසුරෙන් නිපදවන භාණ්ඩ අතර ප්රධානවේ.
තල් සීනි
තල් ශාකයේ සාරයෙන් සාදාගන්නා සීනි භාවිතය තුළින් නිරෝගි දිවියක් හිමි කරගැනීමට හැකි බව සැබෑය. කැස්ස, අධි රුධිර පීඩනය, කොලෙස්ටෙරෝල් වැනි රෝග තත්වයන් සඳහා ස්වාභාවික ප්‍රතිකාරයක් ලෙස තල් සීනි හැදින්වේ. මෙම සීනි පරිභෝජනය තුළින් දියවැඩියාව වැනි තත්වයන් ද ඇති නොවේ. මෙනිසා තල් ශාකයෙන් නිඅපදවන ලද සීනි, එදිනෙදා දිවියට එකතු කරගැනීම ද ඉතා යෝග්‍ය වේ. මෙම සීනි වර්ගය මේ වන විටත් වෙළදපොලේ මිලදී ගැනීමට තිබෙන අතර ලෝකය පුරා එය ප්‍රසිද්ධියක් උසුලයි.
යකඩ, සින්ක්, විටමින් වර්ග, පොටෑසියම්, මැංගනීස්, කොපර්, ඇන්තොසයනීන්, ෆ්ලේවනොයිඩ සහ ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් මෙම සීනි තුළ අඩංගු වේ. මිනිස් ශරීරයේ සෛල වර්ධනයට අවශ්‍ය කරන ප්‍රෝටීන් නිපදවීමට උපකාරී වන ඇමයිනෝ අම්ල බොහෝ ප්‍රමාණයක් මෙම තල් සීනි තුළ අඩංගු වේ. තල් සීනි වල ග්ල්යිසිමික් අගය 35ක් වැනි අඩු අගයක් ගන්නා නිසා දියවැඩියාව වැනි තත්වයන් ඇති නොකරයි. එහි ඇති තන්තුමය ඉනියුලින් නිසා අධි රුධිර පීඩනය ද අවම වේ.
තල් පැණි
තල් මලෙන් වෑහෙන තෙලිදිය එකතුවන්නට උස තල් ගස් මුදුන්වල මුට්ටි එල්ලා තිබේ. බීමට ගන්නා තෙලිදිය පැණි රසය. මේ තෙලි දිය උකු පැණියක් බවට පත්වනතුරු උණු කිරීම සිදුවේ. පදමට උණුවූ තල් පැණි බෝතලයක් අවුරුද්දක කාලයක් තබාගත හැකිවන අතර පැණි ලෙස අලෙවි කිරීමටද තල් රා අවාරයේ හකුරු නිපදවීමටද භාවිතා කළ හැකි වේ. නොපැසුණු රා හෙවත් තෙලිදිය බෝතල් අටක් උණුකිරීමෙන් එක් පැණි බෝතලයක් ලබාගත හැකිය. විවිධ ආහාර වර්ග, කැවිලි ආදිය අකස් කරගැනීමට උතුරු පළාත්වල ජනතාව මෙන්ම මෙරට අනෙකුත් ප්‍රදේශ වල ජනයා ද කැමැත්තක් දක්වයි.
ශරීරය තුළ ඇති විවිධ රෝග ගණනාවක් නිවාරණය කරගැනීමට මෙම පැණි ඉවහල් වේ. අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් මෙන්ම තවත් නිධන් ගත රෝග රාශියක් සුව කරගැනීමට මෙම පැණි පරිභෝජනය ඉවහල් වේ. වෙළදපොලෙ තුල පහසුවෙන් තල් පැණි මිලදී ගැනීමට හැකියාව මේ වන විට දේශීය නිෂ්පාදනකරුවන් විසින් සලසා ඇත.
තල් හකුරු
කිතුල් හකුරු වලට පමණක් දෙවෙනි තල් හකුරු වලට ලංකාවේ මෙන්ම ලෝකය පුරා ඉහල ඉල්ලුමක් පවතියි. යාපනය වැනි ප්‍රදේශ තල් හකුරු නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලයි. තල් තෙලිජ්ජ වලින් ලැබෙන පැණි උණුකොට තල් හකුරු සාදාගැනීම සිදු කරයි. පැණි බෝතල් එක හමාරකින් පිරිසිදු හකුරු කිලෝවක් නිපදවීමට හැකියාව තිබේ. මෙම තල් හකුරු මගින් විවිධ රසකැවිලි සහ කෑම වර්ග නිෂ්පාදනය කිරීම සිදු කරයි.
තල්හකුරු ආහාරයට ගැනීම මගින් සෞඛ්‍යමය වාසි රැසක් අත් කරගත හැකිය. ශරීරයට ශක්තිය ලබාගත හැකි ස්වාභාවික ආහාරයක් ලෙස මෙය හැදින්විය හැකි අතර ආහාර ජීරනය ද පහසු කරයි. සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්වයන් සමනය කිරීමට ද තල් හකුරු බෙහෙවින් උපකාරී වේ. ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කොට ආකර්ශනීය පෙනුමක් ලබාගැනීමට කිතු හකුරු ආහාරයට ගැනීමෙන් හැකිවේ.
