දේශිය කුලුබඩු පිලිබදව සිහි ගන්වන විට ඉතා වැදගත් ස්ථානයක් හිමි වන ශාකයක් ලෙස ඉගුරු හැදින්විය හැකිය. වර්තමානය වන විට ශරීරයේ ප්රතිශක්තීකරණය ඉහල නැංවිය හැකි මහගු ඖෂධයක් ලෙස ඉගුරු ප්රමුඛස්ථානයක් උසුලන අතර කොවිඩ්-19 වැනි වසංගත රෝග වලින් පවා ආරක්ෂා වීමට ඉගුරු පානය යොදාගත හැකි බව ආයුර්වේද වෛද්‍යවරුන් පවසයි. ආහාර රස ගන්වන ස්වාභාවික කුලුබඩුවක් ලෙසත්, විවිධ බෙහෙත් වර්ග සෑදිම සඳහා අවශ්‍ය ස්වාභාවික ශාක සාරයක් ලෙසත් ඉගුරු හැදින්විය හැකිය. මේ වන විටත් ලෝකය පුරා ප්‍රසිද්ධියක් උසුලන ඉගුරු තේ භාවිතයට බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ වෙනත් කෘතිම පානයන් තුළින් අයත් කරගත නොහැකි නීරෝගි බවක් ඉගුරු තුළින් ලබාගත හැකි නිසාවෙනි. ශ්‍රී ලංකාවේ පහසුවෙන් බහුලව වගා කළ හැකි ඉගුරු තුලින් අත් කරගත හැකි වාසීන් බොහෝමයි. ආර්ථිකමය වශයෙන් මෙන්ම සෞඛ්‍යමය වශයෙන් ද වාසීන් රැසක් මෙමගින් ලබාගත හැකිය.
රයිසෝමයක් සහිත ඉගුරු
Zingiberaceae කුලයට අයත් ඉගුරු වල විද්‍යාත්මක නාමය වන්නේ, Zingiber officinale යන්නයි. නැගෙනහිර ආසියාවේ මීට අවුරුදු 3000කට පමණ පෙර ඇතිවූ ඉගුරු ශාකයේ මුල හෙවත් රයිසෝම කොටස ප්‍රයෝජනය සඳහා බහුලව යොදාගැනේ. රෝමන් යුධ හමුදාවන් විසින් ක්‍රි.ව 1547 දි පමණ ඉගුරු ඖෂධයක් ලෙස භාවිත කර ඇති බවට සාක්ෂි ඉතිහාසයේ ඇත. ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව, ජපානය, නයිජීරියාව, බටහිර අප්‍රිකාව, පකිස්ථානය සහ තායිවානය වැනි රටවල් ඉගුරු බහුලව වගා කරන රටවල් වේ. අමු ඉගුරු, වියලන ලද ඉගුරු, කුඩු කරන ලද ඉගුරු මෙන්ම වෙනත් ආකාරයෙන් සැකසූ ඉගුරු නිෂ්පාදන මේ වන විට වෙළදපොලේ දක්නට ලැබේ.
ඉගුරු වර්ග කිහිපයක් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ ද හමුවේ. දේශීය ඉගුරු, චීන ඉගුරු සහ රැංගූන් ඉගුරු මේ අතරින් ප්‍රධාන වේ. දේශීය ඉගුරු වල ප්‍රයෝජනයට ගන්නා රයිසෝම කොටස කුඩා වන අතර වැඩි රසායනික සුවදකින් සහ රසයකින් යුක්ත වේ. විශාල මාංශල බවකින් යුත් කහ පැහැති ඉගුරු, චීන ඉගුරු ලෙස හැදින්වෙන අතර ඒවා රසයෙන් සහ සුවදෙන් අවම වේ. ඇගිලි වැනි පැතිරුණු රයිසෝම සහිත ඉගුරු රැංගූන් ඉගුරු නමින් හැදින්වේ. මෙම ඉගුරු වර්ග තුනෙන්ම වඩා ඉහල ඉල්ලුමක් තිබෙනුයේ දේශීය ඉගුරු සඳහා වීම විශේෂත්වයකි.