කොට්ට කිලංගු
තල් බීජ පැළ වීම වැලි තවාන් වල සිදු කරයි. වැලි තවාන් මත තල් බීජ අතුරා පැල වෙන්නට ඉඩ හරිනු ලබයි. පළමුව බීජයෙන් හටගන්නා මුල වැනි ව්‍යූහය පොලොව තුලට ගමන් කර එහි කෙලවර පැළය ඇති වීම සිදු වේ. මෙලෙස ඇති වන බීජ පත්‍රවල පිටි තැන්පත් වන අතර එය තල් අලයක් මෙන් දිස් වෙයි. ඉන්පසු මේවා ගලවා පිට පොත්ත සුද්ද කර තම්බා ආහාරයට ගනී. ඒවා වියලා කල් තබා ගෙන ද ආහාරයට ගත හැකි අතර උතුරු ප්‍රදේශ වල විවිධ කෑම වර්ග සෑදීමට එය යොදා ගනී. මෙසේ තල් බීජය පැළවී පස යටට ගොස් වැඩෙන අලය වැනි කොටස කොට්ට කිලංගු ලෙස හැදින්වේ. මෙය යාපනය වැනි ප්රදේශයින්හි සුප්‍රසිද්ධ ආහාරයකි. කාලයකට පමණක් දැකිය හැකි මෙම අලය තම්බා ආහාරයට ගත හැකිය. මෙහි සෞඛ්‍යමය වාසීන් රැසක් අන්තර්ගත වේ. මිනිස් ශරීරය සිසිල් කොට ඌෂ්ණ රෝග ආදියෙන් ඔබව වැළැක්වීමට කොට්ට කිලංගු ආහාරයට ගැනීම උපකාරී වේ. මේවායේ ඇති තන්තු ප්‍රමාණය ඉහළ හෙයින් ආහාර ජීර්ණය පහසු කොට මළ බද්ධය වැනි තත්වයන් ඇතිවීම වළක්වයි. ගර්භාශයේ නිරෝගි බව පවත්වා ගැනීමටත්, ආමාෂගත රෝග වැළැක්වීමටත් කොට්ට කිලංගු උපකාරී වේ. ඉතා කෘෂ ශරීරයක් හිමි පුද්ගලයන් මේවා ආහාරයට ගැනීම තුලින් ශරීර ස්කන්ධය වැඩි කරගත හැකි බව ඇතැම් අයගේ මතයයි. එපමණක් නොව, ශරීරයේ ප්‍රතිශක්තිකරණය වඩවාගැනීමටත්, ශරීරය තුළ ඉන්සියුලින් නිපදවීම වැඩි කිරීමටත් කොට්ට කිලංගු වල වටිනා ඖෂධීය ගුණයන් පවතියි. මෙනිසා දියවැඩියා රෝගින් හට ස්වාභාවික ප්‍රතිකාරයක් වශයෙන් මෙම ආහාරය දැක්විය හැකිය. මීට අමතරව අස්ථි ශක්තිමත් කිරීමටත් මෙය ඉවහල් වේ.

තල් පිටි
කාබෝහයිඩ්රේට සපිරි ඉතා හොද ශක්තිජනක ආහාරයක් ලෙස තල් ශාකයේ මුලෙන් ලබාගන්නා පිටි දැක්විය හැකිය. මෙහි විටමින් වර්ග රාශියක් ද අඩංගු වේ. මේ නිසා විවිධ ලෙඩ රෝග වලින් ඔබේ ශරීරය ආරක්ෂා කිරීමට තල් පිටි ආහාරයට ගැනීම උපකාරී වේ. තල් පිටි වලින් විවිධ ආහාර වර්ග සකසාගත හැකිය. කෘතිම ආහාර භාවිතය නිසා හටගන්නා අම්ල පිත්ත ප්‍රදාහය හෙවත් ගැස්ට්‍රයිටිස් වැනි රෝග වළක්වාගැනීමට මෙම පිටි වර්ගය භාවිතය තුළින් හැකියාව ලැබේ.
වෙලදපොලෙන් පහසු මිලට මෙම නිෂ්පාදන ලබාගැනීමට හැකියාව පවතින අතර දේශිය ආර්ථිකය ඔප් නැංවීමට මෙවැනි දේශීය නිෂ්පාදන භාවිතය තුළින් හැකියාව ලැබේ.
තල් පෝෂ
කාර්යබහුල ජීවන රටාවකට පුරුදු වූ මිනිසුන් වෙසෙන සමාජයකට, ශාක බොහොමයක වටිනා ගුණයන් ලබාගැනීමට අවකාශ නොලැබී යා හැකිය. ඒ හේතුවෙන් තල් පිටි වලින් නිපදවන ලද “තල් පෝෂ” මිලදී ගැනීමට හැකියාව ඔබට පවතියි. කෙටි වේලාවකින් සකසාගත හැකි “තල් පෝෂ”, වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන් හට ද ඉතා ගුණවත් ආහාරයක් වන බව නිසැකය. හුදෙක් තල් පිටි විකිණීමට වඩා එයට අගයක් එකතු කොට මෙවැනි ආකාරයන් අලෙවි කිරීම ඉතා සාර්ථක ක්රමයකි. පෝෂණ ගුණයෙන් සහ කල්තබාගත හැකි කාලයෙන් ඉහල මෙවැනි නිෂ්පාදන වලට මෙරට මෙන්ම ලෝකයේ ද ඉහළ ඉල්ලුමක් පවතියි.
තල් ආශ්රිත වෙළෙඳපොළ
ඉහත සඳහන් කළ තල් ආශ්රිත නිෂ්පාදනයන්ට ඇත්තේ ඉතා හොඳ වෙළෙඳපොළ වටිනාකමකි. උතුරේ සංචාරය කරන දේශීය මෙන් ම විදේශීය සංචාරකයන්ගෙන් මෙම නිෂ්පාදනයන් කෙරෙහි ඉහළ ඉල්ලුමක් පවතී. පොලිතින් හා ප්ලාස්ටික් මඟින් ඇති කරන පාරිසරික ගැටලු මඟ හරවා ගැනීමට තල් පත්‍ර යොදා නිපදවන ඇසුරුම් මලු, වට්ටි පෙට්ටි, අත්බෑග් ආදිය පරිසර හිතකර ආදේශකයන් ය. ශරීරයට අහිතකර කෘත්‍රිම බීම වර්ග වෙනුවට තල් බීම අඩු පිරිවැයකින් නිපදවා පාරිභෝගිකයාට සහනදායි මිලකට ලබාදිය හැකි කදිම ආදේශයකි.
තවද, දේශීය සීනි පරිභෝජනයෙන් සියයට අනූ දෙකක් ම විදේශයෙන් ආනයනය කරන අතර සමස්ත සීනි පරිභෝජනයෙන් දේශීයව නිපදවන්නේ සියයට අටක් පමණ සුළු ප්රමාණයකි. උක් සීනි සඳහා වැය වන විදේශීය විනිමය තල් හකුරු ප්‍රචලිත කිරීම මඟින් ඉතිරි කරගත හැකි ය. එපමණක් නොව කැනඩාව, අමෙරිකාව, ජර්මනිය වැනි රටවලට ද තල් නිෂ්පාදන අපනයනය කිරීමේ විභවයක් පවතී. වෙනත් කෘෂි බෝග වගාවන් සඳහා මෙන් පොහොර, පළිබෝධනාශක වැනි යෙදවුම් මෙයට අවශ්‍ය නොවන අතර විශේෂ නඩත්තුවක් ද අවශ්‍ය නොවේ. තල් ආශ්රිත නිපදවන ආහාර වස විසෙන් තොර කාබනික නිෂ්පාදකයන් ය. මෙවන් කාබනික නිෂ්පාදනවලට වෙළෙඳපොළේ ඇත්තේ හොඳ ඉල්ලුමකි.

තල් ආශ්රිත වෙළෙඳපොළ පුළුල් කිරීම
තල් ආශ්රිත නිෂ්පාදනයන් උතුරු ප්‍රදේශයේ මෙන්ම ලංකාවේ වෙනත් ප්‍රදේශ වලට ද, ලෝකයේ අනෙකුත් රටවල් වලට ද අලෙවි කිරීමට අවශ්‍ය මග සැකසීම සිදු කළ යුතුවේ. තල් සංවර්ධන මණ්ඩලය මඟින් මේ වනවිටත් තල් ආදර්ශ අලෙවි සල් විවෘත කර තිබීම සතුටට කරුණකි. විශේෂයෙන්ම උතුරේ කාන්තාවන් හට මෙන් ම රැකියා විරහිත තරුණ පරපුරට ස්වයං රැකියාවක් ලෙස තල් ආශ්රිත නිෂ්පාදන සිදුකිරීමට යොමු කිරීම රැකියා හිග බවට හොඳ පිළියමක් මෙන්ම ඔවුනට හොඳ ආදායම් මාර්ගයක දොරටු විවර වීමකි. මේ සඳහා පුහුණු වැඩමුලු, උපදේශන සේවා ආදිය කදිම අත්වැලක් සපයනු ඇත. එමෙන් ම තල් නිෂ්පාදන පාරිභෝගිකයා තුළ ප්‍රචලිත කරලීමට වැඩසටහන් දියත් කිරීම මඟින් එහි ඉල්ලුම ද වැඩිවේ. තවද තල් ආශ්රිත ප්‍රදර්ශන පැවැත්වීම ප්‍රශංසනීය වේ. එපමණක් නොව අඩු කාලයකින් පීදෙන, අඩු උස, වැඩි අස්වනු ලබාදෙන ප්‍රභේද බිහිකිරීම සඳහා පර්යේෂණ දියත් කළ යුතු ය. තල් ආශ්රිත නිෂ්පාදනයන් තවදුරටත් විවිධාංගීකරණය මඟින් නව වෙළෙඳපොළ අවස්ථා ඇති කරගත හැකි ය.