ඉගුරු වගාව
බොහෝ විට මෙරට ඕනෑම ප්‍රදේශයක් ආශ්‍රිතව ඉගුරු වගා කළ හැකි නමුත් ඒවා බහුලවම වගා කරන පෙදෙස් වශයෙන් තෙත් හා අතරමැදි කලාපයන් දැක්විය හැකිය. පොල් වගාවන් ආශ්රිත අතුරු වගාවක් ලෙසද ඉගුරු වගා කිරීමට බස්නාහිර සහ කුරුණෑගල ප්‍රදේශයන්හි පිරිස් පුරුදුව සිටිති. හොදින් ජලය බැස යන ලොම් පසක් ඉගුරු වගාව සඳහා යෝග්‍ය වේ. ඉහළ වර්ෂාපතන තත්ව යටතේ හෝ ජල සම්පාදනය යටතේ ඉගුරු වගා කළ හැකිය. සාමන්‍යයෙන් සෙවන සහිත ස්ථාන වල හොදින් වැඩේ. වගා කිරීමෙන් මාස 8කට පමණ පසු ඉහල අස්වැන්නක් ලබාගත හැකිය.
හොදින් මේරු, පාර්ෂ්වික රයිසෝම කොටස් රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගැනේ. සාමන්‍යයෙන් මාර්තු හෝ අප්‍රේල් කාල වලදී සිටුවන ඉගුරු අස්වැන්න මාස 8 කින් පමණ ලබාගත හැකි අතර අල මෝරා ඇති බව දැනගත හැකි ලක්ෂණයක් ලෙස එහී පත්‍ර කහ පැහැ වී වියළී යාම දැක්විය හැකිය. ඉගුරු අල ගැලවීම සඳහා ලෝහ පිහි හෝ පතුරු වැනි දේ යොදා නොගත යුතු අතර ඒ සදහා ලී පතුරු වැනි යමක් අනිවාර්යයෙන්ම යොදාගත යුතුය.
රසයට වඩා වැඩි යමක් ලබා දෙන ඉගුරු තේ
රසයෙන් ඉහළ උණු ඉඟුරු තේ කෝප්පයක රස බැලීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරති. සාමාන්‍යයෙන් ඉඟුරු තේ කෝප්පයකින් අමුතු ප්‍රාණවත් බවක් ශරීරයට ලබාගත හැකි අතර ඉඟුරු තේ පානයෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ද දිරිමත් කෙරේ. මින් ඔබ්බට ගිය බොහෝ වාසි රැසක් ඉගුරු තේ මගින් ලබාගත හැකිය.
මීට වසර දහස් ගණනක සිට අතීතයේ සිට පැවත එන ඉඟුරු තේ වල වටිනාකම, ගුණ සහ ලක්ෂණ ගැන කියැවෙන ලිපි බොහොමයක් අතීත ග්‍රීක, රෝමානු, චීන, සංස්කෘතික සහ අරාබි පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් සොයාගෙන තිබේ. බොහෝ පරීක්ෂණ වලින් පෙන්නුම් කරන ආකාරයට ඉඟුරු තේ වල බොහෝමයක් වටිනා සංඝටක අන්තර්ගත වී ඇත. ඒ අතරින් ජින්ජරෝල්, ශොගෝල්, පැරඩෝල් සහ සින්ගරෝන් යන සංඝටක ප්‍රධාන වේ. දිනකට ඉඟුරු තේ කෝප්ප එකක් හෝ දෙකක් පානය කිරීම මගින් ශරීරයට යහපත් සෞඛ්‍යය තත්වයක් උරුම කරගැනීමට හැකියාව ලැබේ. මෙලෙසින් පානය කළ හැකි ඉගුරු තේ, මේ වන විටත් වෙළදපොලෙන් පහසු මිලට ලබාගැනීමට ඔබට හැකියාව පවතියි. එසේත් නැතිනම් නිවසේදීම ඉගුරු කැබැල්ලක් තලා, තේ සමග පානය කිරීම ද සිදු කළ හැකිය.
ඉගුරු තේ පානයෙන් ඔබට ලැබෙන වාසි බොහෝමයි
ඉගුරු තේ පානයෙන් ඔබට වාසි රැසක් අත්කරගත හැකිය. උදරයට සැහැල්ලු බවක් ලැබීම, ශරීරයට ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබීම, මොළයේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වීම, හන්දිපත් ආදී වේදනාව අඩු වීම, ශරීරයේ බර අඩු වීම, ආහාර ජීර්ණය සඳහා දායක වීම, රුධිර සීනි මට්ටම පාලනය, කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීම සහ වසංගත රෝග වලට ගොදුරු වීමෙන් ඔබේ ශරීරය රැක ගැනීම ආදිය එවැනි වාසි වලින් කිහිපයකි.
උදරයට සැහැල්ලු බවක් ලබාදීම
දශක ගණනාවක සිට ඉගුරු බොහෝ රෝග තත්වයන් වලට බෙහෙතක් වශයෙන් ලබාගැනීම සිදු කරයි. ඔක්කාරය, ගමන් බිමන් යාමේදී ඇතිවන අසනීප ස්වභාවය, ඇතැම් අයට උදෑසන ඇතිවන අසනීප ස්වභාවය වැනි අවස්ථාවලදී ස්වාභාවික ඖෂධයක් ලෙස ඉගුරු භාවිත කෙරේ. ඇතැම් අවස්ථාවල හදිසියේ ඇතිවන අසනීප ස්වභාවයකදී, රසවත්, උණු ඉඟුරු තේ කෝප්පයක් මගින් ඔබට විශාල සහනයක් ලබාගත හැකිය.
තායිලන්තයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් සිදු කොට තිබෙන අධ්‍යනයකින් තහවුරු කර තිබෙන කාරණයක් වන්නේ, ගර්භනී කාන්තාවන්ට ඇතිවන ඔක්කාරය සහ වමනය ගතිය අවම කිරීමට මේ ඉඟුරු තේ වලට හැකි බවයි. එසේම, 2012 රොචෙස්ටර් සරසවියේ විද්‍යා මධ්‍යස්ථානය මගින් සිදු කරන ලද අධ්‍යයනකින් සනාථ කරන ලද කාරණාවක් වන්නේ; රසායනික චිකිත්සාව සිදු කරනු ලැබූ පිළිකා රෝගීන්ට ඇතිවන ඔක්කාරය වැනි තත්ත්ව සුවපත් කිරීමට ඉගුරු ඉවහල් වන බවයි.
ශරීරයට ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලබාදීම
වර්තමානය වන විට කොවිඩ්-19 වැනි වසංගත රෝග වැළදීමට ප්‍රධාන හේතුවක් ලෙස ශරීරයේ ප්‍රතිශක්තිකරණය අවම වීම දැක්විය හැකිය. මෙවැනි තත්ව වළක්වා ගැනීමට හැකි ස්වාභාවික පානයක් ලෙස ඉගුරු හැදින්විය හැකිය. දේශගුණික තත්ත්වයක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඇතිවන කිවිසුම් යෑම පාලනය සඳහා ඉඟුරු තේ යොදාගත හැකිය. ඉඟුරු තේ වලින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කරන අතර බොහෝමයක් දෙනා සෙම්ප්රතිෂ්යාව, ආසාත්මිකතා සහ ආසාදන අවස්ථාවලදී ඉගුරු තේ ස්වාභාවික ඖෂධයක් ලෙස භාවිත කරයි.
ඉඟුරු වල අඩංගු ජින්ජරෝල්, ශොගෝල් සහ පැරඩෝල් යන සංඝටක ශරීරයේ තිබෙන මුක්ත ඛණ්ඩ වලට එරෙහිව සටන් කරයි. එමගින් ආසාත්මිකතා අඩු කිරීම මෙන්ම නිදන්ගත රෝගී තත්ත්ව වල අවදානම ද අඩු කෙරෙන බව දැනට සිදුකර ඇති අධ්‍යයන වලින් සනාථ වී තිබේ. එසේම ඉඟුරු වල ප්‍රබල බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් නාශක ගුණ අන්තර්ගත වේ. විවිධ අධ්‍යයන වලින් මේ බව සනාථ කොට ඇති අතර මිනිස් ශ්වසන පද්ධතියේ ඇතිවන ආසාදන සහ දත්වල ඇතිවන මැලියම් රෝග තත්ත්ව වලදී ඒවාට එරෙහිව සටන් කිරීමට ද ඉගුරු වලට හැකියාව තිබේ.
මොළයේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම
ඉඟුරු සතු ආසාත්මිකතා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව නිසාවෙන් ඉඟුරු වලට අපේ මොලේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සහ පාකින්සන්, අල්සෙයිමර් වැනි ස්නායු රෝග වලට එරෙහිව සටන් කිරීමට ද හැකියාව පවතියි. මෑත කාලයේ කරනු ලැබූ අධ්‍යයනයකින් පෙන්වා තිබෙන ආකාරයට, ඉඟුරු යුෂ පානය කිරීමෙන් මැදි වයස් කාන්තාවන්ගේ අවධානය දීමෙ හැකියාව සහ ඥානය වර්ධනය වීම සිදු වේ. 2011 වර්ෂයේ සතුන් යොදා සිදු කරන ලද පරීක්ෂණයකට අනුව සනාථ කොට තිබෙන්නේ; මොළයට සිදුවන ආබාධ වලක්වා, එමගින් මොළය ආරක්ෂා කිරීමට ඉගුරු වලට සුවිශේෂී හැකියාවක් පවතින බවයි.
ශරීරයේ හන්දිපත් වේදනාව අඩු කිරීම
ඔබත් දීර්ඝ කාලයක් තිස්සේ සන්ධි වල සහ පේශිවල ඇතිවන දැඩි වේදනාවෙන් දුක් විදින පුද්ගලයෙක් නම් ඉගුරු භාවිතය ඔබට විශාල සහනයක් ගෙන දෙන බව නොඅනුමානය. ඉඟුරු යනු පේශි වල සහ අස්ථිවල වේදනා අවම කරන සහ කාන්තාවන්ගේ ඔසප්වීමේදී ඇතිවන දැඩි වේදනා සමනය කරන පුදුමාකාර ස්වභාවික ඖෂධයකි. මෑත කාලයේ කරනු ලැබූ අධ්‍යයනයක සඳහන් වන ආකාරයට, ඉඟුරු වලින් පුදුමාකාර ලෙස ඔස්ටියෝආතරයිටිස් නිසා ඇතිවන දණිස් වේදනා අඩු කිරීම සිදු කරයි. මීට අමතරව, ව්‍යායාම කිරීමෙන් ඇතිවන පේශි වේදනාව සුවපත් කිරීමට ද ඉගුරු වලට හැකියාව තිබේ. වයස්ගත වීමත් සමග ඇතිවන අධික හන්දිපත් රුදාව සමනය කිරීමට වෙනත් කෘතිම බෙහෙත් පෙති ආදිය භාවිතය වෙනුවට මෙවැනි ස්වාභාවික ඉඟුරු පානයන් යොදාගත හැකිය.
ශරීරයේ බර අඩු කිරීම
ශරීරයේ ඇති අධික තරබාරු බව බොහෝ දෙනෙකුට තිබෙන විශාල ගැටලුවකි. දිනකට එක් වරක් හෝ ඉඟුරු තේ පානය කලහොත් ඔබේ ශරීරයේ බර ඉතා පහසුවෙන් අඩු කරගැනීමට හැකියාව ලැබේ. ඉඟුරු මගින් ශරීරයේ ඇති වැඩිපුර මේද දහනය කොට, ඉක්මනින් ශරීරයේ බර අඩු කිරීම සිදු කරයි. ඔබේ ශරීරයේ තිබෙන මේදය කුඩා කොටස් වලට කැඩීමෙන්, මේදය අවශෝෂණය කරගැනීම අවහිර කිරීමෙන් හා කෑම ගැනීමේ ආසාව අඩු කිරීමෙන් ඉඟුරු, ශරීරය බර අඩු කිරීමට උපකාරී වේ. ඔබටත් ඉගුරු ආහාරයට එකතු කරගැනීම තුළින් හෝ පානයක් ලෙස භාවිතය හරහා සිහින් සිරුරක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ආහාර ජීර්ණය සඳහා දායක වීම
ඉඟුරු වලට ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමට හැකියාව තිබෙන අතර බඩේ අජීර්ණය සහ බඩේ තුවාල ඇතිවීම වැළැක්වීමට ද හැකියාවක් තිබේ. එසේම, තායිවානයේ සිදු කළ අධ්‍යයනයකින් පෙන්වාදී තිබෙන කරුණක් වන්නේ; ඉඟුරු අඩංගු ආහාර ලබාගැනීම නිසා කෑම දිරවීමේ හැකියාව දෙගුණයකින් වැඩි වන බවයි. ඉඟුරු පිටි මගින් ආමාශයේ ඇතිවන තුවාල සුව වන බවටත් පත පොතෙහි සඳහන්ව තිබේ.
රුධිර සීනි මට්ටම පාලනය කිරීම
දියවැඩියාව යනු මේ වන විටත් මුළු ලෝකය පුරාම ජීවත් වන බොහෝ දෙනෙක් අතරේ වයස් භේදයකින් තොරව දැකිය හැකි විශාල සෞඛ්‍ය ගැටලුවකි. 2015 – 2030 වර්ෂ අතර දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය 54% කින් පමණ වැඩිවෙන බවට සෞඛ්‍ය අංශ විසින් අනාවැකි පලකොට තිබේ. ඉඟුරු ඔබේ ආහාර වේලට එකතු කරගැනීම මගින් හෝ ඉගුරු තේ පානය මගින් දියවැඩියා රෝග තත්වය පාලනය කරගැනීමට හැකියාව තිබේ. ඉඟුරු මගින් රුධිර සීනි මට්ටම පාලනය කර නීරෝගි දිවියක් ලබාගැනීමට ඔබට නිතැතින්ම අවකාශය ලබාදෙනු ඇත.
අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීම
රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම තුලින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම ද වැඩි වේ. හෘදයාබාධ ඇති වන්නේ ශරීරයේ ඇති අහිතකර කොලොස්ට්‍රෝල්, හෘදයට රුධිරය ලබා දෙන රුධිර නාල අවහිර කළ විටයි. රුධිරයේ තිබෙන මෙවැනි අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම් අඩු කොට, ඔබේ හෘදය හොඳ සෞඛ්‍ය තත්වයෙන් තබාගැනීමට ඉඟුරු උපකාරී වේ. වයස්ගත වීමටත් පෙර බොහෝ දෙනෙක් රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම අනවශ්‍ය ලෙස ඉහල යාම නිසා පීඩා විදින අතර ඒ සඳහා විවිධ පෙති වර්ග පානය නිසා වෙනත් අතුරු විපාක වලට ද මුහුණ දෙයි. නමුත් ඉඟුරු වැනි ස්වාභාවික ශාකසාර පරිභෝජනය මගින් කිසිදු අතුරු විපාකයක් නොමැතිව කොලෙස්ටෙරෝල් වැනි රෝග තත්වයන්ගෙන් පාලනය කරගැනීමට ඔබට හැකියාව ලැබේ.
ඉඟුරු වලින් ලැබෙන වෙනත් ප්‍රයෝජන
මීට අමතරව හෙළ වෙදකමේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ද විවිධ රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා ඉඟුරු භාවිත කෙරේ. ඉගුරු තේ වලට අමතරව ඉගුරු වලින් නිෂ්පාදිත ඉඟුරු කුඩු, ඉඟුරු තෙල්, ඉඟුරු තලපය වැනි නිෂ්පාදන ද වෙලදපොලේ දැකිය හැකිය. තව ද, විවිධ ආහාර රසකාරක නිපදවීමට ද, සුවඳ විලවුන් නිපදවීමට ද ඉඟුරු යොදා ගැනේ. මෙවැනි ප්‍රයෝජන රැසක් සහිත ඉඟුරු භාවිතය තුළින් ඉතා පහසුවෙන්ම ඔබට නිරෝගී දිවියක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ලෝකයේ ඇති ඉඟුරු වර්ග අතරෙන් රසයෙන්, සුවදින් මෙන්ම ගුණයෙන් ද ඉහල ඉගුරු පවතින්නේ ශ්‍රී ලංකාව තුල වීම විශේෂත්වයකි. මේ සඳහා බොහෝ විදෙශිකයන්ගේ පවා අවධානය යොමු වී තිබේ. එබැවින් එහි උපරිම පල නෙලාගැනීමට ලාංකිකයන් ලෙසින් අප අනිවාර්යයෙන්ම අධිෂ්ඨාන කරගත යුතුය.